JDS Sinhala

කදිරගාමර් සහ පොන්නම්බලම්: ඝාතන දෙකක්, ප්‍රතිචාර දෙකක්

ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය කොට දැන් දස වසරකි. කුමාර් පොන්නම්බලම් ඝාතනයට පහළොස් වසරක් පිරුණේද මේ වසරේ ජනවාරියේදී ය. කොළඹ දී ඝාතනයට ලක් වූ කදිරගාමර්, ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි 'විශිෂ්ඨතම විදේශ ඇමතිවරයා' වශයෙන් බහුතර සිංහල ජනයාගේ බුහුමනට පාත්‍ර වුව ද දෙමළ ජනයා අතර ඒ හා සමාන ගෞරවයට පාත්‍ර වූ නායකයෙකු වශයෙන් නොසැමරේ. අනෙක් අතින්, දෙමළ ජනයා අතර අදටත් කීර්තිමත් දේශපාලකයෙකු ලෙස සැළකුම් ලබමින් කුමාර් පොන්නම්බලම්ද කොළඹ දී ඝාතනය වු නමුත් හෙතෙම සිංහල ජනයාගේ නොරිස්සුමටත්, වෛරයටත් පාත්‍ර වූ දේශපාලකයෙක් සේ සැළකේ. ඒ නිසාම ලක්‍ෂ්මන් කදිරගාමර් නමට වෙන් වූ අධ්‍යයන ආයතන ද, මං මාවත් ද, ජාතික සැමරුම් ද ඇති මුත්, කුමාර් පොන්නම්බලම්ගේ මරණය එවැනි ස්මරණයකට හේතු සාධක නොසපයයි. කදිරගාමර් වාර්ෂිකව කොළඹ දී සැමරෙන අතර, පොන්නම්බලම් පිළිබඳ වාර්ෂික සැමරුම් යාපනයට සීමා වී තිබේ.

ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයෙන් සතියකට පසු එවකට 'හිරු' පුවත්පතේ විශේෂ ලියුම්කරුවෙකු නමින් පළ වූ මෙම ලිපිය මේ දෙදෙනා පිළිබඳ සංසන්දනාත්මක ඇත්තකට වඩා සිංහල සමාජයේ සාමූහික දේශපාලන විඥාණය පිළිබඳ අඳුරු ඇත්තක් කියා පායි. එය මේ අගෝස්තුවේදී යළි පළ කරන්නේ එබැවිනි‍.

උපුටා ගැනීම: 'හිරු' -  2005 අගෝස්තු 21 


කොළඹ 07 බුලර්ස් පටුමගේ සිය පෞද්ගලික නිවසේදී, දුර සිට වෙඩි තබන ඉලක්කකරුවෙකුගේ ගොදුරක් බවට විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් පත්වූයේ අගෝස්තු 12 වෙනිදා මධ්‍යම රාති‍්‍රයේදී ය. දේශපාලන ලෝකය තුළ පළමුව වික්‍ෂිප්තභාවයත්, දෙවනුව කම්පනයත්, තෙවනුව ශෝකය සහ කෝපයත් ප‍්‍රකාශයට පත්වීම ආරම්භ වූයේ අනතුරුව ය. අගනුවරදී ස්නයිෆර් වෙඩික්කරුවෙකුගේ ගොදුරක් බවට පත් පළමු රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රභූවරයා කදිරගාමර් ඇමතිවරයා සේ සැළකේ. ඝාතනයේ වගකීම පළමු පැය විසි හතර තුළදීම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙත පැවරුණු අතර, ඊළඟ පැය විසි හතර තුළදී විමුක්ති කොටි සංවිධානය එහි වගකීම භාරගැනීම නිල වශයෙන් ප‍්‍රතිකක්‍ෂේප කරනු ලැබිණ. දැන් පරීක්‍ෂණ ආරම්භව ඇතැයි වාර්තා වන අතර අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවලින් විශාල දෙමළ වැසියන් සංඛ්‍යාවක් මේ වනවිටත් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ලිපිය කදිරගාමර් ඝාතනය කේන්‍ද්‍ර කරගත් ජනපි‍්‍රය සාකච්ඡාවක් ඇරඹීමේ අපේක්‍ෂාවෙන් ලියැවෙන්නක් නොවේ. මෙහි අරමුණ කදිරගාමර් ඝාතනයට දකුණේ සිංහල ජන සමාජය ප‍්‍රතිකි‍්‍රයා දක්වන ලද ආකාරයේ සාමූහික මනෝ විද්‍යාව විමසීමයි. සාමාන්‍යයෙන්‍ මේ මොහොතේ එය ජනපි‍්‍රය නැති සාකච්ඡාවකි. පසුව හෝ ජනප‍්‍රිය වේ යැයි සිතීමට වුවද ඉඩක් නැති සාකච්ඡාවකි. නමුත්, ඒ සාකච්ඡාව සඳහා වැදගත් වේ යැයි කල්පනා කරන ලියුම්කරුගේ ප‍්‍රශ්නය මෙසේ සංක්‍ෂිප්තව ගොණු කළ හැක:

‘ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ මරණය අන් දෙමළ ජාතිකයෙකුගේ මරණයට වඩා සාමාන්‍ය සිංහල ජන විඥාණය තුළ විශේෂ ශෝකයක් නිර්මාණය කරන ලද්දේ ඇයි?

බැලූ බැල්මට ප‍්‍රශ්නය අති සරල එකකි. ඇතැම් විට පිළිතුර ද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් සරල එකක් වීමට ඉඩ තිබේ. නමුත් එය සාකච්ඡාවට වටිනා තරම් එකකි. ඒ සඳහා සංසන්දනයන් වැදගත් වේ. කදිරගාමර් ඝාතනය කිරීමට වසර පහකට පෙර 2000 වසරේ ජනවාරි 05 වෙනිදා කොළඹදී සිදු වූ කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනය මෙහිදී වැදගත් සංසන්දනයකට ඇවැසි අවකාශ සළසයි. එබැවින් අපි පසුබිම් සසඳා බලමු.

සමානකම් හා අසමානකම්

කදිරගාමර් පැවත එනුයේ දෙමළ ප‍්‍රභූ පසුබිමකිනි. කුමාර් පොන්නම්බලම් පැවත ආවේද ඊට සමාන හෝ බොහෝ දුරට ඊටත් වැඩි ප‍්‍රභූ පසුබිමකිනි. කදිරගාමර් උගත්තේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ය. පොන්නම්බලම් උගත්තේ කේම්බි‍්‍රජ් සරසවියේ ය. කදිරගාමර් නීති වෘත්තියේ නියැළුණු බැරිස්ටර්වරයෙකි. පොන්නම්බලම් ද වෘත්තීමය වශයෙන් නීති ක්‍ෂේත‍්‍රය තුළ සුප‍්‍රකට බැරිස්ටර්වරයෙකි. කදිරගාමර් ජීවත් වූයේ සිංහල ජනයා බහුල වශයෙන් ජීවත් වන දකුණු දිග ලංකාවේ කොළඹ හතේ, බුලර්ස් පටුමගේ ය. පොන්නම්බලම් ජීවත් වූයේද සිංහල ජනයා බහුල කොළඹ 07, රැජින පාරේ ය. කදිරගාමර් මරණයට පත් වූයේ අගනුවර සිදු වූ වෙඩිතැබීමකිනි. පොන්නම්බලම් මරණයට පත්වූයේ ද අගනුවර සිදුවූ වෙඩි තැබීමකිනි. නමුත් සමානකම් මෙතරම් තිබියදීත් පොන්නම්බලම් ඝාතනය සැනසිල්ලෙන් ඇතැම් විට උද්දාමයෙන් භාරගත් බොහෝ සිංහල වැසියන් කදිරගාමර් ඝාතනය කම්පාවෙන් භාරගත්තේ ඇයි?

මෙය තව දුරටත් විමසා බැලීමට තරම් වටිනා කාරණාවකි.

ලක්‍ෂ්මන් කදිරගාමර් ප‍්‍රසිද්ධ සහ සකී‍්‍රය දේශපාලනයට පැමිණියේ 1994 තරම් මෑත කාලයේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ පාලනය ආරම්භයත් සමඟ ය. නමුත් කුමාර් පොන්නම්බලම්ගේ ප‍්‍රසිද්ධ දේශපාලන ජීවිතයේ ආරම්භය ඊට බොහෝ පැරණි එකකි. කදිරගාමර් ඉංගී‍්‍රසි බස හැර සිංහල හෝ දෙමළ භාෂා විෂයෙහි චතුරභාවයක් දැක්වූවෙක් නොවීය. නමුත් පොන්නම්බලම් ඉංගී‍්‍රසි සහ දෙමළ භාෂාවන් පමණක් නොව, සිංහල භාෂාව සම්බන්‍ධයෙන්ද මනා චතුරභාවයක් පෙන්නුම් කළේය. අනෙක් අතින් කදිරගාමර්ට දෙමළ හෝ සිංහල ජන සමාජයන් සමඟ ඓන්ද්‍රීය සම්බන්‍ධයක් නොවූ නමුත් පොන්නම්බලම් දෙමළ සමාජයට මෙන්ම සිංහල සමාජයට ද ඓන්ද්‍රීය සම්බන්‍ධකම් සහිත අයෙක් විය. 1971 රජයට විරුද්ධව කැරළි ගැසූ පළමු කැරළිකාරී සිංහල තරුණයන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි හෙතෙම 1987-89 සමයේ දෙවෙනි කැරැල්ල ගැසූ තරුණයින් සමඟ ද සමීප සබඳතා පැවැත්වීය. 1988 අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හරහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනැංවීමට කටයුතු කළ (ශී‍්‍රලනිපය ඇතුළත්) පක්‍ෂ අටේ 'දේශපේ‍්‍රමී සන්‍ධානය' තුළ ජවිපෙට සිටි වඩාත් ප‍්‍රබලතම ආධාරකරුවෙකු වූයේද පොන්නම්බලම් ය. එමෙන්ම ‘ගීතාංජලී’ නමින් හැඳින්වුණු පොන්නම්බලම්ගේ රැජින පාරේ පාරම්පරික නිවස එවකදී අවිශිබම ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් පමණක් නොව, ආනන්ද ඉඩමේගම හෙවත් ධම්මික වැනි ජවිපෙ ඉහළ පෙළේ සාමාජිකයින් පවා නිරන්තර යාම් ඊම් කළ ජවිපෙ දේශපාලනයට‍ සමීප ස්ථානයක් විය. (එවකදී අවිශිබම තුළ ජවිපෙ කි‍්‍රයාකාරිකයෙකුව සිටි වත්මන් ජාතික හෙළ උරුමය නායක පාඨලී චම්පික පසුකලෙක ‘දිවයින’ පත‍්‍රයේ බදාදා අතිරේකයට ලියූ ‘අමු සොහොනක විලංගු ලා’ ලිපි පෙළෙහි මෙම සබඳතා පිළිබඳ ඔහුගේ ස්මරණයන් සඳහන් කර තිබේ.) දකුණේ කැරළිකාරී තරුණයන් වෙනුවෙන් මෙන්ම රාජ්‍ය මර්ධනයට ඉලක්ක වූ වාමාංශික නායකයන් හා කි‍්‍රයාකාරීන් වෙනුවෙන් ද පොන්නම්බලම් දේශපාලනිකවත්, ඇතැම්විට අධිකරණය හමුවේ වෘත්තීමය වශයෙනුත් පෙනී සිටියේය. උතුරේ කැරැළිකාරී පරම්පරාවන් සමඟ ඔහු ගොඩනඟාගත් සම්බන්‍ධතාවය වටහාගැනීමේදී ඉහත ඉතිහාස කාරණා අතිශය වැදගත්කමක් සහිත වේ.

නමුත් කදිරගාමර්ගේ පසුබිම ඊට වෙනස් එකකි. ඔහු ඉහතින් කී සමාජ-දේශපාලන කැළඹීම් සමඟ කිසිදු ඓන්ද්‍රීය සබඳතාවක් නොපැවැත්වූ අතර එහෙයින්ම දේශපාලනිකව ද ඒවා තේරුම්ගැනීමේ පෘථුල සිතීමක් පෙන්නුම් නොකළේය. ඉහතින් කී දකුණේ පළමු කැරැල්ලට සහභාගී වී, දෙවෙනි කැරැල්ලේ නායක ශ්‍රේණීන්ද නියෝජනය කළ වත්මන් ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සමඟ මුල්වරට මෑතකාලයේ සිදුවූ හමුවීමෙන් පසු ‘ඒ අය මම හිතුවට ගොඩක් වෙනස් විදියක අය’ යැයි කදිරගාමර් ඇමතිවරයාම කළ බවට ජවිපෙ හිතවාදී පුවත්පත් විසින්ම වාර්තා කළ ප‍්‍රකාශය පමණක් සළකා බැලූවද මෙම යථාර්ථය හෙළි වේ.

කම්පාවේ රහස

කරුණු එසේවීත් පොන්නම්බලම් ඝාතනය සැනසිල්ලෙන් භාරගත් බොහෝ සිංහලයන් කදිරගාමර් ඝාතනය හමුවේ කම්පාවට පත්වීමේ රහස කුමක්ද? පිළිතුර සරල එකකි.

පොන්නම්බලම් මෙන්ම කදිරගාමර් ද දෙමළෙකු බව ඇත්තකි. නමුත් කදිරගාමර් සිංහලයන් වන අප බහුතරයක් කැමති වර්ගයේ දෙමළෙකි. තමන් එවැන්නෙකු බව කදිරගාමර් ද දැන සිටියේය. නමුත් පොන්නම්බලම් එවැන්නෙකු නොවේ. තමන් එවැන්නෙකු නොවන බව පොන්නම්බලම් දැන සිටියා පමණක් නොව, ඔහු එය විවෘතවම ප‍්‍රකාශ කරන්නට ද නොපැකිළුණේය. ඊට දිය හැකි හොඳම නිදසුන ‘ස්වර්ණවාහිනියේ’ චන්දන සූරියබණ්ඩාර ඔහු සමඟ පැවැත්වූ සුප‍්‍රකට ‘රතුඉර’ වැඩසටහනයි. සිංහලයන් පිළිබඳ තමන්ගේ ආකල්ප මිත‍්‍රශීලී හා ගෞරවාන්විත වන නමුත් දෙමළ ජනයාට සුවිශේෂ වූ දුක් ගැනවිලි හා ප‍්‍රශ්න සම්බන්‍ධයෙන් සම්මුති විරහිතව ගැටෙන්නට ඇති සූදානම ඔහු එහිදී හෙළි කළේය. ඒ හේතුවෙන් ඔහු තමන් විශ්වාස කරන ලද නමුත් සිංහල බහුතර ජනයා විශ්වාස කරන්නට අකමැති තිත්ත සත්‍යය නොවළහා හෙළි කළේය. දෙමළ ජනයාගේ එකම නියෝජිතයා පිළිබඳ මතභේදාත්මක කරුණ කුමක් වුවද, කොටි සංවිධානය ද දෙමළ ජනයාගේ අභිලාෂයන් නියෝජනය කරන බව ඔහු විවෘතව ප‍්‍රකාශ කළේය. සමානයන් වශයෙන් නොසළකන්නේ නම් එක්ව ජීවත්වීම සඳහා ඉඩක් නැති බවත්, වෙන්ව ජීවත්වීම දෙමළ ජනයාගේ අභිමතය බවත් ඔහු කීවේය. ජාතික ප‍්‍රශ්නය විසඳන්නට අවශ්‍ය සාකච්ඡාවන් පදනම් විය යුත්තේ 1985 දෙමළ සටන්කාමී සංවිධාන සියල්ලන්ගේ සහභාගීත්වයෙන් තිම්පු නුවරදී ඉදිරිපත් කළ සිව් වැදෑරුම් තිම්පූ මූලධර්මයන් මත පමණක් බව ඔහු හැමවිටම අවධාරණය කළේය. තමන් උපන් යාපනයට යන්නට සිංහල රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට තමන් සූදානම් නැති බව ඔහු ප‍්‍රසිද්ධියේ ලීවේය. අවිහිංසාවාදී හා සාමකාමී ලෙස අදහස් පළකරන්නට නිදහසක් නොවේ නම් දකුණේ මෙන්ම උතුරේ ද තරුණයින්ගේ ප‍්‍රචණ්ඩත්වය නොවැළැක්විය හැකි යථාර්ථයක් බව ඔහු සිංහලෙන්ම කීවේය.

කදිරගාමර් මේ කිසිත් නොකීවේය. මේ කිසිත් නොලීවේය. ඒ වෙනුවට ඔහු සිංහල කේන්‍ද්‍රීය රාජ්‍ය වෙනුවෙන් ‘‘ජාත්‍යන්තර ප‍්‍රජාව’’ හමුවීමට යාමේ රාජ්‍ය තාන්ති‍්‍රක වගකීම ඉටු කළේය.

පනස් වසරක් තිස්සේ සිංහල පාලකයන් මෙන්ම බහුතරයක් සිංහල ජනයා අත්හරින්නට අකමැති අධිපතිවාදයේ කැත කදිරගාමර් කිසිවිටක අපිට සිහිපත් නොකළේය. නමුත් පොන්නම්බලම් හැමවිටම එහි කැත අපේ මුහුණටම කීවේය. ඒ හේතුවෙන් කදිරගාමර් අප කැමති වර්ගයේ දෙමළෙකු විය. ඒ හේතුවෙන්ම පොන්නම්බලම් අප අකමැති වර්ගයේ දෙමළෙකු විය.

පොන්නම්බලම්ගේ මරණය සැනසිල්ලක් වී කදිරගාමර්ගේ මරණය සංවේගයක් බවට පත් වීමේ පිටුපස ඇති දේශපාලන මනෝ විද්‍යාවේ හරය එයයි.☐

ප්‍රධාන සේයාරුව: ශ්‍රියන්ත වල්පොල (ලක්‍ෂ්මන් කදිරගාමර්ගේ අවමඟුල් දිනයේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආරක්‍ෂක රැකවලෙහි යෙදුණු විශේෂ කාර්ය බලකා සෙබලුන් - 2005 අගොස්තු 16)

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.