JDS Sinhala

නිලාන්දන්: අගෝස්තු මැතිවරණයෙන් ජාතිවාදය පරාජය වුයේද?

අගෝස්තු 17 වැනිදා දකුණේ සහ උතුරේ 'අන්තවාදයන්' පරාජය විණැයි දකුණේ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් ගේ පටන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් දක්වා සියල්ලෝ කියති. සැප්තැම්බර් 14 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා කතා කළ ලංකාවේ විදේශ ඇමතිවරයා ද 'අන්තවාදය' පරාජය කිරීමේ මේ උද්දාමය ලෝකය හා බෙදා ගන්නට අමතක නොකළේය. මේ තර්කයන් විසින් පෙන්වා දෙන්නේ දෙමළ ජනයාට හිමි යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්මුති විරහිතව ඉල්ලා සිටින දෙමළ දේශපාලන බලවේගත්, දෙමළ හා මුස්ලිම් ජනයා සිංහල බෞද්ධ අධිකාරයට යටත්ව දිවි ගෙවිය යුතු බව සම්මුති විරහිතව ප්‍රකාශ කරන සිංහල දේශපාලන බලවේගත් එක හා සමාන 'අන්තවාදයන්' නියෝජනය කරන බව ය.

යාපනයේ පළවන 'යාල් තිනක්කුරල්' පත්‍රයට 'தெற்கில் இனவாதம் தோற்கடிக்கப்பட்டுவிட்டதா?' මැයෙන් ලියන ලද ලිපියෙන් දකුණේ සිංහල ලිබරල් කවයන් තුළ ජනප්‍රිය මේ තර්කය දේශපාලන ලේඛක නිලාන්දන් විසින් යළිත් සාකච්ඡාවට පාත්‍ර කරයි.

පරිවර්තනය: ප්‍රියදර්ශිනී රත්නසාමි සහ අතුල විතානගේ


මැතිවරණය අවසන් වූ සතියේ කොළඹ, වත්තල ප්‍රදේශයේ තරු පහේ හෝටලයක පැවති සමුළුවක ප්‍රධාන තේමාව වී තිබුණේ 'ජාතිකත්වය තේරුම් ගැනීම' යන්න ය. සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් නියෝජයන කරන්නෝ එක්ව මෙහිදී අදහස් දැක්වූහ. සමුළුව පැවති එක් දිනෙක “එක් රටක් - දේශයන් දෙකක්” නමින් රංගනයක් ඉදිරිපත් කෙරුණේ ශ්‍රී ලංකාවේ සියළුම දේශපාලන සිදුවීම් හා දේශපාලන චරිත ද ඇතුළත් වන අයුරිනි.එක්තරා වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් මේ සියලු දේශපාලන චරිතවලට “එක් රටක් - ජාතීන් දෙකක්” යටතේ සිය අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දීම ඉන් නිරුපණය කෙරිණ. රංගනය අවසන්ව ඒ පිළිබඳව සාකච්ජාවක් ද විය. මෙහිදී නැගී සිටි එක් අයෙක්, බොදු බල සේනාව හැර අනෙකුත් දේශපාලන නායකයන් මෙහිදී විකටයන් ලෙස නිරූපනය වූ බව පෙන්වා දෙමින් බොදු බල සේනාව පමණක් මෙසේ සැබෑ දේශපාලනයක නිරත බවට හුවා දැක්වීම ප්‍රශ්න කර සිටියේය. තම ආක්ලප හා උවමනාවට අනුව චරිත ගොඩ නැගූ බව කිව් රංගන ශිල්පීහු, බොදු බල සේනාව වැනි සිංහල බෞද්ධ අන්තවාදීන් තමන්ගේ ප්‍රතිපත්ති මත දැඩි ලෙස එල්බ සිටින විට අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් විකටයන් ලෙස පෙනෙන බව කියා සිටියහ. බොදු බල සේනාව දෙමළ සහ මුස්ලිම් ජනයා බරපතල ලෙස සැළකුවද සිංහල ජනයා එසේ නොවන බව එහිදී අදහස් දැක්වූ තවත් සිංහල අයෙක් පැවසීය. සිංහල ජනයා ඥානසාර භික්ෂුව ඇතුළු අනෙකුත් භික්ෂුන් ඉකුත් මැතිවරණයේදී පරාජයට පත් කරනු ලැබුවේ මේ නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

බටහිර රටවල් ද කල්පනා කරනුයේ පසුගිය මැතිවරණයේදී බොදු බල සේනාව ලැබූ අඩු ඡන්ද සංඛ්‍යාව සිංහල බෞද්ධ අන්තවාදයට ලැබුණු අන්ත පරාජයක් ලෙස ය. සිංහල ජනයා අතර සිටින ඇතැම් පාර්ශවයන් ද මේ මතයේ එල්බ සිටියි. දෙමළ ජනයාට එරෙහි යුද්ධය මෙහෙය වූ 'වීරයා වූ සරත් ෆොන්සේකාව සිංහල ජනයා විසින් පරාජය කරන ලදී. මෙසේ අන්ත පරාජයකට පත් වූ ඔහු ලංකාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයාසේ සැළකේ. මේ අයුරින් දකුණේදී බොදු බල සේනා වැනි පාර්ශවයන් ලැබූ සාපේක්‍ෂ පරාජයන් හා උතුරු- නැගෙනහිර පළාත්වලදී දෙමළ ජාතික ජනතා පෙරමුණ ලැබූ පරාජය මත ලංකාවේ 'අන්තවාදය' පරාජය කර තිබෙන බව බටහිර රටවල් විසින් දැන් ප්‍රකාශ කර තිබේ. සති කිහිපයකට පෙර ලංකාවට පැමිණි දකුණු ආසියාව භාර  ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිත නිශා බිස්වාල් ද මෙවැනි අදහසක් ප්‍රකාශ කළාය. සිංහල ජනයා අතර ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද  එල්බ සිටිනුයේ මේ හා සමාන මතයක ය. පසුගිය මැතිවරණයේදී සමස්ත රට පුරාම සිටින දැඩි මතධාරී, අන්තවාදී පක්ෂ සියල්ලම ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කර, මධ්‍යස්ථ මතධාරී පක්ෂ ජනතාව විසින් තෝරා පත් කරගෙන තිබෙන බවත්, මේ මගින් ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීමේ අවස්ථාව උදාවී ඇති බවත් ප්‍රකාශ වෙමින් තිබේ. මෙය නිවැරදි ද? ඇත්තටම ලංකාව සහජීවන මාර්ගයට ප්‍රවේශ වී තිබේද

බොදු බල සේනා 'පරාජය'?

අපි පළමුවෙන්ම දකුණ ගැන අවධානය යොමු කරමු. එහි මුළුමනින්ම ජාතිවාදය පරාජය කර තිබේද යන්නත් ජාතිවාදයේ උපරිම සාධකය වූ යුධ ජයග්‍රාහී මානසිකත්වය මුළුමනින්ම පරාජය කර තිබේද යන්නත් විමසා බැලීම වටනේ ය.

මැතිවරණ ප්‍රතිඵල හරහා බැලුව ද එක්සත් ජාතික පක්ෂය විසින් රාජපක්ෂ පාලන තන්ත්‍රය විශාල පරතරයකින් පරාජය කර නොමැති බව අවබෝධ කර ගැනීම අසීරු නොවේ. සිංහල දැඩි මතධාරීන්ගේ සිත් තුළ තවමත් රාජපක්‍ෂලා ලැගුම් ගෙන සිටී. බොදු බල සේනා යනු යුධ ජයග්‍රහණය තුළින් ප්‍රසුත කළ දරුවෙකි. මා කල්පනා කරන ආකාරයට එය සිංහල - බෞද්ධ අන්තවාදය තමන්ගේ ආධිපත්‍ය තුළ තබා ගැනීමට රාජපක්ෂ සොහොයුරන් ගත් උත්සහයේ අතුරු ප්‍රතිඵලයකි. එහෙත් ස්වකීය ප්‍රතිපත්තියක් හා ස්වාධීන ක්‍රියා කලාපයක් තිබුණු ජාතික හෙළ උරුමය සිය පූර්ණ ග්‍රහණයට ගැනීමට රාජපක්ෂලාට නොහැකි විය. එම නිසා ජාතික හෙළ උරුමයට එරෙහිව බොදු බල සේනාව වෙත රජයේ අනුග්‍රහය ලැබුණු බවක්ද පෙනෙන්නට විය. මේ තත්ත්වය යටතේ යුද ජයග්‍රහණයට ඡන්දය ලබා දීමට කැමති වූ සිංහල ජනයා 'දරුවා'ට වඩා 'මව'ට ජන්දය දීම වැදගත් හා ප්‍රමුඛ කොට සළකන්නට ඇත. එසේම සරත් ෆොන්සේකා සහ රාජපක්ෂ සොහොයුරන් අතරින් කෙනෙකු තෝරාගැනීමේදී බටහිර රටවල අනුග්‍රහය ලැබූ විපක්ෂයේ සිටින ෆොන්සේකාට වඩා සිංහල -බෞද්ධ රාජපක්‍ෂලා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට ඇතැයිද සිතිය හැක. බොදු බල සේනා හා සසඳා බැලීමේදී, ස්වකීය වූ උපායයන් අනුව ක්‍රියා කරන ජාතික හෙළ උරුමය විශාල පරාජයක් අත්කරගෙන නොමැත. අපේක්‍ෂිත ප්‍රතිඵල ළඟා කර නොගත්තද, ජනතා විමුක්ති පෙරමුණ ද මුළුමනින්ම පරාජයට පත්ව නොමැත. ඒ අනුව දකුණේ තත්ත්වය මුළු මනින්ම විමර්ශණය කිරීමේදී රාවයේ වික්ටර් අයිවන් පවසන පරිදි අඩකටත් නොඅඩු ජන්දදායකයන් සංඛ්‍යාවක් ජාතිවාදයට ජන්දය ප්‍රකාශ කර තිබේ. ඉන් හැඟවෙන්නේ ජාතිවාදය තවමත් ශක්තිමත් බව ය. මේ පසුබිම යටතේ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන සහ චන්ද්‍රිකා කුමාරතුංග ජාතිවාදයට එරෙහිව සහජීවනය ගොඩ නඟනු ඇත්තේද, එසේ නොමැති නම් මානුෂික මුහුවරකින් යුත් 2015 දී නව පන්නයේ ජාතිවාදයක් සොයා ගනීවි ද යන්න  දකුණේ දේශපාලනයේ කේන්ද්‍රීය ගැටළු වශයෙන් ඉතිරිව පවතී.

දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ 'දෙමළ අන්තවාදය'

මී ළඟට අපි දෙමළ ප්‍රදේශවල තත්ත්වය විමසා බලමු. දෙමළ ජාතික ජනතා පෙරමුණේ පරාජය මත 'එක රටක්, දේශයන් දෙකක්' කියන සටන් පාඨය පරාජය කර ඇති බව විමර්ශණයට ලක් කෙරෙමින් තිබේ. මෙය නිවැරදි අදහසක් ද? එක් පක්ෂයක මැතිවරණ පරාජයක් ප්‍රතිපත්තියක පරාජයක් සේ සැළකේද? 'එක් රටක් දේශයන් දෙකක්' යන ප්‍රතිපත්තිය දෙමළ ජාතික ජනතා පෙරමුණ බිහිවීමට පෙර නොතිබුණේද? දෙමළ ජනයා මේ ගැන හිතන්නට පෙළඹී ඇත්තේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට මෙන්ම වේලුපිල්ලෛ ප්‍රභාකරන්ට ද පෙර ය. එය ඊලාම් දෙමළ ජනයාගේ සාමූහික අභිලාෂයයි. මධ්‍යස්ථ දේශපාලනයේ නිරතවූ අයත්, සන්නද්ධ අරගලයේ නිරතවූ අයත් ඊට වරින් වර නායකත්වය දුනි. දෙමළ විමුක්ති කොටි සංවිධානය එම අභිලාෂය මත එක් ප්‍රායෝගික පාලන ක්‍රමයක් බිහි කරන්නට සමත් විය.

දෙමළ ජාතික සන්ධානයට අයත් ප්‍රධානම පක්ෂය ලෙස සැළකෙන තමිල් අරසු පක්ෂය සිය පක්‍ෂයේ නමින්ම මෙම අභිලාෂයේ එල්බ සිටියි. ඒ නිසාම  එක් රටක් දේශයන් දෙකක් කියා සිතීම දෙමළ ජනයාට නැවුම් වූ න්‍යායක් නම් නොවේ. එය ඔවුන්ට හුරු පුරුදු ජීවිතයකි. වෙනත් අයුරකින් මේ ගැන සඳහන් කළහොත් එය සිංහල-බෞද්ධ අන්තවාදය නිසා ශක්තිමත් වී නවීකරණය වූ සිහිනයකි. ඉකුත් සියවස පුරාවටම සිංහල නායකයන් විසින් දැනුවත්ව, සැලසුම්සහගතව රැවටීමට ලක්කෙරෙන විට එම සිහිනය යළි යළිත් අලුත් වූ අතර සෑම ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවකින්ම ඉක්බිතිව සරණාගතයින් ලෙසින් උතුරු-නැගෙනහිර පළාත් වෙත පළා එන ජනයාගේ දසුනින් මේ අභිලාෂය අලුත් වෙමින් ශක්තිමත් විය. මේ පිළිබඳව දැඩිව අවධාරණය කළවුන් අතර ටාසි විට්ටච්චි, ජී. එච්. ෆාමර් වැනි විශ්ලේෂකයන් ප්‍රමුඛ වේ. 'ඒකීය රාජ්‍යයක්' යන සංකල්පය වත්මන් දේශපාලනයේදී සිංහල-බෞද්ධ අන්තවාදය විසින් ශක්තිමත් කරන ලද ප්‍රවේශයකි. දකුණේදී අඩකටත් අඩු නොවන ජන්දදායකයන් පවත්නා ඒකීය රාජ්‍ය විසින් ඓතිහාසිකව නියෝජනය කෙරෙන ජාතිවාදයට ඡන්දය දීමේ වාතාවරණය අඛණ්ඩව පවතින තාක් කල් දෙමළ ජනතාවගේ බහුතරය “එක් රටක් දේශයන් දෙකක්” යන්න අත් නොහරිනු ඇත. එම ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනු ලැබූ පක්ෂය ලැබූ පරාජය යනු එම පක්ෂයේ පරාජයක් ද, එසේ නොමැති නම් එම ප්‍රතිපත්තියේ සැබෑ නියෝජිතයා එම පක්ෂය ද යන්න පිළිබඳ ජනයා තුළ ඇති සංශය විසින් නිර්මාණය කරන ලද පරාජයක් ද යන්න සළකා බැලීම වටියි.

දැනට දෙමළ ජාතික සන්ධානයට ලැබී ඇති ජනතා කැමැත්ත 'වෙනසක්' ඇති කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස හුවා දක්වන පාර්ශවයන් යුද අපරාධ චෝදනා විමර්ෂණයේදී දේශීය යාන්ත්‍රණයට පක්‍ෂව කටයුතු කරමින් සිටියි. ඉකුත් සති කිහිපයකට පෙර කොළඹට පැමිණි බ්‍රිතානයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ද, ඔහුට පසුව පැමිණීමට නියමිතව සිටි නිශා බිස්වාල් ප්‍රකාශ කිරීමට නියමිතව තිබු අදහස් වලට පක්‍ෂව සිය කරුණු දැක්විය. ඔහු සහජීවනය ගොඩ නැගීම වෙනුවෙන් න්‍යායන් හතක් ඉදිරිපත් කර තිබිණි. හත් වෙනි න්‍යාය මගින් පෙන්වා දී ඇත්තේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය ගැන අදහස ය. ඒ වගේම සහජීවනය වෙනුවෙන් අතීතයේදී සිදුවූ අමිහිරි සිදුවීම් මුලුමණින්ම මකා දැමීමට හෝ අමතක කර දැමීමට නොහැකි බව ටෝනි බ්ලෙයාර් කී බවට ද වාර්තා පළවිය. නමුත් ඔහු අවධාරණය කළේ එය 'දණ්ඩන පැනවීමේ ක්‍රියාවලියක්' නොවිය යුතු බව ය.

සත්‍යය අනාවරණය කිරීමේ දේශපාලනය

ලෝකයේ මෙතෙක් පවත්වන ලද යුධ අපරාධ පරීක්ෂණවල හෝ සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් වූ ක්‍රියාකාරකම්වලට අදාළ එක් ප්‍රමුඛ සාධකයක් ගැන අවධානය මෙහිදී යොමු කළ හැකි ය. පළමුවෙන්ම මෙවැනි ක්‍රියාවලියකදී සත්‍ය සිදුවීම් බියෙන් හා සැකෙන් තොරව කථා කිරීමේ වාතාවරණයක් නිර්මාණය වේ. ඒ පසුබිම තුළ කෙරෙන පරීක්ෂණවලින් යුද්ධයේදී පීඩාවට පත් ජනයාට ස්ථිර සාර විසඳුමක් ගෙන එනු ලැබූ අවස්ථා තිබේ. බොහෝ දෙනා උපුටා දක්වන දකුණු අප්‍රිකානු සහජීනය ගොඩනැගීමේ ක්‍රියාවලියේ සත්‍ය සෙවීමේ වාතාවරණයක් නිර්මාණය කර තිබිණ. සත්‍ය කථා කිරීමේ පරීක්ෂණ වාතාවරණය යනු සාමාන්‍යයෙන් යහපත් දේශපාලන වටපිටාවක් නිර්මාණය කිරීමක් වැනි ය. මරා දමුවන් හා අතුරුදහන් කරනු ලැබුවන් ගණනය කිරීම, සැමරීම වැනිදේ යථා දේශපාලන වාතාවරණයක් තුළින් ඇති කිරීමේ හැකියාව පවතී. එවැනි වාතාවරණයක් නිර්මාණය කිරීමද දේශපාලන තීන්දුවකි. නව ආණ්ඩුවට එම දේශපාලන තීන්දුවට එළඹීමට අවශ්‍ය ශක්තිය තිබේද යන්නත්, එවැනි දේශපාලන පසුබිමක් තුළින් මතුවන සත්‍යය මත දෙමළ ජනයාට යුක්තිය ඉටුවේද යන්නත් නොපැහැදිලි කාරණා ය.

මෙකී ක්‍රියාවලිය සාධාරණ නීතිය යටතේ චූදිතයන්ට දඬුවම් පැමිණවීමක් ලෙස වෙනස් වුවහොත් සිංහල-බෞද්ධ අන්තවාදීන් කෝප ගැන්වීමක් වනු ඇත. වෙනසක් වෙනුවෙන් ගොඩනැගෙන සමස්ත ක්‍රියාවලියම කඩාකප්පල් වීමේ ප්‍රවණතාවක් මේ මගින් දිස් වේ. බටහිර රටවල් හා ලංකාවේ ආණ්ඩුව දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයකට වැදගත් කමක් ලබා දෙනුයේ මේ හේතුවෙනි.  මේ කෙරෙහි  දෙමළ ජනතාව සැක සංකා උපදවා ගන්නා බව හොඳින් දන්නා බටහිර රටවල් , මේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයට ලැබෙන 'ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහයෝගය' නමැති මායාව පෙන්වා ඊට පක්‍ෂව අදහස් දැක්වීමට බලපෑම් කරමින් සිටියි. නමුත් දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය කෙසේ සකස් වේද යන්නට මෑතකාලීන හොඳම නිදසුන වනුයේ අතුරුදහන්වුවන් සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම ය. එම කොමිසමේ විමර්ශණය කටයුතු කෙරෙන අයුරු දැක්වෙන වීඩියෝ අන්තර් ජාලය තුළ ප්‍රචලිත විය. කොමිසමේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ පුද්ගලයා ගේ හැසිරීමෙන් හා කටහඬේ පැවති නොරිස්සුම් ස්වභාවය තම ඥාතීන් ,දරුවන් අහිමිව දෑස් කදුලින් පුරවාගෙන වේදනාත්මකව කොමිසම ඉදිරියට පැමිණෙන අසරණ ජනයා තුළ ඇති කරන්නට ඇත්තේ කවර කම්පානයක්දැයි කිසිවෙකු හෝ කල්පනා කළ බවක් නොපෙනේ. මේ පිළිබඳව මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් කොතෙකුත් දන්වා තිබුණද, ක්‍රියාවලියේ කිසිදු වෙනසක් සිදු නොවිණි. දේශීය පරීක්ෂණවල ඇත්තේ මෙවැනි තත්ත්වයකි. මෙය ඉදිරියටත් පවතිනු ඇත්තේ ද මේ ආකාරයට ය.

කෙසේ වුවද, ලංකාවේ සත්‍ය ගවේෂණ ක්‍රියාවලියක් ඇති කළහොත්, එහිදී හෙළිදරව්වන සත්‍යයට ජාතිවාදීන් එරෙහි වනු නියත ය. එවිට ඒ මත ඉදිරිපත් වන නීතිය යුද අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමක් ලෙස අර්ථකථනය වනු ඇත. වෙනසක් ඇති කිරීමේ වැඩසටහන ඒ මගින් කඩාකප්පල් වීම නොවැළැක්විය හැකි ය. යුද අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේ යාන්ත්‍රණය හා වෙනසක් ඇති කිරීමේ යාන්ත්‍රණය සමාන්තරව ගමන් කිරීමට නොහැකි පසුබිමක් දැනටත් පවතී. සිංහල-බෞද්ධ ජාතිවාදීන්ව ශක්තිමත් නොකළ යුතුයැයි පවසා දෙමළ ජනයාට හිමිවිය යුතු යුක්තිය හා සාධාරණත්වය අහිමි කරනු ඇත්තේ ඒ නිසාය.

එවිට දෙමළ ජනයා එක් රටක් ගැන සිතනු ඇත්ද? නැතහොත් වෙනත් විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත්තේද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.