JDS Sinhala

නිලාන්දන්: ‘වෙනස’ ශක්තිමත් කිරීමේ ලන්ඩන් හමුව කාගේ අවශ්‍යතාවක්ද?

ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා සහ විදේශගත දෙමළ ප්‍රජාව නියෝජනය කරන ඇතැම් කණ්ඩායම් නියෝජිතයන් අතර ලන්ඩනයේදී සිදු වූ හමුව පිළිබඳ විවිධ මත පළවෙමින් තිබේ. රාජපක්ෂ හිතවාදීන්ට අනුව 'කොටි නියෝජිතයන්'ට වරදාන දීමේ සාකච්ඡාවක් සේ සැළකෙන එය, ආණ්ඩු පාක්‍ෂිකයන්ට අනුව 'ප්‍රතිසන්ධානය' සඳහා පියවරකි.

නමුත්  'ලන්ඩන් සාකච්ඡා' පිළිබඳව දිවයින තුළ වෙසෙන දෙමළ සමාජය අභ්‍යන්තරයේ පළවන මති මතාන්තර මේ සම්බන්ධයෙන් වැදගත් දේශපාලන මානයක් සේ සැළකීමට බොහෝ දෙනා මැළිවෙති. දෙමළ දේශපාලන ලේඛක නිලාන්දන් විසින් 'යාල් තිනක්කුරල්' පත්‍රයට 'மாற்றத்தைப் பலப்படுத்தும் நோக்கிலான லண்டன் சந்திப்பு මැයෙන් ලියූ මෙම ලිපිය සිංහලෙන් පළ කෙරෙනුයේ නොතකා හැර තිබෙන දෙමළ ජනයාගේ ආකල්පයන් පිළිබඳ වැදගත් අර්ධයක් එමගින් අනාවරණය කෙරෙන බැවිනි.

පරිවර්තනය: නන්දිනි ෆරීක් සහ අතුල විතානගේ


කුණු අප්‍රිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් සහ ස්විට්සර්ලන්ත ආණ්ඩුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ විදේශ ඇමති, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙක් සමග විදේශ ගත දෙමළ ප්‍රජාව නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් පසුගියදා දින ලන්ඩන් නුවර දී හමු වූහ. මහ මැතිවරණයක් මුවවිට තබාගෙන පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විසින් තහනමට ලක් කරනු ලැබූ විදේශ ගත දෙමළ ප්‍රජාවගේ සංවිධානයක් ද මේ හමුව නියෝජනය කර තිබිණ. විදේශ අමාත්‍ය මංගල සමරවීරද මීට එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය වෙනුවෙන් මැදිහත්කරුවෙකු වූ නෝර්වේ රාජ්‍යයේ හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් මේ අතර විය. මෙය නිල නොවන මටටමින් පැවති හමුවක් සේ හඟවනු ලැබුවද ඊට එක්ව සිටි සංවිධාන හා පුද්ගලයන් අනුව නම් පෙනී යන්නේ වඩාත් සංවිධානාත්මකව පැවැත්වූ  නිල හමුවීමක් ලෙස ය.

මෙය සංවිධානය කරනු ලැබූ දකුණු අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ ද වැදගත් එකකි. ප්‍රතිසන්ධානය වැනි ක්‍රියාවලියකදී බාහිර පාර්ශවයන්ගේ මැදිහත් වීමකින් තොරව රට අභ්‍යන්තරයේ කිසියම් ව්‍යුහයක් ගොඩ නගා ගැනීම වැදගත් බව ඔවුන් මෙහිදී පෙන්වා දුන් බව වාර්තා වේ. මේ දෙස විමර්ශනාත්මකව බැලීමේදී  ලන්ඩන් හමුව පැවති ආකාරය, කාල වකවානුව, සහභාගිවූවන්, සංවිධානය කිරීමට මෙන්ම පහසුකම් සැපයීමට මැදිහත් වුවන් මගින් පෙන්නුම් කරනුයේ මේ වනාහී බටහිර රටවල අවශ්‍යතා අනුව ක්‍රියා කරන්නන්ගේ ක්‍රියාවලියක් ලෙස ය. අවශ්‍ය නම් මෙය වනාහි, 'වෙනස' ඇති කරන්නට මැදිහත්වුවන්ගේ ප්‍රධාන වැඩපිළිවෙලක එක් පියවරක් ලෙසද හැඳින්වීමට හැකි ය. මේ වන විට 'වෙනස' ශක්තිමත් කිරීම ලෙස ඔවුන් අර්ථ දක්වන්නේ 'වෙනසට' එරෙහි වන්නන් පාලනය කිරීම ය. සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර සිටින  දැඩි මතධාරීන් යැයි ඔවුන් සළකන පිරිස් තම පාලනයට නතු කරගැනීම මගින් 'වෙනස' ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි ඔව්හු විශ්වාස කරති.

සිංහල දැඩි මතධාරීන්

සිංහල ප්‍රජාව අතර සිටින දැඩි මතධාරීන්ට රාජපක්ෂ නායකත්වය ලබා දෙමින් සිටි. රාජක්ෂගේ මේ ගමනට තිත තැබීම වැදගත් ය. ඔහුට සහාය දක්වන පාර්ශ්වයන් අත් අඩංගුවට ගැනීම, බිය වැද්දීම මගින් රාජපක්ෂට යළි නැගී සිටීමට නොහැකි වන බව බටහිර රටවල් හා ඉන්දියාවේ විශ්වාසයයි. ඒ අතර රාජපක්ෂට සහාය පළකරමින් සිටින ඔවුගේ සමීපතමයන්  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ පාර්ශවයට එක් කර ගැනීමේ ගනු දෙනු සිදු වෙමින් තිබේ. මේ තුළින් සිංහල ජනයා අතර 'වෙනස' ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බව ද  'වෙනස' ට දායක වුවන්ගේ අපේක්‍ෂාවකි. එමෙන්ම දෙමළ ජනතාවගේ පාර්ශ්වයෙන් 'වෙනස' පිටපුස ඇති යථාර්ථයන් ප්‍රශ්න කරනු ලබන්නන් සමග කිසියම් හෝ සබඳතාවයක් ගොඩනගා ගැනීමේ උත්සහායක් ද පවතී. මේ වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස ඉක්ම ගිය දින කිහිපයකට පෙර බටහිර රටවල නියෝජිතයන් පිරිසක්  ශ්‍රී ලංකාවේ සංචාරය කරමින්  දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් හමු වූහ. මේ අතර විදේශ ගත දෙමළ ප්‍රජාව තුළ සිටින තමන්ට ඉතා පහසුවෙන් හසුරුවා ගත හැකි සංවිධාන හා පුද්ගලයන්ට  ශ්‍රී ලංකා ආණ්ඩුව සමග සබඳතා ගොඩනංවා දීමේ වැඩපිළිවෙලක් ද ඉදිරියට ගෙන යමින් සිටියි.

'වෙනස' පිළිබඳව ප්‍රශ්න කරන  අය දෙමළ දැඩි මතධාරීන් ලෙසත්, එවන් බහුතරය විදේශ ගත දෙමළ ප්‍රජාව අතර සිටින බවත්, ඔවුන් සමග දෙමළ ජාතික සන්ධානයට සමීප සබඳතා ඇති බවටත්, බොහෝ දෙනා කල්පනා කරති. ඒ අනුව රට තුළත්, විදේශ ගත දෙමළ ප්‍රජාව තුළත් නොයෙකුත් වැඩ සටහන් දියත් කිරීම මගින් ‘වෙනස' දුර්වල කිරීමට උත්සුක වන පාර්ශවයන් ද  සිය පාලනය යටතට ගැනීමේ උත්සාහයක බටහිර රටවල් නිරතව සිටියි. මෙහි එක් පියවරක් ලෙසින් රාජපක්ෂ පාලනය විසින් තහනමට ලක් කොට ඇති  දෙමළ සංවිධානවල එකී තහනම ඉවත් කිරීමේ සාකච්ඡා දැන් සිදුවෙමින් තිබේ. රාජපක්ෂ පාලනය මගින් මෙම සංවිධාන තහනම් කරනු ලැබුව ද ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග නිසි ලෙස සම්පුර්ණ කර නොමැති බැවින් එම තහනම් නියෝග ඉවත් කිරීමේ හැකියාවක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් මෑතකදී සඳහන් කර තිබුණි. එසේ තහනම ඉවත් කෙරෙන විට බටහිර රටවල්වල සැළසුම වනුයේ විදේශ ගත දෙමළ ප්‍රජාව මොන යම් හෝ ආකාරයකින් ශ්‍රී ලංකා ආණ්ඩුව සමග ගැට ගසා දැමීම ය. ඒ අනුව මේ ගණුදෙනුව පිටුපස ඇති උපකල්පනයන් අතර පහත දැක්වෙන කරුණුද තිබෙනවාට සැක නැත.

ඩයස්පෝරාව ජයගැනීම

ශ්‍රී ලංකා ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමේදී  විදේශ ගත දෙමළ ප්‍රජාව තුළ ඇති 'දැඩි ප්‍රතිපත්ති' හා තීන්දු ලිහිල් වනු ඇත. එය තමන්ගේ ජයක් බවට යහපාලන ආණ්ඩුව පවසනු ඇති අතර බටහිර රටවල් අදහස් කරනු ඇත්තේ විදේශ ගත දෙමළ ප්‍රජාවගේ සංවිධානවලට පනවා තිබු තහනම ඉවත් කිරීම රාජපක්ෂට වාසි සහගත කරුණක් ලෙසින් දැක්වීමේ අවස්ථාව මේ මගින් ඔහුට අහිමි වනු ඇති බව ය.

එමෙන්ම විදේශ ගත දෙමළ ප්‍රජාවට ශ්‍රීලංකාවට පැමිණීමට නොහැකිවීම තුළ දුරස්ථභාවය වැඩි වන විට  සිය උපන් බිමෙන් බැහැර කළ මානසිකත්වය ද වර්ධනය වීම නොවැළැක්විය හැකි ය. ඔවුන් තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි දැඩි ආකල්ප මතු වීමට මෙය ද හේතුවකි. එම නිසා ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා වර්ධනය වන විට ඔවුන්ට රටින් බැහැර කළ හැඟීම දුරු වනු ඇත. කිසිදු තහනමකින් හෝ බාධාවකින් තොරව ලංකාවට පැමිණීමට මෙන්ම ආපසු යාමට හැකි වටපිටාවක් නිර්මාණය වුවහොත් විදේශ ගත දෙමළ ප්‍රජාව තුළ මෙවැනි වර්ධනයන් සිදුවිය හැකි යැයි ගණන් බලා ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවට නිදහසේ ආගමන - විගමනයට ඉඩ සැළසීම තුළින්  රට සමග සබඳතාවල වර්ධනයක් පෙන්නුම් කරන අතර ඔවුන්ගේ සිතුවිලිවල ද වෙනසක් වනු ඇත. විදේශ ගත දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ ආයෝජනයට පොළඹවා ගැනීම තුළින් මෙරට ආර්ථිකයේ වෙනසක් වනු ඇති අතර ලංකාවේ ආර්ථිකයට දායක වීමට දෙමළ ජනයාට ද අවස්ථාවක් ලැබෙන අතර ඒ තුළින් ද බොහෝ වෙනස් කම් දැකිය හැකි ය. එසේ ආයෝජනය කරන විට ඔවුන්ගේ ව්‍යාපෘතිවලට සරිලන අයුරින් වෙනසක් ඇති කෙරෙන බැවින් ඔවුන්ගේ ආකල්ප හා සිතුවිලි වෙනසකට ලක්වීමේ හැකියාව ද පවතී.

මීට අමතරව, විදේශ ගත දෙමළ ප්‍රජාවගේ පළමු පරම්පරාව හා දෙවන පරම්පරාව අතර  ආකල්ප හා සිතුවිලි වල වෙනසක් පවතී. කෙසේ වෙතත් මේ පළමු පරම්පරාවට වඩා දෙවන පරම්පරාව ශ්‍රී ලංකාව සමග සබඳතා ගොඩ නගා ගනු ඇත. ඔවුන්ගේ ආකල්ප වලද වෙනසක් වනු නොඅනුමාන ය. විදේශගත දෙමළ ප්‍රජාවගේ සංවිධානවලට පනවා ඇති තහනම ඉවත් කිරීමේ උවමනාවක් බටහිර රටවලට ඇති බව පැහැදිලිව පෙන්නුම් කෙරේ.  ලන්ඩන් හමුව පවත්වා ඇත්තේ මෙවැනි කරුණු පදනම් කර ගනිමින් බවට සැක නැත. මේවාට අමතරව වෙනත් අභිප්‍රේත අරමුණුද තිබිය හැකි ය.

දෙමළ ජනතාව 'වෙනසේ' සෘජු කොටස්කරුවන් කිරීම තුළින් 'වෙනස' ප්‍රශ්න කරනු ලබන දෙමළ පාර්ශවයන් පාලනය කිරීමටත්, එසේ නොමැති නම් ඔවුන් හුදකලා කර සුළුතරයක් බවට පත්කිරීමටත් සැළසුම් කොට තිබීමටද ඉඩ තිබේ. මෙවැනි ක්‍රමයක් හරහා දෙමළ ජනයා පාලනය කළ හැකි බව 'වෙනස'  සඳහා දායක වූ පාර්ශවයන්ගේ ආකල්පය බැව් පෙනේ.

'යුද අපරාධ' ලීවරයක් වශයෙන්

මේ පිළිබඳව දෙමළ ජනතාවට විශ්මයට පත්වීමට හෝ කනගාටු වීමට හෝ කිසිදු හේතුවක් නොමැත. ආණ්ඩු මාරුවෙන් පසු අවම වශයෙන් එක් දෙයක් දෙමළ ජනයා අපේක්ෂා කළහ. ඒ යුධ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ය. අද වන විට යුධ අපරාධ චෝදනා වනාහී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට විදේශ ගත දෙමළ ප්‍රජාව හරහා යොදාගත් මෙවලමක් පමණක් වී තිබේ.මේ පිළිබඳව ලන්ඩනයේ වෙසෙන මිතුරෙකු මෙසේ පවසා තිබිණ.

“බටහිර රටවල් විසින් විදේශ ගත දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ ජන සංඛ්‍යාවට වඩා විශාල වැදගත්කමක් දී තිබේ. සෑම ජිනීවා රැස්වීමකදී ම  විදේශ ගත දෙමළ ප්‍රජාවට ප්‍රමුඛතාවයක්  දීමෙන් ඔවුන්ව භාවිතා කොට රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව වෙනත් රාජ්‍යයන් පෙළ ගස්වන්නට ක්‍රියා කරමින්, රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් එල්ල කරනු ලැබුණි. රාජපක්ෂ පරාජය කිරීමෙන් පස්සේ එවැනි අවශ්‍යතාවයක් ඔවුන්ට ‍නොමැත. දැන් අවශ්‍යව ඇත්තේ ඇති කර ගත් 'වෙනස'  ශක්‌තිමත් කිරීමයි. යුධ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන චරිතයක් දැන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල කොටස්කරුවෙකි. ඒ නිසා යුධ අපරාධ තව දුරටත් ඇදගෙන යා යුතු නැත. දැන් ක්‍රියාත්මක වෙමින් ඇත්තේ, ප්‍රතිසන්ධානය නමින් ඔවුන්ට සමාව දිය හැකි ක්‍රමයක් හදාගත යුතුය යන අදහසයි”.

යුධ අපරාධ හරහා රාජපක්ෂ ආණ්ඩුව හසුරුවාලීමට බටහිර රටවල් විසින් විදේශ ගත දෙමළ ප්‍රජාව එක්තරා දුරකට භාවිතා කළ බව පැහැදිලි ය. දැන් බටහිර රටවල් විසින් සැලසුම් කරමින් සිටින්නේ විදේශ ගත දෙමළ ප්‍රජාව තමන්ට ප්‍රශ්නයක් නොවන අයුරින් හසුරුවා ගැනීම වෙනුවෙන් මේ යුධ අපරාධ විමර්ශන  යොදා ගැනීමට ය.

දෙමළ ජනයා මුල් කොටගෙන බලවත් රටවල් අතර පැවැත්වූ පළමු හමුවීම මෙය නොවේ. දශක කිහිපයක සිටම දෙමළ ජනයා පිළිබඳව මෙවැනි හමුවීම් පැවැත්විණි.

සොල්හයිම්ගේ "ශක්තිමත්ම ඩයස්පෝරාව?"

1987 ඉන්දු ලංකා සාම ගිවිසුම හරහා ජයවර්ධන ආණ්ඩුව යම් පාලනයකට නතු කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යොදා ගනු ලැබිණ. අද ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සැලසුම් කරමින් සිටින්නේ ද එවැනි දෙයකි. කෙසේ වුවද විශේෂත්වය නම් වසර විසි අටකට ඉහත දී ඉන්දියාවට සහාය ලබා දුන් සංවිධානවල දේශපාලනඥයන් දෙදෙනෙකු ද ලන්ඩන් හමුව ප්‍රශ්න කර සිටීමය. වසර විසි අටකට පෙර  අරගලය අත්හැර, ඉන්දු ලංකා ගිවිසුම වෙත සහාය දක්වන ලෙස සියළු දෙනාම දෙමළ විමුක්ති කොටි සංවිධානය වෙත බලපෑම් කරනු ලැබූහ. එහෙත් විසි අට වසරකින් පසු දෙමළ විමුක්ති කොටි සංවිධානයට සහාය පළ කළේ යැයි පිළිගැණෙන සංවිධානයක් බටහිර රටවල් නියෝජිතයන් හා යහපාලන ආණ්ඩුව සමග ලන්ඩනයේදී හමු වී සාකච්ඡා පැවැත්වීම පෙර කී දේශපාලනඥයන් දෙදෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

දෙමළ ජනතාව පිළිබඳව බලවත් රටවල බලපෑමේ වෙනසක් ඇතිවී තිබේද?  තිත්ත ඇත්ත නම් 'නැත' යන්නයි. ඉන්දියාව මෙන්ම බටහිර රටවල්ද ලංකාවේ දේශපාලනය හසුරුවා ලීමේ උත්සාහයක් දරමින් සිටියි. කලාපය පිළිබඳ මෙම රාජ්‍යයන් අතර ගොඩනැගෙන සබඳතාවලදී ශ්‍රී ලංකාවේ රජය  හසුරුවාලීම ද වැදගත් කාර්යක් ලෙස දැනුදු සැළකේ. මෙහිදී සෑම බලවත් විදේශ බලවේගයක්ම සිය ජාත්‍යන්තර හා කලාපීය න්‍යාය පත්‍රයේ වැදගත් වන දෙමළ ජනයාව හසුරුවන්න උත්සුක වනුයේ  මාලු පිණි රසවත් කරන්නට ගන්නා කරපිංචා මෙනි. දෙමළ ජනතාව අතර පවතින විවිධාකාරයේ බෙදීම් හේතු කොටගෙන මෙවැනි පිටස්තර බලවේගයන්ට දෙමළ ජනතාව හැසිරවීමේ හැකියාව ලැබී තිබේ.

විදේශ ගත දෙමළ ප්‍රජාව අතර පදනම් වුණු ඇතැම් සංවිධාන බලවත් රටවල සහ ඔවුන්ගේ අනුචර සංවිධාන හරහා සෘජු බලපෑමට ලක්ව සිටියි. එහෙත් එසේ බලපෑමට ලක්ව නොසිටින විදේශ ගත දෙමළ ප්‍රජාවගේ සංවිධානවල එකතුවක් තුළින් පදනමක් සහිත අව්‍යාජ නියෝජිතයන් තමන් බව පෙන්නුම් කිරීමට ද ඔවුන් සමත් වී නොමැත. විදේශ ගත දෙමළ ප්‍රජාව තුළ බහුතරය පිළිගත් නායකත්වයක් සහිත නිසි වැඩපිළිවෙලක් පෙන්නුම් කරන කිසිදු සංවිධානයක් ඇති බවක් නොපෙනේ. ලංකාවේ දෙමළ ජනයාගේ ජනවරම ලබාගත් දෙමළ ජාතික සන්ධානය එවැන්නක් වෙනුවෙන් නායකත්වයක් ලබා දෙන්නේ ද නැති අතර එවැන්නක් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ අඩංගු වී නොමැත. විදේශ ගත දෙමළ ප්‍රජාවගේ සංවිධාන ගැන නොර්වේ හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය ට්විටර් පිටුවේ "ලෝකයේ ශක්තිමත්ම ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව" යැයි සටහන් කර තිබේ. 

එහෙත් ලන්ඩනයේ පැවති හමුව හා විදේශ ගත දෙමළ ප්‍රජාවගේ සංවිධාන කටයුතු කරන ආකාරය නිරීක්ෂණයේදී මේ කරුණ ඇත්තකැයි අපට පිළිගත හැකිද?

නිලාන්දන්


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.