JDS Sinhala

නිලාන්දන්: යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත්‍රණය මායාවක් ද?

යුද අපරාධ පිළිබඳ විශ්වාසනීය පරීක්‍ෂණ පිළිවෙත ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමද, නැතහොත් දේශීය යාන්ත්‍රණයක් පිළිගැනීමද යන්න පිළිබඳ සිංහල ජනයා අතර සංවාදයක් ඇතැයි කිව නොහැකි ය. තම ඉරණමට සම්බන්ධයක් නැති සෑම අයුක්තියක්ම යුක්ති සහගත යැයි සළකන්නට හුරු වූද, දේශීය නොවන සෑම දෙයක්ම කුමන්ත්‍රණයක් සේ කල්පනා කරන්නට ඇබ්බැහි වූද ජන සමාජයක් තුළ එවැනි සංවාද විරළ ය. නමුත් දෙමළ සමාජය තුළ වෙනත් යථාර්ථයක් පවතී.

'යාල් තිනක්කුරල්' පත්‍රයට அனைத்துலக விசாரணைப் பொறிமுறை ஒரு மாயையா? මැයෙන් දේශපාලන ලේඛක නිලාන්දන් විසින් ලියන ලද ලිපිය මගින් පරාවර්ථනය කරන්නේ ඒ වෙනස් යථාර්ථයයි.

පරිවර්ථනය: ප්‍රියදර්ශිනී රත්නසාමි සහ අතුල විතානගේ


ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 29 වැනි සැසිවාරය පසුගිය දින ආරම්භ කෙරුණි. සමුළුව ඇමතු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, යහපාලනය සඳහා වූ ක්‍රියාකාරකම් හා දේශීය වශයෙන් යෝජනා වී තිබෙන යුධ අපරාධ විමර්ශණ යාන්ත්‍රණය ගැන සිය ප්‍රශංසාව පළ කළේය. එළඹෙන සැප්තැම්බරයේ දී ශ්‍රී ලංකා රජය එකී දේශීය යාන්ත්‍රණය ස්ථාපිත කරනු ඇති බවට ද ඔහු අපේක්ෂා පළ කළේය. ඔහු මෙන්ම, දෙමළ ජනයා වෙසෙන ප්‍රදේශයන්ට පැමිණෙන බටහිර රටවල නියෝජිතයෝ  හා තානාපතිවරු, ඔවුන් හමුවන දේශපාලනඥයන් හා සිවිල් ක්‍රියාධරයන් හමුවේ දේශීය යාන්ත්‍රණයට පක්ෂව අදහස් පළ කරති.

ඉකුත් දින කිහිපයක තුළ බොහෝ විවාදයට බඳුන් වූ ලන්ඩන් හමුව මෙහි එක් අදියරක් ලෙස සැක පහල කළ හැකිය. එසේ නම් දේශීය යාන්ත්‍රණයට පක්ෂව සිටින දෙමළ පාර්ශවයන් එක් කිරීම වෙනුවෙන් පැවැත්වූ හමුවක් ද?

ආණ්ඩු වෙනස හා දේශීය යාන්ත්‍රණය

මෙය ආණ්ඩු මාරුවට පසු ඇති වූ  එක් ප්‍රතිඵලයකි. පෙර පැවති තත්ත්වයට වඩා ජාත්‍යන්තර ප්‍රජාව මේ වන විට දේශීය යාන්ත්‍රණය ගැන අදහස දැඩි ලෙස කථා බහට ලක් කරමින් සිටියි. ඊළම් දෙමළ ජනයාට අනුව  කිසිදු දේශීය යාන්ත්‍රණයක් ගැන විශ්වාසයක් ඇති කර ගත නොහැකි වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ පවතී. ගෙවීගිය වසර හැටක කාලය පුරාම ජාතික ප්‍රශ්නය ගැන පත් කරනු ලැබූ කොමිසම් සියල්ලම දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් පමණක් කටයුතු කර ඇත. මේ කොමිසම් සියල්ලම නිසි අයුරින් කටයුතු කර තිබේ නම්,  එමගින් සත්‍ය තහවුරු කිරීමට සමත් වූයේ නම්, නීතිය හා යුක්තිය ඉටු කර තිබේ නම්, නන්දිකඩාල් ප්‍රදේශයේ සිදුවූ වැනි මහා ව්‍යසනයක් සිදු නොවන්නට ඉඩ තිබිණි. 2009 ට පෙර ඇති කරනු ලැබූ දේශීය යාන්ත්‍රණයේ පරාජය නන්දිකඩාල් ඛේදවාචකය මගින් පෙන්නුම් කරනු ලබයි. ඊට පසුව පිහිටවූ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමත් ඊට පෙර පැවති කොමිසම්වලම දිගුවක් බව දෙමළ ජනයාගේ විශ්වාසය යි. යුධ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක ඉල්ලීම දෙමළ ජනතාව තුළින් ඉදිරිපත් වන්නේ මේ පසුබිම යටතේ ය. විශේෂයෙන් හතර වන ඊළම් යුද්ධයේ අවසන් අදියරේ සිදුවීම්  සම්බන්ධ පරීක්‍ෂණය සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක් කෙරෙහි විශ්වාසය තැබීමට බහුතර දෙමළ ජනයා කැමැත්ත දක්වා නොමැත. ගෙවීගිය වසර හතරකට වැඩි කාලයක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී, ලංකාවට අදාළව දෙමළ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වුයේ ජාත්‍යන්තර පරීක්‍ෂණයක අවශ්‍යතාවය හා ඒ කෙරෙහි වූ අපේක්‍ෂාවකි. මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් බටහිර රටවල් විසින් රාජපක්ෂ පාලනයට එරෙහිව දෙමළ ජනයාගේ ගැටළුව මෙවලමක් ලෙස භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යුධ අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර විමර්ශනයක් සිදුවනු ඇතැයි දෙමළ ජනයා තුළ ඉමහත් බලාපොරොත්තුවක් තිබිණ. නමුත් ආණ්ඩු වෙනසට පසු එවන් ජාත්‍යන්තර යාන්ත්‍රණය පිළිබඳ වූ අවස්ථාවන් ක්‍රමයෙන් හීනව යනු ලක්නට ලැබුණි. ඉන් පැහැදිලි වන්නේ පිටස්තර බලවේග පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන දේශපාලනය කෙරහි විඩාවට පත් සීමාව ආසන්නයටම පැමිණ ඇති බවද?

මේ තත්ත්වය විසින් දෙමළ ජනතාව වෙත ප්‍රශ්න තුනක් මතු කරනු ලබයි.

1. ලෝකයේ බලගතු රාජ්‍ය නායකයෙකු හෝ වගකිව යුතු නිලධාරියෙකු  ජාත්‍යන්තර යාන්ත්‍රණය ගැන දෙමළ ජනතාවට කවදා හෝ බලාපොරොත්තු තබා ගත හැකි පොරොන්දුවක් දී තිබේ ද?  එසේත් නැත්නම් ලෝකයේ කිසිම රටක බලගතු නායකයෙකු විසින් නිල ප්‍රකාශයක්  හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානයක නිල ප්‍රකාශනයක ජාත්‍යන්තර යාන්ත්‍රණය ගැන සඳහනක් කර තිබේ ද?

2. ජාත්‍යන්තර යාන්ත්‍රණය හරහා වැරදිකරුවන් ගැන පරීක්‍ෂණ අවසානයේදී දඬුවම් දිය යුතු ය. ලංකාවේ යුද අපරාධ කරනු ලැබූ පාර්ශවයන්ට එසේ දඬුවම් කිරීමට අවශ්‍ය වූ දේශපාලන දැක්මක් බලවත් රටක් ඉදිරිපත් කර තිබේ ද?

3. යුධ අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්‍ෂණ යනු ලෝකයේ සෑම යුද්ධයකින් පසු සිදුවූ දේ සම්බන්ධයෙන් සැමට සමාන, සාධාරණය ඉටු කිරීම ය. සියළු පාර්ශවයන්ට එය පිළිගත හැකි සාධාරණ තීන්දුවක් වනු ඇත්ද?

මේ ප්‍රශ්න තුනටම අදාළ වන පිළිතුරු අපි එකින් එක සළකා බලමු.

කැමැත්ත හා යථාර්ථය

ජාත්‍යන්තර යාන්ත්‍රණය ගැන දෙමළ ජනයා තුළ ඇති කැමැත්ත හා පවතින යථාර්තය අතර ඇත්තේ පරස්පරයකි. බටහිර රටවල් විසින් ජාතික ගැටළුව සිය අභිලාෂයන් පෙරට තල්ලු කරගැනීමට ආධාරක වන එක් මෙවලමක් ලෙස භාවිතා කළ කාලයේදී දෙමළ ජනතාව ජාත්‍යන්තර යාන්ත්‍රණය පිළිබඳව බොහෝ දේ උපකල්පනය කළේය. බටහිර රටවල් ද එම උපකල්පනයන්ට වැට නොබැඳ තමන්ට අවශ්‍ය ලෙස එය භාවිතා කිරීමට සුක්ෂම විය. එහෙත් ලෝකයේ කිසිදු බලවත් රටක නිල වාර්තාවක ජාත්‍යන්තර යාන්ත්‍රණය ගැන කිසිදු සඳහනක් නොතිබිණ. දෙමළ ජනයා, දෙමළ දේශපාලනඥයන් හා සිවිල් ක්‍රියාධරයන් හමුවීවේ ද එවැනි සහතිකයක් ලබා දී නොමැත. එහෙත් දෙමළ ජනතාව අහිංසක අයුරින් එවැනි උපකල්පනයන් ඇති කර ගත්තා ද? මෙය කිසිදු ක්‍රියාකාරකමක් නොමැති පිටස්තරයන් වෙනුවෙන් බලා සිටින දේශපාලනයේ ප්‍රතිඵලයක් ද?

මේ තාක් කල් නිකුත්  කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය සිය නිල වාර්තාවල වර්ග සංහාරය වැනි වදන පවා සඳහන් කර නොමැත. අවසන් වරට නිකුත් කර ඇති වාර්තාවේ දෙමළ ජනයා යන වචනය පවා සඳහන් කර නොමැත. මේ මගින් පෙන්නුම් කරන්නේ කුමක්ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය කරනු ලබන විමර්ශනයේ ඊළඟ පියවර වනුයේ ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත්‍රයක් බව නිසඟයෙන්ම අවධාරණය කෙරේ. නමුත් නවිපිල්ලේ ලංකාවට පැමිණි විට ඇය කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් නොව, බොහෝ සාමාජික සංවිධාන සිටින බැවින් ඒවා සියල්ල එක් වී අවසන් තීරණයකට එළඹෙන බව ය.  එවිට මානුෂිකව සළකා තීන්දු තීරණ ඉදිරිපත්  නොවනු ඇත. ඒ කුමක් නිසාද? එක්සත් ජාතීන් යනු බොහෝ රටවල් රැස්ව සිටින වේදිකාවකි. එහිදී තීරණ ගනු ලබනුයේ රාජ්‍යයන් අතර පවතින භූ දේශපාලනික අවශ්‍යතා සළකා මිස යුක්තිය හා සාධාරණත්වය සැළකිල්ලට ගනිමින් නොවේ.

යුක්ති ධර්මයද? භූ දේශපාලනයද?

මේ සඳහා මෑත කාලීන නිදසුනක් ලෙස නැගෙනහිර යුරෝපයේ ක්‍රොයේෂියාවේ දී සර්බියාව කරන ලද ඝාතන ගැන එක්සත් ජාතීන්ගේ යුක්තිය පසිඳලීමේ ජාත්‍යන්තර අධිකරණය මගින් කරන ලද පරීක්ෂණය හා එහි තීන්දු දැක්විය හැකි ය. ජාත්‍යන්තර අධිකරණය මගින් සර්බියාවට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර සර්බියාව ද ක්‍රොයේෂියාව ට එරෙහිව ඝාතන චෝදනා ඉදිරිපත් කරමින් නඩුවක් ගොනු කළේය. පුරා වසර 16 කට පසුව මේ වසර මුලදී සිය තීන්දුව ලබා දීමට ජාත්‍යන්තර අධිකරණය සමත් විය. තීන්දුව අනුව රටවල් දෙකම කිසිදු ඝාතන චෝදනාවකට වැරදිකරුවන් කර නොමැත. එහෙත් සර්බියාව බොස්නියාවේදී කරනු ලැබූ වර්ග සංහාරයට එරෙහිව චෝදනාවටද ලක් වී තිබුණි. එහෙත් යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්‍ෂාවෙන් සිටින සර්බියාව ඊට ඇතුල්වීම සඳහා වන යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කෙරෙන කොන්දේසි ද සපුරා තිබේ. මෙහිදී සර්බියාවට දඬුවම් ලබා දෙන තීන්දුවක් මගින් ක්‍රොයේෂියාව හා සර්බියාව අතර සබඳතා පළුදු වී තවත් ප්‍රශ්න වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර අධිකරණය කල්පනා කර තිබේ. මේ නිසා සර්බියාවට දඩුවම් කිරීම මගින් එය හුදකලා කරනවා ද, නැත්නම් සර්බියාව ද එක් කරගනිමින් යුරෝපා සංගමය පුළුල් කරනවා ද යන දෙකෙන් වඩා යහපත් කුමක්ද යන ප්‍රශ්නය මෙහිදී මතු විණි. ජාත්‍යන්තර සබඳතාවලදී  වැදගත් කාරණය වනුයේ පුළුල් යුරෝපා සංගමයක් ඇති කිරීම නම්, සර්බියාවට දඬුවම් කිරීමට වඩා මිත්‍රශීලීව වැළඳ ගැනීමට ප්‍රමුඛත්වය දීම මෙහිදී වැදගත් කොට සැළකුණි. වර්ග සංහාරයට එරෙහිව යුක්තිය පසිඳලීමට වඩා දිගු කාලීන වශයෙන් කලාපීය අවශ්‍යතාවයන් කෙරෙහි මෙහිදී වඩාත් අවධානයට යොමු කොට ඇත.

ශ්‍රී ලංකා රජයේ යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති ප්‍රධාන චරිත දෙකම ඇමෙරිකානු පුරවැසියන් ය. මේ චෝදනා ගැන පරීක්‍ෂණ පවත්වන්නේ නම් ආරම්භ කළ යුත්තේ ඇමෙරිකාව තම පුරවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමෙනි. එහෙත් එවැනි පරීක්‍ෂණයක් වෙනුවෙන් ඇමෙරිකාව සහ බටහිර රටවල් ඉදිරිපත් නොවේ. ඒ වෙනුවට ක්‍රියාත්මක වන්නේ රාජපක්ෂ සොහොයුරන් වෙත බලපෑම් කිරීමෙන් යටපත් කිරීමට ගන්නා උපායකි. මෙවැනි උපායයන් මගින් චෝදනා එල්ල වූ පාර්ශවයන්ට එරෙහිව පරීක්‍ෂණ කර දඬුවම් ලබා දීමක් නොවේ. 'වෙනස' ශක්තිමත් කිරීමට යැයි කියා ගන්නා මෙවැනි දේ මගින් 'වෙනස' පරාජය වීමටද හේතුවනු ඇත. ඒ නිසා මේ 'වෙනසට' පෙරත්, පසුවත් යුධ අපරාධ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකාවේ දකුණේ සිටින පුද්ගලයන්ට දඬුවම් කිරීමට අවශ්‍ය දේශපාලනික අපේක්‍ෂාවක් බටහිර රටවලට මෙන්ම ඉන්දියාව ද සතු නොවීය.

අප්‍රිකානු යථාර්ථය

ජාත්‍යන්තර යුක්තිය යනු ජාත්‍යන්තර බල දේශපාලනයයි. රටවල් අතර භූ දේශපාලනික වැදගත්කමට වඩා වැඩිමනත් යුක්තියක් එහි නොමැත. එසේ යුක්තිය ඉටුකිරීම යනු බලවත් රටක භූ දේශපාලනික භාවිතය සම්බන්ධ තීරණයක් වනු නියත ය. මීට නිදසුනක් ලෙස පෙන්වා දිය හැක්කේ ඉකුත් දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ සිදු වූ සිදුවීම් දෙස යොමු වීමෙනි. සුඩානයේ ඕමාර් අල් බෂීර්ට එරෙහිව යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ වරෙන්තු නිකුත්ව තිබේ. සුඩානයේ ඩාෆුර් ප්‍රදේශයේ පැනනැගී ආයුධ සන්නද්ධ අරගලය යටපත් කිරීමට ඔහු ගත් මර්දනකාරී වැඩ පිළිවෙළේදී යුධ අපරාධ සිදු කළ බවට චෝදනා එල්ල විය. බටහිර ඇතුළු බලවත් රටවලට මොහු පිළිබඳ කිසිදු පැහැදීමක් නොමැත.1990 දී අල්කයිදා ප්‍රධානියාව සිටි ඔසාමා බිල්ලාඩන්ට සුඩානයේ රැකවරණ ලබා දුන් බවට ද මොහු චෝදනා ලැබීය. සේ සියල්ල හේතුවෙන් බටහිර රටවල් මොහු කොටු කර තබා ගැනිණි. ජනාධිපති බෂීර් මේ ජාත්‍යන්තර අධිකරණයේ වරෙන්තුව ඉවත ලා දකුණු අප්‍රිකාවටත් , ඊට පෙර තවත් රටවල් කිහිපයකත් සංචාරයන්හි නිරත විය. ඒ රටවල් ජාත්‍යන්තර අධිකරණයේ සාමාජිකයන් නොවන මුත් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අධිකරණයේ සාමාජික රටකි. දකුණු අප්‍රිකාවේ පැවති අප්‍රිකානු සංගමයේ සමුළුව නියෝජනය කිරීමට පැමිණි බෂීර් අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකානු අධිකරණය ද නියෝගයක් ලබා දුනි. ඒ දකුණු අප්‍රිකාවේ සිවිල් සමාජ ක්‍රියාධාරයන්ගේ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව ය. නමුත් දකුණු අප්‍රිකානු රජය ජාත්‍යන්තර අධිකරණ වරෙන්තුව මෙන්ම තම රටේ අධිකරණ තීන්දුව ද පසෙක ලා බෂීර් ට දකුණු අප්‍රිකාවෙන් පළායාමට අවස්ථාව ලබා දුන්නේය.

දකුණු අප්‍රිකාව එසේ කටයුතු කළේ ඇයි?

ජාත්‍යන්තර අධිකරණය පසුගිය වකවානුවේදී වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ අප්‍රිකානු රටවල් කෙරෙහි ය. මේ කරුණ දකුණු අප්‍රිකානු නායකයන්ගෙන්ද නිරන්තරයෙන් නැගෙන චෝදනාවකි. ජාත්‍යන්තර අධිකරණයෙන් දඩුවම් කර ඇති නැගෙනහිර යුරෝපීය රටවල ඇතැම් නායකයන් හැරුණු කොට අවශේෂ පිරිස් අප්‍රිකානු රටවලිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිශේධ බලය හිමි රටවල් ජාත්‍යන්තර අධිකරණය නියෝජනය නොවේ. අප්‍රිකාවට එපිටින් මෙවැනි චෝදනාවන්ට ලක්වන නායකයන් බලවත් රටවල් තමන්ගේ භූ දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් රැකගනු ලබයි. ඊශ්‍රායලයට එරෙහි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ තීරණවලට සිදුවුයේ කුමක් ද? මේ ගැන බලවත් රටවල ස්ථාවරය කුමක් ද?

සිහින අපේක්‍ෂාවක්?

අප්‍රිකානු රටවලට පමණක් දඬුවම් කරනවාය යන්න අප්‍රිකානු නායකයන්ගේ චෝදනාවයි. මෙය අයුක්තිසහගත බවත්, ජාත්‍යන්තර අධිකරණය වෙනුවට අප්‍රිකානු අධිකරණයක් ශක්තිමත් කල යුතු බව ඔවුන්ගේ අදහසයි. මෙය ජාත්‍යන්තර අධිකරණය බලවත් ලෙස ප්‍රශ්න කිරීමක් සේ සැළකිය හැක. දකුණු අප්‍රිකාව අල් බෂීර් අත්අඩංගුවට නොගැනීමට මෙය ද එක් හේතුවකි. කෙසේ වෙතත් ජාත්‍යන්තර අධිකරණයේ වරෙන්තුව මෙහිදී මුළුමණින්ම ප්‍රතික්‍ෂේප කර ඇත. යුධ අපරාධ චෝදනාවලට වඩා රාජ්‍යයන් අතර සබඳතාවන්හි වැදගත්කමට හා කලාපීය අවශ්‍යතාවයන්ට මෙහිදී ප්‍රමුඛත්වය දී තිබේ. ජාත්‍යන්තර යුක්තිය යනු ජාත්‍යන්තර දේශපාලනය සේ සැළකිය යුත්තේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරක් මෙමගින් ලබාදෙයි.

යුධ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණ ඊළාම් දෙමළ ජනයාගේ සිහින අපේක්‍ෂාවකි. නමුත් ජාත්‍යන්තර යථාර්තය ඊට වෙනස්ව පවතී. ලංකාවේ ආණ්ඩු වෙනසින් පසුව සිහිනයත් යථාර්තයත් අතර ඇති හිඩැස තීව්‍ර වෙමින් පවතී.  ඉකුත් වසර හය පුරාම පැවතියේ පිටස්තර බලවේග දෙස බලාපොරොත්තුවෙන් සිටින දේශපාලනය ද පිටස්තර බලවේග විසින්ම හසුරුවන් ලැබීමේ යථාර්ථයයි. මේ වටපිටාව හමුවේ ඊලාම් දෙමළ ජනතාවගේ සිහිනය ඒ යථාර්ථය දෙසට නැඹුරු වනු ඇතිද? එසේ නොමැතිනම් ඔවුන් එකී කෘර යථාර්තය තමන්ගේ සිහින දෙසට නැඹුරු කිරීමට යන්නේද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.