JDS Sinhala

නිලාන්දන්: දෙමළ ජාතික සන්ධානයට විවෘත ප්‍රශ්න කිහිපයක්

අගෝස්තු මැතිවරණය දකුණේ දේශපාලන සිතියම උත්ප්‍රාසජනක ලෙස ප්‍රතිනිර්මාණය කරමින් තිබේ. චිරාගත දේශපාලන බෙදුම් රේඛා තීරණාත්මක ලෙස අහෝසි කොට දැමෙන අභිනව සන්ධාන දෛනික පුවත් මවයි. නමුත් උතුරු - නැගෙනහිර දෙමළ ජන සමාජය තුළ සිදුවන දේශපාලන වෙනස්කම් දකුණේ පැරණි සන්ධාන අත්හැර දැමීමත්, අලුත් සන්ධාන බිහි කිරීමත්   යුක්ති යුක්ත කිරීම සඳහා යොදා ගැනෙන 'කුමන්ත්‍රණ' සාධකයකට වැඩිමනත් දෙයක් සේ සළකා කැරෙන සාකච්ඡා දකුණේ විරළ ය. දේශපාලන ලේඛක නිලාන්දන් විසින් 'යාල් තිනක්කුරල්' පුවත්පතට 'கூட்டமைப்பிடம் சில கேள்விகள்' ලියන ලද මෙම ලිපිය දෙමළ ජන සමාජයේ දේශපාලන ප්‍රමුඛතා කවරේද යන්න පිළිබඳ ආලෝචනාවන් සපයයි.

පරිවර්තනය:  ජීවේන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


දෙමළ විමුක්ති කොටි සංවිධානය අවි බලයෙන් මර්ධනය කිරීමෙන් පසුව පවත්වන දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ මසකට ආසන්න කාලයකි. 2009 වසර වන තුරු දශක ගණනාවක්ම දෙමළ ජනයාගේ දේශපාලන දැක්ම මෙන්ම දේශපාලන අභිලාෂයන් තීරණය කරනු ලැබුයේ දෙමළ විමුක්ති කොටි සංවිධානය මගිනි. 2009 වසරින් පසු මේ රික්තය පිය වනු ලද්දේ දෙමළ ජාතික සන්ධානය විසිනි. ඒ අනුව දෙමළ ජනයාගේ දේශපාලන නායකත්වය විමුක්ති කොටි සංවිධානයේ සිට දෙමළ ජාතික සන්ධානය දක්වා මාරු වීමෙන් පසු පැවැත්වෙන දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයට දැන් පෙළ ගැසෙමින් සිටියි.

ඉකුත් වසර පහ තුළ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබේද? දෙමළ ජනයාගේ ගැටළු සම්බන්ධයෙන් ඔවුන් ලබා දී ඇති විසඳුම් මොනවාද?

මේ පිළිබඳව විමසා බැලීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් මෙන්ම දෙමළ ජනතාව මෙම මැතිවරණයේදී කළ යුත්තේ කුමක් දැයි වටහා ගැනීමට පහසුවනු ඇත. දෙමළ ජනයා අද දවසේ මුහුණ දෙන ප්‍රධාන ගැටළු දෙකක් පිළිබඳව විමසා බැලීමෙන් අනතුරුව ඒ ගැන නිගමනයකට එළඹිය හැකි ය.

1.දෙමළ ජනතාව මුහුණ දෙන දෛනික ප්‍රශ්න

මේවනවිට දෙමළ ජන දිවිය මුළුමනින්ම විනාශ කර කර දමා ඇත්තේ වසර 38 ක් පුරා දිග්ගැසුණු යුද්ධය හේතුවෙනි. ශ්‍රී ලංකා ආණ්ඩු සමග යුද ගැටුම් උත්සන්න වන්නට පෙර වකවානුවේ දෙමළ ජන සමාජය කේන්ද්‍ර වුයේ කුටුම්භය වටාය. දෙමාපියන් විසින් ගනු ලබන තීරණයන්ට හිස නවමින්, උපයාගත් අදායමින් කොටසක් තම සොහොයුරියන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරමින් දිවි ගෙවූ තරුණ පරපුර සන්නද්ධ කණ්ඩායම් වෙත ඇදී ගියේ තම නිවෙස්වලට ද හොර රහසෙනි. ඒ අනුව දෙමළ විමුක්ති සන්නද්ධ අරගලය ඇරඹීමත් සමගින් එතෙක් පැවති පවුල් කේන්ද්‍රීය ජන දිවිය බිඳ වැටුණි. සියලු විශ්වාසයන් හා ශක්තීන් විමුක්ති අරගලය වෙත ගොණු කෙරුණු අතර පවුලට වඩා ප්‍රමුඛ තැන හිමි වුයේ නිදහස් රාජ්‍යයක් දිනා ගැනීම වෙනුවෙන් වූ අරගලය වෙත ය. එම වකවානුව තුළ පවුල් සමාජය පමණක් නොව, තම අධ්‍යාපනය ඇතුළු මුළු අනාගතයම විමුක්ති අරගලය වෙත කැපකරමින් නිදහස් නිවහල් රාජ්‍යයක් සාමූහික අධිෂ්ඨානය බවට පෙරළුණි. දෙමළ සමාජය තුළ නව දිවියක් ඇරඹුම සනිටුවහන් වූයේ ඒ මගිනි. එහෙත් අනෙක් අතින්, යුද්ධයත් සමග දෙමළ සමාජය තුළ පැවති සාමුහිකත්වය කැඩී බිඳී ගොස් යුද්ධය අවසානයත් සමග දකින්නට ලැබුනේ සියළු දේපළ සහ උන් හිටි තැන් අහිමි වූ ජන පිරිසකි. මුලින් උදුරා දමන ලද ගස් සේ තමන් ජිවිත කාලයක් දිවි ගෙවූ ගම් බිම්වලින් ඉවත්ව ගිය දෙමළ ජනයාට බොහෝ තාවකාලික නවාතැන් වල දිවි ගෙවන්නට සිදුවිය. ජීවිතයට වඩා බර තැබුණේ මරණය පිළිබඳ විශ්වාසයෙනි.

රජයේ හමුදා ප්‍රහාර හමුවේ අවතැන් වෙමින්, ආරක්‍ෂිත බංකර ගොඩනගමින් ඒවායේ දිවි ගෙවා දමන්නට දෙමළ ජන සමාජයට සිදු වූ අතර ස්ථාවර නිවාස ගොඩනඟා ශක්තිමත් පවුල් ඒකක තුළ දිවි ගෙවුවන්ගෙන් සැදුම්ලත් ගම්මාන පිටින් බිඳ වැටෙමින් සමාජ අර්ථයන් හා හරයන් ද වෙනසකට ලක් විණි.

සිවිල් සංවිධාන ද සන්නද්ධ අරගලයත් සමගින් එතෙක් පැවති ස්වරූපයට වෙනස් හැඩයක් ගනිමින් දෙමළ සමාජය වේගවත්ව මිලිටරිකරණයට ගමන් කළේය. 1986 වසර වන විට  සියළු සන්නද්ධ කණ්ඩායම් අභිබවා දෙමළ විමුක්ති කොටි සංවිධානය අරගලයේ ප්‍රමුඛයා බවට පත්විය. ඔවුන් විසින් නවතම සමාජ ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබූ අතර 2009 මැයි මාසයේ එය බිඳ දමන තෙක් දෙමළ සමාජය තුළ මුල් බැස තිබිණි.

සම්මුතිකාමී දේශපාලනය

උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන්ට අනුව කැඩී බිඳී ගිය දෙමළ සමාජය යළි ගොඩ නැඟීමට අවස්ථාවක් ලබා නොදීම දකුණේ සිංහල වර්ගවාදීන්ගේ අපේක්ෂාවයි. කෙසේ වුවද කැඩී බිඳී අවුල්ව ගිය දෙමළ සමාජය යළිත් ගොඩනැගීමේ ප්‍රයත්නය මෙතෙක් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන නොමැත. දේශපාලන අර්බුද, රජයේ හමුදාකරණය හා යුද්ධයෙන් සිදුවූ බලපතල විනාශයේ බලපෑම මේ අසාර්ථකවීමට හේතු ලෙස දැක්විය හැකි ය.

යුද්ධය නිමා වී ගෙවුණු හය වසරක කාලය තුළ දෙමළ ජනයාගේ දෛනික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට දෙමළ ජාතික සන්ධානයට දැක්මක් තිබේද බලවත් පීඩාවට පත්ව සිටින මෙරට දෙමළ සමාජය ගැන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළේද? මේ කාරණා පිළිබඳව විධිමත්ව විමසා බැලීම වටනේ ය.

දෙමළ ජනයා, ආණ්ඩු වෙනස් කිරීමට දායක වුණේ පැවති රාජපක්ෂ පාලනය දෙමළ සමාජය යළි ගොඩනැගීමට බාධාවක් නිසාවෙනි. ඔවුන්ට අනුව  ඇති කරගත් යම්කිසි හෝ ‘වෙනස”  රැකගනිමින් දෙමළ සමාජය යළි ගොඩනැගීම දෙමළ ජාතික සන්ධානයේ අත්හැරිය නොහැකි යුතුකමක්ව තිබිණි. එහෙත් එය එසේ සිදුවුයේ නැත. පසුගිය වකවානුව තුළ ඔවුන් තුළින් දිස් වුයේ විරුද්ධවාදී දේශපාලනයේ ලක්ෂණයන් පමණකි. දෙමළ සමාජය පවතින තත්ත්වයෙන් ඉහළට ඔසවා තබන්නට  දෙමළ ජාතික සන්ධානය සමත් නොවුණි. ගතවූ වසර හය පුරා දේශපාලන සිරකරුවන් බැලීමට ඔවුන් බන්ධනාගාරයට ගිය ද  දේශපාලන සිරකරුවන් මුදාගැනීම වෙනුවෙන් ඔවුහු කිසිදු වැඩපිළිවෙලක් දියත් නොකළහ. බන්ධනාගාරගත වීමට තරම් දේශපාලනයක් දෙමළ ජාතික සන්ධානයට නොතිබුණි.

මේ දෙමළ දේශපාලඥයන්  වෙන වෙනම විදේශගත දෙමළ ප්‍රජාවගෙන් මුදල් ඉල්ලාගෙන මෙරට පීඩාවට පත් දෙමළ ජනයා වෙනුවෙන් ආහාර සලාක ලබා දීම වැනි කටයුතු කරමින් සිටියි. ඇත්තවශයෙන්ම මේවා තාවකාලික පියවරයන් ය. මෙවැනි දේ දීර්ඝ කාලීනව කළ නොහැක. වසර හයකට පසුව හෝ මේ පිළිබඳව දේශපාලන සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය දැන් පවතී.  පසුගිය කාලය පුරාම දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව කෙරෙහි විරෝධයක් පෙන්වනු ලැබුව ද, ගැටුම් රහිත දේශපාලනයක් පවත්වා ගෙන ගියේය. අනෙක් අතින් එවැනි ගැටුමකට, පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව ද ඉඩකඩ ලබා දුන්නේ නැත. මේ සම්මුතිකාමී තත්ත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි බව පෙන්නුම් කළේ මහ ඇමති විග්නේශ්වරන්ගේ  රනිල් වික්‍රමසිංහ විරෝධී ප්‍රකාශ තුළිනි.

උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දෙමළ සමාජය තුළ දැන් යම් හෝ වෙනසක් ඇතිව තිබෙන්නේ නම් එය දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් විසින් අරගල කර දිනාගත් දෙයක් නොව, ජාත්‍යන්තර බලපෑම හමුවේ ක්‍රියාත්මක වුවකි. මෙකී 'වෙනස' වනාහී, යුද්ධයෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුවට එල්ල වූ ජාත්‍යන්තරය පීඩනය අවම කර ගැනීම අරමුණු කරගෙන ආණ්ඩුවේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ සංශෝධනයන් ය.

2. දෙමළ ජනයාගේ ප්‍රශ්නයට ස්ථාවර දේශපාලන විසඳුමක්

ගෙවී ගිය හය වසරක කාලය තුළ සළකා බැලීමේදී , දෙමළ ජාතික සන්ධානය විසින් හඟවනු ලැබ ඇති,  ජාතික ප්‍රශ්නයට අදාළ ඔවුන්ගේම වූ  විසඳුම කුමක්ද?  මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයක නිරතවුණු එවකට දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන්  මාධ්‍ය වෙත කියා සිටියේ දෙමළ ජනයාට ස්ථිරසාර දේශපාලන විසඳුමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරනු ලැබූ ෆෙඩරල් පාලනයක අවශ්‍යතාවයයි. ඉන්දීය අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී හෙතෙම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ද හමු විය. මේ කථාබහෙන් පසු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ විසඳුමක් ඉල්ලා සිටි බවට ප්‍රකාශ කෙරුණි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දේශපාලන විසඳුමක් ලබාදීම කෙරෙහි  ඉන්දියාව ප්‍රයත්න දරනු ලැබුයේ ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ ය. ෆෙඩරල් විසදුමක අවශ්‍යතාවයට යළිත් වතාවක් මේ හමුවේදී අවධානය යොමු විය. සන්ධාන නායක සම්බන්ධන්ද මේ පිළිබඳව බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබුණි. නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් විසඳුමක් ඇති කරන්නේ කෙසේද යන්න ගැන පොදු ජනයා අතර විධිමත් සංවාදයක් ගොඩ නැඟීමට ඔවුන් සමත් වී නොමැත. මේ පිළිබඳව සිදුවන්නේ හුදු ප්‍රකාශ පමණි. ඒ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක්, උපාය උපක්‍රම පිළිබඳ අවබෝධයක් හෝ සංවාදයක් ඔවුන් සතුව පවතීද යන්න පවා සැක සහිත ය. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුහු මේ දේශපාලන විසඳුම පිළිබඳව කිසිදු සඳහනක් නොකළහ. පාර්ලිමේන්තුව තුළ ද මේ පිළිබඳව සංවාදයකට ලක් කර නොමැති අතර ඒ පිළිබඳ අදහසක් ද දෙමළ ජාතික සන්ධානය සතුව නොමැත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රාජපක්ෂට එරෙහි පාර්ශ්වයන් විසින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන්ගේ සහාය පතනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂාවයි. එවිට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කේවල් කිරීමේ ශක්තියක් ඇති බවට ද විශ්වාසයක් පවතී. මෛත්‍රී - TNA , රනිල් - TNA  එකඟතා ගිවිසුම් ගැන ද ඔව්හු කල්පනා කරති. එහෙත් එය එසේ සිදුවීමට ඇති ඉඩකඩ කවරේද?  රාජපක්ෂ විරෝධී පාර්ශ්වය නියෝජනය කරනු ලබන ජාතික හෙළ උරුමය වැනි සිංහල ජාතිවාදී කණ්ඩායම් මීට අනිවාර්යෙන්ම එකඟ නොවනු ඇත. රාජපක්ෂ පාර්ශ්වය විසින් ද මෙවැනි එකඟතාවයන්ට එරෙහිව සිය වර්ගවාදී ප්‍රකෝප කිරීම් උත්සන්න කරනු නියත ය. මේ විරෝධයන් හමුවේ උතුරු නැගෙනහිර පළාත් එක්කරමින් ෆෙඩරල් පාලන ව්‍යුහයක් ඇතිකිරීමේ හැකියාවක් තිබේද?  ඉන්දියාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය තත්ත්වයක් සඳහා ශ්‍රීලංකා ආණ්ඩුවට බලපෑම් කරනු ඇතැයි සිතිය හැකිද? එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මේ සඳහා සහයෝගය ලබා දෙනු ඇතිද?

බටහිර රටවල සහයෝගයද ඇතිව, රාජපක්ෂ පාලනය පෙරලා දමා 'යහපාලන' ආණ්ඩුව බලයට ගෙන ඒම තුළින් ඇති කළ 'වෙනස' ට මෙවැනි ක්‍රියාමාර්ග මත බාධාවන් ඇති කර ගැනීමට කිසිවිටෙක ක්‍රියා නොකරනු ඇත. අනෙක් අතට රාජපක්ෂ ශක්තිමත් වීම තුළ ඊට සමගාමීව දෙමළ ජාතික සන්ධානයේ කේවල් කිරීමේ බලයද තීරණය කරනු ලැබේ. දෙමළ ජනයාට ස්ථාවර දේශපාලන විසඳුමක් වෙනුවෙන් ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ජාවකදී  විය හැක්කේ එවැනි විසඳුමක් රාජපක්ෂ පාර්ශවයට වාසි සහගත තත්වයක් ඇති කරන බව පෙන්වා යටපත් කර දැමීම ය. ඒ අනුව ඇත්ත වශයෙන්ම සිදුවිය හැක්කේ දෙමළ ජනයාට අදාළ දේශපාලන විසදඳුම තව දුරටත් කල් දැමීමකි.

ප්‍රශ්න කිහිපයක්

මේ කරුණු සැළකිල්ලට ගනිමින්, ගෙවුණු වසර හය පුරාවට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රශ්න 10 ක් ඉදිරිපත් කරන්නට මම කැමැත්තෙමි‍.

1. ගෙවුණු වසර හය තුළ දෙමළ ජනයාගේ දෛනික ජිවිතයේ ප්‍රශ්නවලට විසදුම් ලබා දීමට ඔබලා සමත් වුයේද?

2. එසේ අසමත් වී නම් ඒ ඇයි?

3. යුද්ධයෙන් විනාශවී ගිය දෙමළ ජන සමාජය යළිත් ශක්තිමත් කිරීමට ඔබලාට ඇති වැඩපිළිවෙල කුමක්ද?

4. එවැනි වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් අද වනතෙක් ක්‍රියාත්මක නොවුයේ ඇයි?

5. බ්‍රිතාන්‍ය විජිතවාදීන්ගෙන්  නිදහස ලැබී ගත වූ වසර 60 පුරාවට දෙමළ ජනයා වැටී සිටින තත්වයෙන් ඉහළට ඔසවා තබන්නට හැකි පොදු වැඩපිළිවෙලක් පිළිබඳව අද වනතුරුත් කල්පනා නොකළේ ඇයි?

6. සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් ලෙස මරා දැමුණු හා අතුරුදහන්කරනු ලැබූ පුද්ගලයන් පිළිබඳ විධිමත් හා පූර්ණ සංඛ්‍යා ලේඛණයක් ඉදිරිපත් කිරීමට ඔබලාට නොහැකි වුයේ ඇයි?

7. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට නොහැකි වූයේ ඇයි?

8. ජාතික ප්‍රශ්නය ගැන ඔබලාට ඇති අවසන් විසඳුම කුමක්ද?

9. එවන් විසඳුමක් ඉලක්ක කොටගත් ඔබලාගේ දේශපාලන දැක්ම හා වැඩපිළිවෙල කුමක්ද?

10. දෙමළ ජනයාගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ඉකුත් වසර 6 තුළ ඔබලා ගනු ලැබූ අවදානම කුමක්ද?

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ දේශපාලනය අප කවර ලෙස හෝ අනුමත නොකළ ද  ඔහු සිය දේශපාලනය වෙනුවෙන් රාජපක්ෂ පාලනය හමුවේ අවදානමක් දැරූ බව සඳහන් කළ යුතු ය. සිරගත වීමට පවා ඔහුට සිදුවිය. එමෙන්ම රාජපක්ෂ පාලනය හමුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද අවදානම් සහගත දේශපාලනයක නිරත විය. ජනාධිපතිවරණ ප්‍රථිඵල නිකුත් කරනු ලැබූ දිනයේ පොල්වත්තක සැඟව සිටිමින් පවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂ පාලනයට එරෙහිව අවදානමක් ගත්තේය.

දෙමළ ජාතික සන්ධනයේ නියොජිතයනි, දෙමළ ජනයා සිය අනාගතය වෙනුවෙන් නොයෙකුත් තර්ජන මැද ඔබලාට ජන්දය ලබා දී පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස පත්කර තිබේ. නමුත් ඔබලා කෙරෙහි විශ්වාසය තබා ජන්දය ලබා දුන් ජනයා වෙනුවෙන් ඔබලා රැගෙන ඇති අවදානම කුමක්ද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.