JDS Sinhala

නිලාන්දන්: එළඹෙන මැතිවරණයේදී දෙමළ ඡන්ද බෙදෙනු ඇතිද?

විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජික පිරිසක් මැතිවරණ සටන් බිමට අවතීර්ණ පිළිබඳ පළවන දකුණේ ජනමාධ්‍ය පුවත් බහුතරයක් 'කොටි යළි ඒම' පිළිබඳ සිංහල භීතිය අවුළාවලනු පිණිස නිර්මාණය කරන ලද ඒවා ය. නමුත් දෙමළ සමාජය තුළ ඒ පිළිබඳ ඇත්තේ ඊට වෙනස් ආකල්ප, සංශයන් සහ ආස්ථානයන් ය. 'යාල් තිනක්කුරල්' පුවත්පතට දේශපාලන ලේඛක නිලාන්දන් විසින් தமிழ் வாக்குகள் சிதறுமா? திரளுமா? මැයෙන් ලියන ලද මෙම ලිපිය එළඹෙන මැතිවරණය හමුවේ දෙමළ සමාජයේ මතුවන සංකීර්ණතා වටහා ගැනීමට ආධාරක කොටගත හැක‍‍.

පරිවර්තනය: නන්දිනී ෆරීක් සහ අතුල විතානගේ


දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ 'හිටපු සටන්කාමීන්' මැතිවරණ දේශපාලනයට පැමිණෙන බවට වාර්තා වූ පුවත ගෙවී ගිය සතිය පුරා දැඩි අවධානයක් දිනාගෙන තිබිණ. එහෙත් ආයුධ සන්නද්ධ අරගලයන්හි නිරතවුවන් මැතිවරණ දේශපාලනයට පැමිණීම එතරම් උණුසුම් පුවතක් නොවේ. ලෝකය පුරාම එවැනි දේ පිළිබඳ නිදසුන් සොයා ගත හැකි ය. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා, පලස්තීනයේ යසීර් අර්පත් සන්නද්ධ අරගලවලින් පසුව මැතිවරණ දේශපාලනයට පැමිණි අය වෙති. එපමණක් නොව, මේ දිවයිනේ දෙවරක්ම ආයුධ සන්නද්ධ අරගල දියත් කළ ජනතා විමුක්ති පෙරමුණ ද මේ වන විට මැතිවරණ දේශපාලනයට එළඹ සිටියි. වැඩි දුරටත් සඳහන් කළහොත් වත්මන් ජනාධිපතිවරයාත්, එවකට ජනතා විමුක්ති පෙරමුණ සමග සබඳතා තිබු බවට සැක කොට බන්ධනාගාර ගත කළ අයෙකි. එසේ තිබියදීත්, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ 'හිටපු සටන්කාමින්' මැතිවරණ දේශපාලනයට පිවිසීම බරපතල කාරණාවක් වී හමාර ය. 

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් නිමා වීමෙන් පසු වැඩි වශයෙන්ම ප්‍රශ්නවලට මුහුණ දුන් ජන කොටස ලෙස මේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ 'හිටපු සටන්කාමින්' හඳුන්වා දිය හැකිය. ඔවුන් අතරින් කිසියම් ප්‍රමාණයකට අධිකරණය මගින් ඇප නියම කොට නිදහස් කෙරුණි. සෙසු බොහෝ දෙනා ආණ්ඩුවේ  පුනරුත්ථාපන ක්‍රියාවලිය ඔස්සේ නිදහස් කරනු ලැබුවන් වෙති. යථාර්ථවාදී සංසන්දනයක දී පෙනී යන කරුණක් වන්නේ මොවුන් එතරම් ශක්තිමත් බලවේගයක් නොවන බව ය. නමුත් මේ 'හිටපු සටන්කාමින්' මැතිවරණයට ඉදිරිපත් වීම දැඩි අර්බුදයක් නිර්මාණය වීමට හේතු වී ඇති බවක් පෙනේ.

'හිටපු සටන්කාමීන්'

පළමුව 'හිටපු සටන්කාමීන්' යන යෙදුම අපි සළකා බලමු. 'හිටපු සටන්කාමීන්’ යනු කිසියම් නිලයක් ද?  එසේ නැතහොත් කිසියම් සුදුසුකමක් ද? ' හිටපු සටන්කාමීන්' යන්නෙන් හැඟවෙන්නේ ඔවුන් දැන් සටන්කාමීන් නොවන බව ද? අනෙක් අතින් සටන්කාමීන් වන්නේ ආයුධ අත දරන්නන් පමණක් ද? මෙය පදනම් රහිත විශ්වාසයකි. ඕනෑම අර්බුදකාරී අවස්ථාවකදී  ඊට එරෙහිව නැගී සිටින සෑම අයෙක්ම සටන්කාමියෙක් ලෙස අර්ථ දැක්වීම වඩාත් උචිත ය. සටන්කාමිත්වය යනු  අපගේ  රුධිරගත ගුණාංගයකි. එබැවින් සටන්කාමියා සැම කල්හිම සටන්කාමියෙකි. පසුකලෙක කළකිරීම හෝ වෙනත් කාරණා මත  සිය අරමුණින් ඉවත්වූවන්ට අවශ්‍ය නම් මේ 'හිටපු සටන්කාමියා'යන යෙදුම භාවිත කළ හැකි ය. එහෙත් කිසියම් හෝ සංවිධානයක ක්‍රියාකාරී වූ අයෙකුට, තම අරගලය පරාජය වූ හේතුවෙන් 'සටන්කාමියා' යන්න ඉවත් කරගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. එනයින්, මින් ඉදිරියට මේ සටහන තුළ 'හිටපු සටන්කාමියා' යන යෙදුම අත්හරිනු ඇත. ඒ වෙනුවට යොදා ගනු ලබන්නේ  'හිටපු විමුක්ති කොටි සාමාජිකයන්'  යන්නය. එය අයෝග්‍ය වෙතොත්, වඩාත් සුදුසු යෙදුමක් ඉදිරියේදී සොයා ගැනීමට උත්සුක වෙමු.

හිටපු විමුක්ති කොටි සාමාජිකයන් මැතිවරණ දේශපාලනයට පිවිසීම පිළිබඳව තර්කානුකූලව පැන නගින ගැටළු දෙකකි.

1. මේ පිරිස මැතිවරණයෙන් පරාජයට පත් වුවහොත් එය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ  ප්‍රතිපත්තිවල පරාජයක් ද?

2. මොවුන් කාගේ දේශපාලන අතකොළුවක් විය හැකිද?

මොවුන් නිර්මාණය කරනු ලැබූ පක්ෂයේ ජය හෝ පරාජය  දෙමළ විමුක්ති කොටි සංවිධනයේ පිළිවෙත්වල ජය හෝ පරාජය මත සමපාත විය හැකිදැයි යන ගැටළුව ගැන පුළුල්ව සළකා බැලීමේදී සෘජු පිළිතුරක් ලෙස ලැබෙනුයේ 'නැත' යන්න ය. ඊට දැක්විය හැකි හේතු කාරණා රැසකි.

මැතිවරණ හා විමුක්ති කොටි

දෙමළ විමුක්ති කොටි සංවිධානය දැඩි විනය නීති පද්ධතියක් යට‍තේ ක්‍රියාත්මක වූ සංවිධානයකි. ඔවුන්ට ද මැතිවරණ දේශපාලනය පිළිබඳ කිසියම් අදහසක් යම් කාල වකවානුවක් තුළ තිබිණි. ඒ වෙනුවෙන් නිර්මාණය කළ දේශපාලන පක්ෂයක් ද විය. එහෙත් දෙමළ විමුක්ති කොටි සංවිධානය මුළුමනින්ම මැතිවරණ දේශපාලනය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කළ සංවිධානයක් නොවේ. උතුරු අයර්ලන්තය නිදහස් කරගනු වස් සටන් කළ අයර්ලන්ත ජනරජ හමුදාව වැනි සංවිධාන මෙන්ම ලෝ පුරා එවන් බොහෝ විමුක්ති සංවිධාන ප්‍රසිද්ධ දේශපාලනය වෙනුවෙන් දැවැන්ත පක්ෂ නිර්මාණය කරමින් ඒවා නඩත්තු කරනු ලැබූහ. එහෙත් දෙමළ විමුක්ති කොටි සංවිධානය එවැනි දේශපාලන පක්ෂයක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අත් හළ අතරම පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ද මුළුමනින්ම විශ්වාසය තැබීමට පසු බට විය. දෙමළ ජාතික සන්ධානයට කිලිනොච්ච්චිය තුළ දේශපාලන කාර්යාලයක් පිහිටුවීමට පවා ඔවුන්ගෙන් අවසරයක් නොලැබීම ඊට නිදසුනකි.  දෙමළ විමුක්ති කොටි සංවිධානය තමන්ගේ පිරිස් මැතිවරණ දේශපාලනයට පිවිසීම ගැන එතරම් එකඟතාවයක් පෙන්නුම් නොකළ සංවිධානයකි. ඒ අනුව මැතිවරණ දේශපාලනයට පිවිසීම තුළ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රතිපත්ති හෝ ඔවුන්ගේ දැක්ම නියෝජනය කිරීමක් නොවනු ඇත.

දෙමළ විමුක්ති කොටි සංවිධානය දෙස එහි නායකත්වයෙන් වෙන් කොට සළකා බැලිය නොහැක. එම සංවිධානයේ අනන්‍යතාවය, හදවත මෙන්ම ආත්මය වන්නේ ද නායකත්වය යි. නායකත්වය නොමැති නම් එය දෙමළ විමුක්ති කොටි සංවිධානය නොවන අන්දමට ම  නායකත්වය කෙරෙහි පැවතියේ දැඩි බැඳීමකි. සංවිධාන නායකත්වය  කාලයත් සමග ඇතිවූ ප්‍රතිඵලයකි. මේ මොහොත වන විට එම කාලය වෙනස් වී ඇති අතර එම නායකත්වය ද  නොමැත. එම නිසා එවන් වූ නායකත්වයක් නොමැති රික්තකයක් තුළ ශේෂ වූ පිරිසකට දෙමළ විමුක්ති කොටි සංවිධානය ඉදිරියට ගෙන යාමක් කළ නොහැක. ඔවුන්ට වෙනත් නමකින් ඔවුන්ව හදුන්වා ගත හැකි ය. ඉකුත් හය වසරක කාලය තුළ රට තුළ හා විදේශයන් හි  දෙමළ විමුක්ති කොටි සංවිධානයේ දිගුවක් ලෙස හඳුනා ගැනීමට වෑයම් කළ සෑම අයෙක්ම අසාර්ථක වූ බව මෙහිදී මම අවධාරණය කරනු කැමැත්තෙමි. මේ ආකාරයෙන්ම පවසන යාපනේ නව එකතුවේ මැතිවරණ ජය පරාජය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රතිපත්තිවල ජය පරාජය ලෙස කිසිසේත්ම පෙන්වා දිය නොහැක.

දෙමළ ජාතික සන්ධානය යනු  දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රතිපත්තීන්ට වඩාත් සමීපතම දේශපාලන පක්ෂයක් ලෙස හදුන් වනු ලබයි. ඉකුත් සය වසර තුළ දෙමළ ජාතික සන්ධානය ලැබූ පරාජයන් දෙමළ විමුක්ති කොටි සංවිධානයේ පරාජයක් ලෙස දැක්විය හැකි ද? එය එසේ වී නම්, හිටපු විමුක්ති කොටි සාමාජිකයන් මෙවර මැතිවරණයෙන් අත්කර ගන්නා ජය හෝ පරාජය  දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ජය පරාජයක් ලෙස කිව නොහැක. ඒ පිළිබඳව කළ හැක්කේ විග්‍රහයක් පමණි. සාමන්‍ය දෙමළ ජනයාට මේ සම්බන්ධයෙන් ඇත්තේ ව්‍යකුලත්වයකි. ඔවුන් දේශපාලන ප්‍රතිපත්ති හා රාජ්‍ය තාන්ත්‍රික කාරණාවන් අනුව තීරණයන් නොගන්නා මුත්, ඔවුන්ගේ අවබෝධය මත පදනම්ව ඇති වන කතිකාවකින් පසු තීරණයන්ට එළඹෙනු ඇත. ඔවුහු පසුගිය ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂව පරාජය කරනු ලැබුවේද එසේ කල්පනා කිරීමෙන් අනතුරුව ය.

'හිටපු සාමාජිකයන්' ගැන සමාජ ආකල්ප

ඒ අනුව, මේ නවක මුහුණු දෙස දෙමළ ජනයා කෙසේ බලනු ඇත්ද? දෙමළ ජාතික සන්ධානය කෙරෙහි පවතින අවිශ්වාසය මත ඔවුන් කිනම් තීරණයකට එළඹෙනු ඇත්ද? ඒ මගින් එළඹෙන මහ මැතිවරණයේදී කිසියම් වෙනසක් ඇති කරනු ඇත්ද? යන ප්‍රශ්න විමසා බැලීම වටියි.

හිටපු විමුක්ති කොටි සාමාජිකයන්ගේ පසුබිම පිළිබඳව පවතින සැකය ද දෙමළ ජනයාගේ තීරණයන් කෙරෙහි බලපානු ලබයි. ඔවුන් රජයේ හමුදා යටතේ සිරගතව සිටි අතර මුදා හැරිය පසු ද හමුදාව  ඔවුන් සමග නිරන්තර සබඳතා පැවැත්වීමට සිදුවීම මේ සැකයට හේතු වේ. ඇත්ත වශයෙන්ම හිටපු විමුක්ති කොටි සාමාජිකයන්ට පමණක්ම නොව, උතුරු - නැගෙනහිර දේශපාලනයට සම්බන්ධ ප්‍රභූන්ට, බුද්ධිමතුන්ට පවා රජයේ හමුදා සමග මොනයම් හෝ සබඳතාවයක් පවතී. එය මගහැර යා නොහැකි අනිවාර්ය සාධකයක් වන්නේ තවදුරටත් බහුතර දෙමළ ජනයා වෙසෙන ප්‍රදේශ හමුදා පාලනය යටතේ පැවතීම හේතුවෙනි. රජයේ හමුදා සමග කිසිම ගනුදෙනුවක් නොමැති බව කියන කිසිම දේශපාලඥයෙක් ගැන කිව නොහැකි ය. එසේ සබඳතාවයක් නොමැතිව දේශපාලනය කිරීමේ ඉඩකඩක්  උතුරු නැගෙනහිර ප්‍රදේශවල තිබේද?

හිටපු විමුක්ති කොටි සාමාජිකයන් 2009 වසරින් පසු වැඩි වශයෙන්ම ප්‍රශ්නවලට මෙන්ම අවදානමට ලක්වූ පිරිස ලෙස ද හැඳින්විය හැක. රජයේ හමුදා අත්අඩංගුවේ සිට මුදා හැරිය ද ඔවුන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව, මොනයම් අයුරක හෝ සබඳතාවක් හමුදා සමග තබා ගැනීමට බල කෙරෙන තත්ත්වයක් පවතින අතරම ඔවුන් එසේ කිරීමට ද පෙළඹේ. ඔවුන් පමණක් නොව, වන්නියේ ව්‍යාපාරික ප්‍රජාවට පවා රජයේ හමුදා සබඳතාවයකින් තොරව පැවතිය නොහැක.  එක් වකවානුවකදී ගෞරවාදරයට පාත්‍ර වූ මේ හිටපු විමුක්ති කොටි සාමාජිකයන් දැන් රජයේ ඔත්තුකරුවන් හෝ අතකොළු ලෙස සැකයට ලක්වීම ඉතාමත් කර්කෂක ය.

“හිටපු දෙමළ විමුක්ති කොටි සාමාජිකයන්ව දෙමළ සමාජය විසින් ආරක්ෂා කරන තාක් දෙමළ සමාජයේ විමුක්තිය දිනා ගැනීමට එය ඉවහල් වනු ඇතැයි" ලන්ඩන් නුවර කාලයක් පුරා වෙසෙන ජ්‍යෙෂ්ඨ සමාජ ක්‍රියාධරයෙක් යුද්ධයෙන් පසු ප්‍රකාශ කර තිබුණි.

'80 දශකය අවසන් භාගයේදී දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් තහනමට ලක් ලක් කළ අනෙකුත් දෙමළ සංවිධාන හා කණ්ඩායම්වල සාමාජිකයන් මුහුණ දුන් පීඩනය මෙන්ම ඔවුන් ගැන ඇති වූ වරදකාරී හැඟීමට අද මුහුණ දීමට සිදුව ඇත්තේ මේ හිටපු විමුක්ති කොටි සාමාජිකයන්ට ය. එය දෙමළ සමාජය හිතන පතන ආකාරයේ කැඩපතක් බඳු ය. බිළි පුජාවකට යොමු කරනු ලබන එළුවෙක් ඉන් නිදහස් කළ නොහැක. එසේ කළහොත් එය දේව ශාපයකි. අනිවාර්යයෙන්ම ඌ බිළි දිය යුතු ය. සරළ කොට කිවතොත් දෙමළ විමුක්ති සන්නද්ධ අරගලය පැවතුණේ එවනි පිළිගැනීමක් මත ය. ඇතැමුන්ට අනුව, කිසියම් කෙනෙකුගේ දරුවන් අරගලය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කරනු ඇත. එහෙත් ස්වකීය දරුවන් විදේශගතව අධ්‍යපනය හොදින් නිමවා උපාධි ලබා ගනු ඇත. බොහෝ දරුවන් අරගලය තුළ මියැදෙමින් සිටිය දී විදේශයන් වෙත පළා යාම මේ දෙමළ සමාජය වැරද්දක් ලෙස දකින්නේ නැත. එහෙත් දෙමළ ජනයාගේ විමුක්තිය උදාකර ගැනීමේ අරගලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනු ලැබූ දරුවන් අහඹු ලෙස හෝ ජීවග්‍රහයෙන් යළි පැමිණීම දෙමළ සමාජයේ මෙකී පිරිස්වලට දැනෙන්නේ නොසළකා හැරීමක් ලෙස ය.

”දෙමළ දේශපාලන පක්ෂවලට මිය ගිය විමුක්ති කොටි සාමාජිකයන් ඕනෑ නමුත් ජීවතුන් අතර සිටින විමුක්ති කොටි සාමාජිකයන් අවශ්‍ය නැතැයි”  දැක්වෙන සටහනක්, මෑතකදී සමාජ මාධ්‍ය ජාලයක දක්නට ලැබිණ. විත්‍යාට සිදුවූ අපරාධයට එරෙහිව පැවති උද්ඝෝෂණවල දී ප්‍රදර්ශනය කෙරුණු පුවරුවක සටහන් කර තිබුණේ 'ඔවුන් සිටියා නම්' වැනි අතීතය මත යැපුන යෙදුමකි. ඒ අතීතයෙන් එලියට පැමිණ තවමත් සටන් කිරීමට දෙමළ සමාජය සුදානමක් නොපෙන්වයි. සුළු පිරිසක් ජීවිත පරදුවට තබා විමුක්තිය වෙනුවෙන් අරගල කරද්දී විශාල පිරිසක් ප්‍රේක්‍ෂකයන් ලෙස එය නැරඹීම පිළිබඳව මේ මගින් වඩාත් පැහැදිලි වනු ඇත.

'ඔවුන්' සහ 'මොවුන්'

2009 වසරට පෙර 'ඔවුන්' අද වන විට අතීත මතකයක් වැනි ය. 2009 වසරින් පසු රජයේ හමුදා අත්අඩංගුවේ සිට පැමිණි 'මොවුන්' කෙරෙහි අවිශ්වාසයේ බීජ වපුරනු ලබයි. එමෙන්ම එදා 'ඔවුන්'ගේ කීම මත හෝ වෙනස් නොවුණු අය අද යුක්තිය වෙනුවෙන් මොර දෙන නීතිවේදීන් ය. අතීතයේදී  තම ආරක්ෂාව පමණක් සලසා ගත් අය අද මාධ්‍ය ප්‍රකාශකයන් ය. අතීතයේදී අවදානම් සහගත තීරණයන්ට එළඹී  'ඔවුන්'  අද  සැක කටයුතු ද්‍රෝහීන් ය. මේ ආකල්පවල ගිලුණවුන් අතර ජ්‍යෙෂ්ඨ ලේඛකයන්, ජනමාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ සමාජ ක්‍රියාධරයන් ද සිටියි.

මෙසේ සටහන් තැබීම මගින් යාපනේ දැනට ගොඩ නැගී ඇති මෙකී නවක කණ්ඩායම්  මුළුමනින්ම සාධාරණීකරණය කිරීමකට අපේක්ෂා නොකරයි. මෙහි අරමුණ වූයේ, රජයේ හමුදා අත්අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ හිටපු විමුක්ති කොටි සාමාජිකයන් පිළිබඳව දෙමළ සමාජයේ සැළකිය යුතු පිරිසක් දකින ආකාරය පිළිබඳ විග්‍රහයක් කිරීමයි. ඇත්ත වශයෙන්ම යාපනේ ගොඩ නැගී ඇති කණ්ඩායම් හා පක්ෂ කෙරෙහි මතුව තිබෙන සාධාරණ සැක හා ප්‍රශ්න පිළිබඳව ද මේ සටහන මගින් අවධාරණය කෙරෙනු ඇත. දැවැන්ත බිඳ වැටීමකට පසු ඇති වූ තත්ත්වය තුළ කවුරුන් කා සමග කටයුතු කරනවාද? කාගෙන් වැටුප් ගන්නවාද? යන ව්‍යාකුලතා රැසක් මැද දෙමළ ජනයා දිවි ගෙවයි. 2009 මැයි මාසයට පෙර  එකිනෙකා අතර විශ්වාසයක් තහවුරු වීමට මොනයම් හෝ පසුබිමක් තිබුණි. තමන් දරණ විශ්වාසය වෙනුවෙන් තම ජීවිතය පවා පරිත්‍යාග කිරීමේ තත්ත්වයක් පැවතිණ. නමුත් පසුගිය හය වසර තුළ එවැනි පසු බිමක් නොවීය. දේශපාලනයට පැමිණි විගසම ජනතාවගේ විශ්වාසය දිනා ගත නොහැක. ඒ සඳහා මුහුණ දිය යුතු සෑම තත්වයකටම මුහුණ දී  තමන් පිළිබඳව විශ්වාසනීයත්වයක් ජනතාව තුළ ගොඩ නගා ගත යුතු ය. ඒ තුළින් තමන් කවුදැයි යන්න ඔප්පු කළ හැකි වනු ඇත. මැතිවරණ දේශපාලනයට පිවිස සිටින හිටපු විමුක්ති කොටි සාමාජිකයන්ට ඔවුන් පිළිබඳව සමාජයේ පවතින වැරදි ආකල්පයන්, අනුමානයන් දුරු කිරීමට අවශ්‍ය නම් වැදගත් වනු ඇත්තේ ඔවුන්ගේ භාවිතය යි.

දෙමළ ජන මනසට යම් කිසි ප්‍රශ්නාර්ථයක් ඇති විය හැක්කේ පුළුවන් ආනන්දී සසිදරන් ස්වාධීනව තරඟ කිරීමත් සමඟ ය ඒ මගින් කිසියම් පෙරළියක් විය හැකිය. මෙසේ පෙළ ගැසෙන සිදුවීම් දෙමළ ජන්දදායකයන් කිහිප පැත්තකට බෙදීයාමේ ශක්‍යතාවයක් පෙන්නුම් කරමින් තිබේ. (මේ ලිපිය ලියන මොහොත වනවිට ඇය අපේක්‍ෂත්වයෙන් ඉවත්වීමට තීරණය කර නොසිටියාය. - සංස්.)

මේ අනුව දෙමළ දේශපාලන පක්ෂවල ජන්ද ප්‍රතිශතයේ වෙනස්කම් ද මෙවර මැතිවරණයේදී දැක ගන්නට ලැබෙනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාව දෙමළ ජනයාගේ අති බහුතරය ඔවුන්ට ජන්දය ප්‍රකාශ කරනු ඇති බව ය. ඒ මගින්ආණ්ඩු පිහිටුවිමේදීත්, පාර්ලිමේන්තුවේදීත්, කේවල් කිරීමේ බලයක් ගොඩ නගා ගැනීමට ඔවුන් කල්පනා කරනවා විය හැකි ය. නමුත් දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනයාගේ අති බහුතරයේ ජන්දය ලැබුන ද, නොලැබුන ද  සිංහල ජනයාගේ ජන්ද පදනම නව දිශාවකට ගමන් කරමින් තිබේ. සිංහල ජනයාට යුදමය ජයක් ලබා දුන් රාජපක්ෂ යම්තාක් ශක්තිමත් වීම මීට හේතුවයි. අනෙක් පැත්තෙන් නව දේශපාලන ගමන් මගක යමින් සිටින මෛත්‍රිපාල සිරිසේන හුදකාලා වූ  අයෙකු නොවේ. ඔහු ආණ්ඩු වෙනස ඇති කරනු ලැබූ , බලවත් රටවල සහයෝගය ලබන යාන්ත්‍රණයක් වැනි ය. එම නිසා ශක්තිමත් වෙමින් සිටින රාජපක්ෂව තම කවයෙන් පිටත තබා අර්බුද ඇති කර ගැනීම නොව, කවය ඇතුළට ගෙන ඔහුව හැසිරවීම බුද්ධිමත් යැයි ජනාධිපති සිරිසේන කල්පනා කර  ඇති බවක් පෙනේ. කෙසේ වුවද  සිංහල සමාජයේ මේ නව දේශපාලන ප්‍රවණතාවයන් හමුවේ මැතිවරණයෙන් පසු පිහිටුවීමට නියමිත ආණ්ඩුව, දෙමළ ජනයාගේ ඡන්ද මත පදනම් වීමට ඇති අවකාශය පෙර පැවති තත්ත්වයට වඩා අවම විය හැක. අනෙක් පැත්තෙන් මේ ජන්දය දෙමළ සමාජයේ නව ප්‍රවණතාවයන් ඉලක්ක කර ගෙන දෙමළ ඡන්දය සාපේක්‍ෂව බෙදී  යාමේ අවස්ථාවන් ද පෙන්නුම් කරනු ලබයි.

මේ බෙදීම යහපතටද? අයහපතට ද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.