JDS Sinhala

විත්‍යා සිවලෝගනාදන්ගේ මරණය සහ දෙමළ දේශපාලනය

පසුගිය දා පුනගුඩතිවුහිදී අතවර කොට මරා දැමූ විත්‍යා සිවලෝගනාදන් දැරියගේ මරණය, දෙමළ සමාජය තුළ කාලාන්තරයක් කැකෑරුණු විරෝධය පිටාර ගැලීමට හේතු වූ බවක් පෙන්නුම් කළේය. උතුරු - නැගෙනහිර නගර පුරා පැතිරුණු හර්තාල් ව්‍යාපාරයන්ට හා විරෝධතා උද්ඝෝෂණයන්ට මඟ පාදන ලද සිදුවීමක් විසින් දෙමළ ජන සමාජයේ ඉදිරිය පිළිබඳ වැදගත් දේශපාලන හැඟවුම් මතු කරන්නේද? ඉකුත් ඉරිදා, 'යාල් තිනක්කුරල්' පත්‍රයට வித்தியாக்களைப் பாதுகாப்பது எப்படி? මැයෙන් දෙමළ ලේඛක නිලාන්දන් විසින් ලියන ලද ලිපිය, මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම පිණිස වර්ධනය වන අභිප්‍රාය පෙන්නුම් කරයි.

පරිවර්තනය: අතුල විතානගේ සහ ජීවේන්ද්‍රන් නඩරාජා


සුගිය දිනෙක යාපන මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ  ‘මළවුන් සැමරීම අයිතියකි” යනුවෙන් පැවති සමුළුව සඳහා දකුණේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ  රුකී ප්‍රනාන්දු සමග තවත් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ මරිසා ද සිල්වා එක්ව සිටියහ. එදින රාත්‍රියේ පැවති  හමුවට  යාපනේ දේශපාලඥයන් මෙන්ම මානව හිමිකම් හා බහුජන සංවිධාන නියෝජිතයන්  රැසක්  එක් විය. මෙහිදී මරිසා ද සිල්වා ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ  රජයේ හමුදාව විසින් කාන්තාවන්ට එරෙහිව කරනු ලබන ලිංගික හිංසනය හා ප්‍රචණ්ඩත්වයට දක්වන විරෝධය, දෙමළ සමාජය අභ්‍යන්තරයේ සිදුවන එවැනි ක්‍රියා සම්බන්ධයෙන් එතරම් මතු නොවන්නේ මන්ද යන්නයි. ඊට නිදසුනක් දක්වමින් ඇය පෙන්වා දුන්නේ  සාරණ්‍යා නමැති සිසුවිය සමුහ දුෂණයකට ලක්කොට මරා දැමීමේ සිද්ධියයි. එහිදී දෙමළ සමාජය තුළ විරෝධයක් මතු නොවුණු බව මරිසා ප්‍රශ්න කර  ඉක්ම ගියේ සතියකි. දැන් දෙමළ සමාජයෙන් ඇයට පිළිතුරක් ලැබී තිබේ. ඒ විත්‍යාගේ ඝාතනයට එරෙහිව දෙමළ  ජන සමාජය දැක්වූ උද්වේගකාරී විරෝධය ඔස්සේය.

විත්‍යා සාමුහික දුෂණයකට ලක්කොට මරා දැමීමට එරෙහිව පැන නැගුනු විරෝධය පුන්ගුඩතිව් දුපත්වාසීන්ට පමණක් සිමා නොවුණි. යාපන අර්ධද්වීපයෙන් ඔබ්බට පැමිණි විරෝධය නැගෙනහිර පළාතටත්,  ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය පුරා ද මෙන්ම ශ්‍රී ලංකාවෙන් ද ඔබ්බට ගොස් විදෙස් ගත දෙමළ ජනයා වෙසෙන යුරෝපා සහ ඇමෙරිකානු රටවල් කරා ද පැතිර ගොස් තිබේ.

මුල්ලිවෛක්කාල් සැමරුම

බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණේ මැයි 18 වැනිදාට යෙදුනු මුල්ලිවෛක්කාල් සැමරුම වෙත ය. විත්‍යා‍ මරා දැමුණේ එවන් සැමරුමක් ආසන්නයේ දී  වූ නිසාම ජනතාවගේ වැඩි අවධානයක් මේ අපරාධය කෙරෙහි යොමු වුණි. විත්‍යා වෙනුවෙන් නීතියේ සාධාරණත්වය අපේක්‍ෂා කළ  ජනතාව විරෝධය දැක්වුයේ  සිය අවංක හා සංවේදී හැඟීම්වලින් යැයි ප්‍රවීන දේශපාලන විචාරක ජෝතිලිංගම් සඳහන් කර තිබුණි.ඊට පෙර යාපනේ සරසවි ආචාර්යවරුන් සංවිධානය කර තිබුණු උද්ඝෝෂණ ව්‍යාපාරයට වඩා ජනතාව මේ උද්ඝෝෂණය වෙත එක්ව සිටියේ දැඩි උද්වේගයෙන් බව මනාව පෙන්නු කරනු ලැබිණි.

චුන්නාකම් ජල මුලාශ්‍ර වලට රසායන ද්‍රව්‍ය එක් වීමෙන් ජල දුෂණය ට එරෙහිව පැවති ජනතා විරෝධය ගැන පළමුවෙන් මුහුණු පොතේ සටහන් තැබූ අයෙක් කියා සිටියේ විත්‍යාට කරන ලද අපරාධයට එරෙහිව පෙළ ගැසුණු ජනයා මෙතරම් උද්වේගකර අකාරයෙන්ම මුල්ලිවයික්කාල් සැමරුමට පැමිණියේද යන්නය. යථාර්ථය නම් මෙහිදී වැඩි ජනතාවක්  ස්වේච්ඡාවෙන්ම පැමිණීම ය.

ආණ්ඩු මාරුව හමුවේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා තුළ පසුගිය දශකය පුරා පැවති බිය හා සැක දුරු වී කිසියම් නිදහසක් ලැබුණු බවට ඔවුන් තුළ පවතින විශ්වාසයයි. මේ අනුව, යාපන සරසවි අචාර්යවරුන් සංවිධානය කරන ලද විරෝධතාවට සහ චුන්නාකම් ජල ප්‍රශ්නය සම්බන්ධ උද්ඝෝෂණයට මෙන්ම ගජේන්ද්‍ර කුමාර් - සුමන්තිරන් විවෘත සංවාදයට ද ජන සහභාගිත්වයක් දක්නට ලැබිණි. මේ කාලය තුළ ජනතාව තුළ විවෘතව අදහස් දැක්වීමේ ප්‍රවණතාවක් මෙන්ම සංවාදශීලී තත්ත්වක් වර්ධනය වෙමින් තිබේ. මුල්ලිවයික්කාල් සැමරුම පැමිණෙනුයේ මෙවන් පසුබිමක් ඉදිරියේදී ය. 2009 න් පසු මෙතරම්ම උද්‍යෝගයෙන් මුල්ලිවයික්කාල් සැමරුම පවත්වන ලද්දේද මේ වසරේදී ය. මුල්ලිවෛක්කාල් සැමරුම වෙනුවෙන් කතෝලික සභාව සංවිධානය කරන ලැබූ වැඩසටහන හැර අනිකුත් සියලු සමරු වැඩසටහන් ඒ ඒ දේශපාලන පක්ෂවල ජනප්‍රියතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් සංවිධානය කර තිබීම දක්නට ලැබුණි. විත්‍යාගේ සිදුවීම මතුව ආවේ මේ ආකාරයෙන් ගොඩනැගෙමින් තිබුණු පරිසරයක් තුළ ය.

මෙහිදී සාමාන්‍ය ජනතාව විවෘතවම ඉදිරියට පැමිණ සිය විරෝධය දැක්වීම හේතුවෙන් ආණ්ඩු මාරුවෙන් පසු සමාජය තුළ විශාල ප්‍රජාතාන්ත්‍රික වෙනසක් සිදුවී ඇතැයි කිසිවෙක් විශ්වාස කළ යුතු නැත. ඇත්තටම සිදුව ඇත්තේ මේ ආණ්ඩු මාරුව අතරමැද ජනතාවට සීමිතව හුස්ම ගැනීමේ ඉඩකඩක් නිර්මාණය වීම පමණි.

ක්‍රිශාන්ති සහ විත්‍යා

විත්‍යාට සිදුවූ අපරාධයට එරෙහිව පෙළ ගැසුණු ජනතා විරෝධය 2009 වසරේ සිට දෙමළ සමාජ අභ්‍යන්තරයේ පැවති පීඩනය පුපුරායාමට දැල්වුණු එක් ගිණි පුපුරක් පමණි. විත්‍යා සම්බන්ධයෙන් තිරුනෙල්වේලි පොදු වෙළඳ සැළට ඉහළින් ප්‍රදර්ශණය කෙරෙනු  බැනරයක සටහන් කර තිබුණේ  “ඊයේ ක්‍රිෂාන්ති , අද විත්‍යා, හෙට කවුද ?” යන්නයි. එහි සඳහන් ආකාරයටම, ඉතිහාසය තුළ මෙවැනි දේ බොහෝ සිදුව තිබේ. නමුත් අද වන විට විත්‍යා එවැනි අපරාධවල පොදු සංකේතයක් බවට පත්ව තිබේ. උද්ඝෝෂණවලදී  විත්‍යාගේ රුව රැගත් පුවරු අතැති ජනතාවගේ හිත් තුළ ක්‍රිෂාන්ති කුමාරස්වාමිගේ මෙන්ම ඉසෛප්‍රියා ගේ මරණයන් පිළිබඳ මතකය ජීවමානව තිබුණි. 

ඇත්ත වශයෙන්ම, මේ විරෝධතා දේශපාලන කටයුත්තක් ලෙස හුවා දැක්වීමට නොහැකි ය. විත්‍යාගේ සිද්ධියත් සමග සිදුව ඇත්තේ, මෙතෙක් හඬක් නැගීමට නොහැකිව සිටි ජනතාව ගේ විරෝධය ඉතාමත් උස් හඬින් ප්‍රකාශ කිරීමකි. මුල්ලිවෛක්කාල් විවෘතව සැමරීමට එල්ල වූ බාධාවන් ට එරෙහිව විත්‍යාගේ සිද්ධිය උපයෝගී කරගත් බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යයක් නොමැත. මෙතැනදී ඇත්තටම වැඩි සහභාගිත්වයක් පෙන්නුම් කළේ සාමාන්‍ය ජනතාවයි. සාරණ්‍යා මෙවැනිම අපරාධයකට ගොදුරු වූ අවස්ථාවේදී  විවෘතව ඉදිරියට පැමිණ විරෝධය දැක්වීමේ ශක්තියක් ජනතාවට නොතිබුණි. ඊට විරෝධය දක්වන්නට නොහැකිව සිටි ජනයා ද විත්‍යාගේ සිද්ධිය හරහා වීදියට පැමිණ විරෝධය දැක්වූහ. ඉකුත් සතියේදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රකාශකයෙකු කියා තිබුණේ  ඔවුන් මීට පෙර කැඳවූ විරෝධතාවලට ජනතාව එතරම් සහභාගී නොවුණද  මේ සඳහා ජනතාව විශාල ලෙස සහභාගි වූ  බවකි. එහෙත් මෙහිදී එක් කාරණයක් පැහැදිලිව දක්නට ලැබේ. එනම් ජනතාව තවමත් හමුදාවට එරෙහිව විවෘත විරෝධයකට පැකිළීමක් ඇති බව ය.

නායකත්වයෙන් තොර විරෝධතා

අද වනවිට අන්තර් ජාලය හා සමාජ මාධ්‍ය ජාලා අදහස් ගොඩ නැංවීමට බොහෝ සේ උපකාරී වේ. ඕනෑම සිද්ධියක් මෙකී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන්නේ ලැව් ගින්නක් මෙනි. මේ තුළින් සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය දේවල් ද පැතිර යාම වැළැක්වීමට නොහැකි ය. විත්‍යාගේ සිද්ධියේදී ද අන්තර් ජාලය ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ලැබිණි. කිසිදු දේශපාලන පක්ෂයක හෝ කිසිදු දේශපාලනඥයෙකුගේ නායකත්වක් මෙහිදී දක්නට නොලැබුණි. ඇත්තටම විත්‍යාගේ සිද්ධියට විරෝධය සංවිධානය කෙරුණේ කිසිදු නායකත්වයක් නොමැතිව ය. අවශ්‍ය නම් මෙය සෘණාත්මක ලක්ෂණයක් ලෙසද දකින්නට හැකි ය. දෙමළ ජනයා අතරින් පැන නැගුනු විරෝධය මෙන්ම ඔවුන් පෙන්නුම් කළ අධිෂ්ඨානය නිවැරදි දිශාවක් වෙත යොමු කිරීමට නායකත්වයක් නොතිබුණි. නිවැරදි දේශපාලන දැක්මකට මෙවැනි ජනතා විරෝධයන් ගොනු කර ගැනීමට නොහැකි වීම තුළ සිදුවන්නේ ජනතා ශක්තිය නිරපරාදේ දිය වී යාමකි. 

පළාලි මාර්ගයේ පැවති එක් උද්ඝෝෂණ ව්‍යාපාරයකදී ඊට එක් වූ පිරිස් මාර්ගය දෙපස පිහිටි නිවාසවලට මෙන්ම වෙළඳ සැල්වලට ද අලාභානි සිදු කරනු ලැබුණි. මෙසේ කිසිදු විනයක් නොමැතිව සිදු කෙරුණු ක්‍රියාවන් ඊළඟ දිනයේදී තවත් වර්ධනය විය. දේශපාලනඥයන් විත්‍යාගේ නිවසට පැමිණ සිය ශෝකය ප්‍රකාශ කර නැවත ඔවුන්ගේ නිවෙස් කරා ගිය ද  ඔවුනට  සිද්ධිය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයා තුළ පැන නැගෙමින් තිබුණු කෝපය ගැන කිසිදු වැටහීමක්  නොතිබුණි. එම නිසා ඊට පසු පැවති විරෝධතාවලදී ඔවුන්ට කිසිදු හෝ අවස්ථාවක් නොලැබුණි. මෙහිදී දක්නට ලැබුනේ ජනයා විසින් දේශපාලනඥයන්ව පැත්තකට වීසිකර දමා තිබුණු තත්ත්වයකි. අනෙක් අතට දේශපාලඥයන්ට විකල්පයක් ලෙස එකදු සමාජ ක්‍රියාධරයෙකුටවත් මේ විරෝධයන් හි පෙරමුණ ගැනීමට අවස්ථාව නොලැබුණි. ඊට හේතුව වනුයේ ඉකුත් සය වසරක කාලය තුළ දෙමළ සමාජය තුළ දේශපාලනඥයන් නිර්මාණය වුවා මිස, කිසිදු සමාජ ක්‍රියාධරයෙකු බිහි නොවීම ය. ඒ මගින් සමාජය තුළ රික්තයක් නිර්මාණය වී තිබේ.

ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පාර්ලිමේන්තු වශයෙන් දේශපාලනඥයන් රැසක් බිහිවී සිටිය ද ජනතාවට සවන් දීමට හැකි නායකත්වයක් නොමැති බව විත්‍යාගේ සිද්ධිය මගින් යළිත් සනාථ කරනු ලැබුණි. එසේ සිටියේ නම් මෙම විරෝධතාවයන්ට නිසි නායකත්වය ලබා දීමට හැකියාව ලැබෙන්නට ඉඩ තබුණි. මෙහිදී විශේෂත්වය වන්නේ ජනතාවට සවන් දෙන දේශපාලනඥයන් හා සමාජ ක්‍රියාධරයන්  මතු නොව, බුද්ධිමතුන් හෝ ආගමික නායකයෙකු පවා නොසිටීම ය. ඊට හේතු වන්නේ ඉකුත් වසර හය පුරාම නව දේශපාලන දැක්මක් ජනතාව වෙත ලබා දීමට දෙමළ දේශපාලඥයන් අසමත් වීම ය. ඔවුන් මහජන නියෝජිතයන් ලෙස පමණක් කටයුතු කළ අතර නව දැක්මක් සහිතව සමාජය හැඩ ගැස්වීමට උනන්දු නොවුණි.  මේ වන විට දෙමළ සමාජය සිටිනුයේ නිසි දේශපාලන දැක්මක් හා සංවිධිත අරමුණක් නොමැති ප්‍රජාවක් ලෙස ය. දෙමළ සමාජයට අරමුණක් සහ අධිෂ්ඨානයක් ඇති කරන ඊට මග පෙන්වන නායකත්වයක්  දැන් අවශ්‍යව ඇත්තේ ඒ නිසා ය.

නව සංවාදයක අවශ්‍යතාව

විධිමත් මඟ පෙන්වීමක් නැති පසුබිමක් තුළ විත්‍යාට සිදු වූ ආකාරයේ අපරාධයන් මෙන්ම කණ්ඩායම් අතර ගැටුම් වැනි සිදුවීම්ද හටගනු ලබයි. කල්ලි කණ්ඩායම්වලින් මතු වන ප්‍රචණ්ඩත්වයට දඬුවම් ලබා දීමෙන් පමණක් එවන් ගැටළුවලට නිසි විසදුම් ලබා ගත නොහැක. ලිංගික හෝ මොනයම් හෝ අපරාධයක් සිදුනොවන පරිසරයක් නිර්මාණය කිරීම අද වන විට අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතී. ඊට අවශ්‍ය වන්නේ දේශපාලන දැක්මක් සහ නිහතමානි දේශපාලන නායකත්වයකි. මේ කරුණු සමාජයේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ගොඩ නැ‍ගෙන සංවාදයක් තුළින් සලකා බැලිය හැකි ය.

ජාතික නායකත්වයක් පමණක් නොව, ප්‍රාදේශීය වශයෙන්ද යහපත් දේශපාලඥයන් මෙන්ම සමාජ ක්‍රියාධරයන් බිහි කළ යුතුව තිබේ. ප්‍රාදේශීයව ඇතිවන මේ වැනි සාපරාධී ක්‍රියා හා ප්‍රචණ්ඩත්වයන්  වළක්වාගත හැකි වනුයේ ඒ මගිනි. බියකින් සැකයකින් තොරව ජනතාවට නිදහසේ  පැවතිය හැකි පසුබිමක් නිර්මාණය වනු ඇත්තේ ඒ මඟිනි.

පුන්ගුඩතිව්හි  කාන්තාවන්ගේ ධෛර්ය සම්පන්න බව හේතුවෙන් ඔවුන්ට අඩම්තේට්ටම් කිරීමට ඕනෑම අයෙක් බය වන බවට දෙමළ සමාජයේ මතයක් පැවතිනි. එහෙත් සිය නිවසේ සිට කිලෝ මීටරයක පමණ දුරින් විත්‍යාට මේ අපරාධය සිදු කිරීමත්  සමග ගැමියන්ගේ කලින් පැවති අවංක, සුහදශීලී බව මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාවයද විනාශ වෙමින් පවතින බව මනාව පෙන්නුම් කෙරේ.

පුන්ගුඩතිව් ප්‍රදේශයෙන් බිහි වූ කවියෙකු වූ  විල්වරත්නම් ඔහුගේ නිර්මාණයක දැක්වුයේ “මරණය තුළත් ජීවිතයක් තිබුණු  අපේ ගැමියන්ට” යනුවෙනි.

නමුත්  අද.......?

නිලාන්දන්


© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.