JDS Sinhala

නිලාන්දන්: යුක්තියෙන් තොර සහජීවනයක් තිබිය හැකිද?

පරිවර්තනය: ප්‍රියදර්ශනී රත්නසාමි සහ අතුල විතානගේ

ලංකාවේ ජාතීන් අතර සහජීවනය ගොඩනැංවීම සඳහා වන වැඩසටහන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක් ලැබෙන බව විදේශ ඇමතිවරයා කියා තිබිණ. ඒ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ කොළඹ දී පැවති හමුවකදී ය. මේ පිළිබඳ මුලින්ම ඉඟි කරනු ලැබුවේ දකුණු අප්‍රිකාවේදී පැවති හමුවකදී යස්මින් සුකා විසිනි. ඇය කියා සිටියේ දකුණු අප්‍රිකාව, සියරා ලියොන් හා කම්පුචියානු අත්දැකීම් අනුව බලතොත්  ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇති බව ය. අනෙකුත් රටවල ආදර්ශයන් ඒ අයුරින්ම යොදා නොගෙන ලංකාවට ගැලපෙන අයුරින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් ඇති කළ යුතු බව ද ඇය ප්‍රකාශ කොට තිබිණ.

ඉකුත් මාස කිහිපය තුළ දෙමළ ජන ප්‍රදේශවල බිම් මට්ටමේ සිවිල් සංවිධාන අතර වැඩසටහන් සැළකිය යුතු විශාල සංඛ්‍යාවක් පවත්වා තිබේ. ඒ වනාහී, අතර සහයෝගීතාව, ජාතික සංවාද, ව්‍යවස්ථා සංශෝධන වැනි තේමාවන් ඔස්සේ ය. ඒ අනුව සිවිල් සමාජ සහභාගිත්වය යනු බොහෝ මාතෘකා යටතේ දිගින් දිගට හමුවීම් හා සමුළු පැවැත්වීම වේ.

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ නියෝජිතයෙකු විදෙස් ගතව වෙසෙන දෙමළ සමාජ ක්‍රියාධරයෙකු සමඟ ඉකුත් දිනෙක කළ කථා බහකදී හෙළිකර තිබූණේ යැයි ලියුම්කරුට සැළ වූ තොරතුරු විශ්වාසනීය ඒවා සේ සළකතොත් දෙමළ භාෂා වෙබ් අඩවි දෙකකට හා යාපනයේ පළ කෙරෙන පුවත්පතකට ඉදිරියේදී මේ යටතේම මුල්‍යාධාර ලැබෙන බවට අනුමාන කළ හැකිය.

ඇත්තෙන්ම, මා විසින් දිගින් දිගටම පෙන්වා දු පරිදි 'ජාතීන් අතර සහයෝගය පිළිබඳ සංවාදය' යනු රාජ්‍ය නොවන සංවිධානවල න්‍යාය පත්‍රය තව දුරටත් ඉදිරියට ගෙන යාමක් දක්වා ඌනනය වී ඇති අතර  මේ වෙනුවෙන් විශාල මුල්‍යාධාර ප්‍රමාණයක් මෙරටට ලැබීමට ඉඩ සලස්වා තිබේ.

මේ සා විශාල වශයෙන් මුල්‍යධාර ලබාදෙමින් ඉදිරියට ගෙන යනු ලබන වැඩ සටහන්වල හැඳින්වීමට නියමිතව ඇත්තේ ජාත්‍යන්තර සහයෝගීතාව, ජාතීන් අතර සංවාදය, යුක්තිය ඉටු කිරීමේ සංක්‍රාන්තික අවධිය  වැනි ආකර්ශනීය මාතෘකා යටතේ ය. ඇත්ත වශයෙන්ම මේ සියළු වැඩසටහන්වල අභ්‍යන්තර අරමුණු දෙස බලා මේ සියල්ලටම එක් මාතෘකාවක් යෙදිය හැක. එනම් 'ආණ්ඩු වෙනස ස්ථාවර කිරීම' යනුවෙන්.

ආණ්ඩු වෙනස ස්ථාවර කරන්නේ කෙසේද?

ආකාර තුනකින් මෙය ඉදිරියට ගෙනයමින් තිබේ.

1. අලුත් ආණ්ඩුවේ භාරකරුවා ලෙස කටයුතු කිරීම.

2. මූලධාර්මිකව එක් අරමුණක සිට නොසැලී සටන් කරන දෙමළ පාර්ශවයේ පුද්ගලයන් හා කණ්ඩායම්, රාජපක්ෂ බෑයන් ඇතුළු සිංහල බෞද්ධ අන්තවාදීන් හා සමාන තත්ත්වයේ ලා සළකා එවැනි පිරිස්වලට නැගී සිටීමට ඉඩ නොදීම.

3. බිම් මටටමේ කටයුතු කරන සංවිධාන හරහා ජාතික සහයෝගිතා, සමුළු, සංවාද මණ්ඩප ආදිය පැවැත්වීම. 

මූලික වශයෙන් බටහිර රටවල් හා ඉන්දියාව විසින් යහපාලන ආණ්ඩුව සිය භාරකාරත්වය යටතට  රැගෙන අවසන් ය. යාපනයේ පැවති උත්සවයන්ට ඉන්දීය අගමැති මෝඩි එක්වීමත්, සමන්තා පවර් ඔස්මානියා විද්‍යාලයේදී එල්ලේ ක්‍රීඩා කිරීමත් ආදියෙන් පෙන්නුම් කරන්නේ මේ බලවත් පාර්ශවයන් ලංකාවත් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ය. එහෙත් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පවසනුයේ එමගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා දිවයින එක් පැත්තකින් බටහිර රටවලටත්, අනෙක් පැත්තෙන් ඉන්දියාවටත් මැදිව සිටින බව ය. යාපනයේ නේවාසිකව සිටින නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා මේ වනවිට එහි සිටින ප්‍රබලම ජාත්‍යන්තර නියෝජිතයා වී හමාර ය. යාපනයේ පැවැත්වෙන සියලුම කලා සංස්කෘතික හා ආගමික කටයුතුවලට ඔහුගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් ව පවතින අතර මෙරට සිටින වෙනත් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට මේ හා සම කළ හැකි  ප්‍රමුඛත්වයක් හිමි වී නොමැති තරම් ය.

මේ ආණ්ඩු වෙනසත් සමඟින් ශ්‍රී ලංකාව බටහිරටත්, ඉන්දියාවටත්  මුළුමනින්ම නිරාවරණය වුවා යැයි සිතිය හැකි ය. මීට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවට සාපේක්‍ෂව මෛත්‍රී - රනිල් ආණ්ඩුව කෙරෙහි ඔවුන් ආකර්ශනයක් පෙන්වතැයි පෙනී යයි. 'පරිවර්තන යුගය' ලෙස ඔවුන් හඳුන්වන මේ වෙනස, දෙමළ ජනයාට ද යුක්තිය වනු ඇතැයි ඔවුහු පවසති.

බෙදා වෙන්කිරීම

සිංහල පාර්ශවයේ සිටින වර්ගික අන්තවාදීන් සහ දෙමළ පාර්ශවයේ සිටින මූලධාර්මික බලවේග එක හා සමාන ආන්තික බලවේග සේ සළකා ඔවුන්ට අවස්ථාව නොදීම යුක්ති යුක්ත කරනු පිණිස පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මගින් කදිම පසුබිමක් නිර්මාණය කෙරිණ. එමෙන්ම වැදගත් කාරණාව වන්නේ, දෙමළ ජනයාට එරෙහි යුද අපරාධ චෝදනාවලින් හැර අනෙකුත් සියළු වංචා - දූෂණ චෝදනාවලින් රාජපක්ෂ සොහොයුරන් යටත් කර තිබීම ය.

දෙමළ ජනයාගේ අරගලයේ හී තුඩ වන්  විදෙස්ගත දෙමළ ප්‍රජාව බෙදා වෙන්කිරීම සඳහා ද බටහිර රටවල් මේ වනවිටත් අර අඳිමින් සිටිති. රාජපක්ෂ ආණ්ඩුව විසින් තහනමට ලක් කළ විදෙස්ගත දෙමළ ප්‍රජාවේ විවිධ පිරිස් නියෝජනය කෙරෙන සංවිධානවල තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත මගින් ඔවුන්ව තව දුරටත් බෙදා වෙන් කිරීමට ක්‍රියා කිරීමේ සැළැස්මක් ඇතැයි අනුමාන කළ හැකි ය. එවැනි සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමෙන් ඔවුන් සෙස්සන් අතර ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමේ පිළිවෙතක් දිරිමත් කෙරෙනු ඇත. මීට පෙර දේශපාලන සිරකරුවන්ට ඇප ලබා දීමේදී ඔවුන් අතර භේදකාරීත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කළ අයුරින්ම සංවිධාන තහනම ඉවත්කිරීම ඔස්සේ විදෙස් ගත දෙමළ ජනයා අතර ද බෙදීම තීව්‍රර කළ හැකිවනැ ඇතැයි ගණන් බලා ඇති බවක් පෙනේ.

යුක්තිය පසිඳලීමේ සංක්‍රාන්තික අවදිය මුල්කොට ගනිමින් ජාතීන් අතර සහයෝගය, සංවාදය, සහජීවනය ගැන කිසි කලෙක නොවූ අයුරින් රැස්වීම් හා සම්මන්ත්‍රණ, පැවැත්වෙමින් ඇත්තේ එවැනි වටපිටාවක් තුළ ය. මේ සාකච්ඡා වලදී වැඩි අවධානයක් යොමු කරනුයේ යුද්ධයක් නොමැති ජීවිතයක් කෙරෙහි ය. විශාලතම ගැටළුව යුද්ධය ලෙස මෙහිදී හුවා දැක්වෙන අතර සිංහල ජනයා අතර ප්‍රමුඛතම කරුණ වශයෙන් මතු කෙරෙනුයේ සියල්ලටම හේතුව රාජපක්ෂ බව ය. මෑතකදී කිලිනොච්චියට ගිය ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් දැන් සිංහල ත්‍රස්තවාදයත්, දෙමළ ත්‍රස්තවාදයත් නොමැති බව ප්‍රකාශ කිරීමේදී විශද කරන ලද්දේ මෙකී පිළිවෙතයි.

නමුත් ලංකාවේ ප්‍රශ්නය යනු යුද්ධය හා එම යුද්ධය ජයගත්තේ යැයි පැවසූ රාජපක්ෂ පාලන තන්ත්‍රය පමණක්ද? මෙකී තර්කය සත්‍යයෙන් තොර එකකි.

යුද්ධය යනු හේතුවක් නොව, ඵලයකි. දෙමළ ජනයාගේ සන්නද්ධ අරගලය ද හේතුවක් නොව, ඵලයකි. මේ හා සමානව, විමුක්ති කොටි යනු ද ඵලයකි. මෛත්‍රිපාල සිරිසේන - මහින්ද රාජපක්ෂ , යහපාලන ආණ්ඩුව, විපක්ෂය ලෙස දෙමළ ජාතික සන්ධානයේ ආගමනය යන මේ සියල්ලම නිශ්චිත ක්‍රියාවලියක ඵලයන් මිස හේතූන් නොවේ. එසේ නම් හේතුව කුමක්ද?

සංක්‍රාන්ති අවධියක්?

මුලිකම හේතුව සිංහල බෞද්ධ අධිපතිවාදයත්, ඒ මත ගොඩනැගුණු සිංහල බෞද්ධ රාජ්‍යයේ සැකැස්මත් ය. ජාතික ගැටළුව වනාහී එකී අධිපතිවාදයේ ප්‍රතිපලයකි. යථෝක්ත සියල්ල ජාතික ගැටළුවේ ප්‍රතිපලයන්ය. සිංහල බෞද්ධ ආධිපත්‍යය එහි උපරිමයට රැගෙන යනු ලැබු රාජපක්ෂ මෙන්ම, එහි අනුප්‍රාප්තික රනිල්-මෛත්‍රී හවුල ද එම රාජ්‍ය සැකැස්මේ සිරකරුවන් ය. මුලික හේතු පදනම් එසේම නොවෙනස්ව තබා ගනිමින් ප්‍රතිඵලයන් පමණක් පරිවර්තනය කිරීම සමාජ වෙනසක් ලෙස දැක්විය නොහැක්කේ එබැවිනි.

“යුක්තිය පසිඳලීමේ සංක්‍රාන්තික අවධිය” යන යෙදුම යුද්ධය, ප්‍රචණ්ඩත්වය, ඒකාධිපතිවාදය යන සාධකවල සිට සාමන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන ස්ථාවරත්වය වෙත යොමු වූ රටවල් සඳහා යොදා ගන්නකි. මෙවැනි වකවානුවක් තුළ අයුක්තියට හා අසාධාරණයට ලක්වුවන්ට අවශ්‍ය යුක්තිය හා හානි පූර්ණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම එක් පියවරකි. එය යුක්තිය පතන්නන්ගේ මුලික ඉල්ලීමක් බව නිසැක ය. ජාත්‍යන්තර අත්දැකීම් අනුව මෙවැනි සංක්‍රාන්තික කාලයක යුක්තිය පසිඳලීමට සැකසෙන යාන්ත්‍රණයක් ද, යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණ, වගවීම් හා සහජීවනය ගොඩනැගීම මුල්කොටගත් ක්‍රියාවලියක් දක්නට ලැබේ.

ඒ අර්ථයෙන් බැලූ කල ශ්‍රී ලංකාවේ මේ හා සමාන සංක්‍රාන්තික ක්‍රියාවලියක් ආරම්භ වී තිබේ ද? මා කල්පනා කරන්නේ එය එසේ නොවන බවව ය.

ගැටලුවට හේතුව සේ සැළකිය හැකි අධිපතිවාදී රාජ්‍ය සැකැස්ම වෙනස් වී නොමැත. සිදුව ඇත්තේ එකී සැකැස්මේ සිරකරුවන් සේ ක්‍රියා කරන පාලන තන්ත්‍රය වෙනස් වීම පමණි. ජාත්‍යන්තර ආකර්ෂණය නොමැති නග්න සිංහල බෞද්ධ ආධිපත්‍යයේ සිට එවැනි ආකර්ෂණයක් ඇති සිංහල බෞද්ධ ආධිපත්‍යධාරීත්වයක් දක්වා පාලනය වෙනස් වීම සංක්‍රාන්තික අවධියක් ලෙස සැළකිය නොහැක්කේ එබැවිනි.

සිංහල බෞද්ධ අධිකාරිවාදයේ මුලධාර්මිත වෙනසක් ඇති වූ විට පමණක් එය සැබෑ හරයාත්මක වෙනසක් ලෙස දෙමළ ජනයාට දැනෙනු ඇත. එසේ නොමැති ඕනූම ඊනියා වෙනසක් ඉහළ සිට පහළට තල්ලු කරන කෘත්‍රිම වෙනසක් පමණි. එය බිම් මට්ටමේ සිට ඉහළට ඇති කරනු ලබන සාමූහික ප්‍රජාතාන්ත්‍රික තෙරපුම් විසින් ජනිත කරන මුලික වෙනසක් ලෙස දැකිය නොහැක. අවශ්‍ය නම් මේ පිළිබඳව නිදසුන් දෙකක් ගෙනහැර දැක්විය හැක.

1. යාපනයට පැමිණෙන සිංහල සංචාරකයන් හා වන්දනාකරුවන්ගේ ප්‍රවාහයක් ඉකුත් වසර හය පුරාම අඛන්ඩව පැවතිණි. ඔවුන් අරියකුලම් මංසන්ධියේ පිහිටි නාග විහාරය, නයිනතිව්, කන්දරෝඩෛ සහ නල්ලූර් යන ගමන් 'රියෝ' ආපන ශාලාවෙන් චයිනීස් රෝල්ස් කෑම ද  සුලභ දසුනකි. වැඩි මුදලක් අතැ'ති අය පහසුකම් සහිත කයිට්ස් හි හමුදාවේ හෝටල්වල නවාතැන් ගනිති. එතරම් මුදලක් නොමැති අයගේ නවාතැන වනුයේ ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක හෝ ඔවුන්ගේ බස් රියදුරන් දන්නා තැනක් ය.

මේ වසර හය පුරාම  පෝය හා රජයේ අනෙකුත්  නිවාඩු දිනයන්හි උතුරට පැමිණෙන සිංහල ජනයාට අවශ්‍ය නම් දෙමළ ජනයා ඇසුරු කිරීමට හා ඔවුන්ගේ ජීවනානුභූතීන්ට සවන් දීමට ඉඩ ප්‍රස්ථා තිබිණ. එහෙත් ඔවුන් උතුරේ ගතකරන කාලය තුළ කෙතරම් කාලයක් දෙමළ ජනයා සමඟ යථා ඇසුරකට නැඹුරුතාවක් පෙන්නුම් කර ඇත්ද? “යාපනයට පැමිණෙන දකුණේ ජනයා රියෝ එකෙන් රෝල්ස් කෑම' පිළිබඳව කතා කළ කොළඹ සිටින යුරෝපීය නියෝජිතයෙකුට මා උත්ප්‍රාසාත්මකව කියා සිටියේ 'ජාතික සංහිදියාව රෝල්ස් වලින් අරඹමු ' කියා ය.

2. උතුරේ නැවත පදිංචි වූ මුස්ලිම් ජනයා ඉකුත් වසර හය පුරාම නිමි ඇඳුම් වෙළඳාමේ හා මස් මාංශ වෙළඳාමේ ඉදිරියෙන් සිටීමට සමත්ව සිටිති. හින්දු උත්සව සමයන්හි යාපනයේ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් සාප්පු වසා තිබුණ ද, මුස්ලිම් ජනයා සතු කඩ සාප්පුවල ව්‍යාපාර කටයුතු නොඅඩුව පැවතිණි. මේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි වී බොහෝ කලක් ගත වුවද, යාපනයේ දෙමළ හා මුස්ලිම් ජනයා අතර කොපමණ දුරට යථා සබඳතා වර්ධනයක් පෙන්නුම් කර තිබේද? වෙළෙන්දා හා පාරිභෝගිකයා අතර ගනුදෙනුව ඉක්මවා ගිය දෙපාර්ශවය අතර ජාතික සහයෝගිතාවයක් මේ කාලය තුළ ගොඩනැගී ඇත්ද? සමන්තා පවර් ඔස්මානියා විදුහල් පිටියේ වර්ෂාවට තෙමෙමින් එල්ලේ ක්‍රීඩා කළද, ජාතික සහයෝගීතාව වෙනුවෙන් යාපනේ අවශේෂ ක්‍රීඩා සමාජ ඊට සහභාගිවී ද?

මේ නිදසුන් දෙක මගින් හෙළිදරව් වන සත්‍යය නොතකා සංක්‍රාන්තික යුගයක් පිළිබඳ කතා කළ නොහැකි ය. ජාතීන් අතර සහජීවනය සඳහා වූ බටහිර රටවල වැඩ පිළිවෙළ 'අතීතයේ සිට බෙදා හරිනු ලබන අනාගතය' ලෙස දැක්විය හැක. නමුත් ඉකුත් වසර හයක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය එය වී යැයි සැළකිය නොහැකි ය.

මේ පැවසෙන සංක්‍රාන්තික අවදියේ ස්ථාපිත යුක්තිය දෙමළ ජනයාගේ රිදුම් දෙන තුවාල සුවපත් කිරීමට සමත් වනු ඇත්ද, එසේ නොමැතිනම් ජාත්‍යන්තර ආකර්ෂණයක් සහිත සිංහල බෞද්ධ ආධිපත්‍යධාරී සැකැස්මක් ප්‍රතිස්ථාපනය මගින් තවත් වතාවක් දෙමළ ජනයා පරාජය කරනු ඇත්ද යනු මේ වකවානුවේ තීරණාත්මක විවෘත පැනයකි.☐

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.