JDS Sinhala

ආණ්ඩු වෙනස ගැන දෙමළ පර්යාලෝකයක් ගොඩනැගීම

ජනවාරි 8 වැනිදා සළකුණු වූ 'ආණ්ඩු වෙනස' සිංහල හා දෙමළ ජනයා තුළ 'ප්‍රජාතාන්ත්‍රික විපර්යාසයක පටන්ගැන්මක්' පිළිබඳ එක හා සමාන ශුභවාදයක් ජනිත කර තිබේද? එමෙන්ම රාජපක්ෂ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කේන්ද්‍රීය ගැටළු කවරේදැයි හඳුනාගැනීමේදී සිංහල සහ දෙමළ සමාජයන් භාවිතා කරන්නේ එක හා සමාන නිර්ණායකයන්ද? බැලූ බැල්මට සරළ ප්‍රශ්න ලෙස පෙනුනද, මෙම ප්‍රශ්නවලට සිංහල සහ දෙමළ සමාජයන් විසින් සපයන වෙනස් පිළිතුරුවලින් පරාවර්ථනය කරන්නේ ඒ ඒ ජාතික ප්‍රජාවන් හා රාජ්‍ය ව්‍යුහය අතර ඇති සම්බන්ධයේ ස්වභාවයයි.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ඉඩ හදා ගැනීම හෝ ජාතික විධායක සභාවට දෙමළ දේශපාලකයින් වාඩි කරවාගැනීම මගින් ජාතීන් අතර සබඳතාවන්ගේ නැවුම් වෙනසක් නිර්මාණය කරතැයි කල්පනා කරන්නන් විසින් 'අන්තවාදී ස්ථාවර' යැයි බැහැර කරනු ලැබුවද, දෙමළ සමාජය තුළ මේ සම්බන්ධයෙන් ඇතිව තිබෙන සාකච්ඡාවන්ගේ අරුත් සබුද්ධික සිංහල ජන කොටස් විසින් අවබෝධ කරගත යුතුව තිබේ. පෙබරවාරි 01 වෙනිදා 'යාල් තිනක්කුරල්' පත්‍රයට දේශපාලන විශ්ලේෂක නිලාන්දන් විසින් 'ஆட்சிமாற்றமும் தமிழ் மக்களும்' (ආණ්ඩු වෙනසයි - දෙමළ ජනයායි) මැයෙන් ලියන ලද ලිපිය සිංහලෙන් පළ කෙරෙනුයේ ඒ අවබෝධයට මග පාදනු පිණිස ය.

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්.රාජ්කුමාර්


සිංහල ජන්ද දායකයන්ට ජන්ද ලබා දී ඇති කළ වෙනස දැන් දැනෙමින් තිබේ. ඒ දැනෙන වෙනස ක්‍ෂණිකව දැනෙන්නේ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් තුළිනි. පොදු විපක්ෂයේ දින සියයේ වැඩ සටහන වනාහී, ප්‍රයෝගිකව සළකා බලතොත්, රාජපක්ෂලාට නැවත හිස ඔසවිය නොහැකි ලෙස පරාජය කිරීම අරමුණු කරගත් දෙයකි. එය ක්‍රම දෙකකින් ක්‍රියාත්මක වේ. වැටුප් වැඩි කිරීම හා කොළඹ මාර්ග බාධක ඉවත් කිරීම තුළින් උගත් මධ්‍යම පන්තිය මෙන්ම පීඩිත සිංහල ජනයා සතුටු කිරීමට දරන ප්‍රයත්නය පළමු පියවරයි. සැබවින්ම මේ වූකලී ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගත් පියවරයන් ය. ආණ්ඩු වෙනසක් වෙනුවෙන් පොදු විපක්ෂය බලයට පත් කල බටහිර බලවත් රටවල් නව ආණ්ඩුවේ ආරථික සහන වැඩපිළිවෙලට සහාය ලබා දීම විශ්වාස කළ හැකි ය.

දෙවැනි පියවර නම්, රාජපක්ෂලා ජනතාව හමුවේ හෙළිදරව් කිරීමයි. මේ වන විටත් රාජපක්ෂ සොහොයුරන් රාජ්‍ය දේපල තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගත් බවට ආකල්පයක් ගොඩ නැගී අවසන් ය. ඔවුන් නුතන පාලකයන් ලෙස නොව, පැරණි රජවරුන් මෙන් ක්‍රියාකළ අයුරු ප්‍රවෘත්ති හා කටකථා ඔස්සේ විසිරෙමින් පවතී. රාජපක්ෂ සොහොයුරන්ගේ බල ලෝභය හාසැපවත් ජීවිත වලට ඇති ගිජුකමට අමතරව, සිංහල ජනයා අතර බෙදාහැරෙන ප්‍රවෘත්ති හා කට කථා මගින් තහවුරු කරනු ලබන්නේ රාජපක්ෂලා ආණ්ඩු කරනු ලැබුයේ ජ්‍යොතිෂය, යන්ත්‍ර -මන්ත්‍ර සහ බිලි පුජා ආධාරයෙන් බව ය. දකුණේ රාජ්‍ය පාලකයන් පමණක් නොව ආසියානු අප්‍රිකානු රාජ්‍ය පාලකයෝ හා දේශපාලඥයෝ බොහෝ දෙනා ජ්‍යොතිෂය, යන්ත්‍ර -මන්ත්‍ර සහ බිලි පුජා ගැන විශ්වාසය තැබුවෝ වෙති. හිට්ලර් පවා සිය අවසන් කාලයේදී ඔහුගේ නිලධාරීන්ට වඩා ජ්‍යොතිෂවේදීන් කෙරෙහි විශ්වාසයකින් පසු වූ බවට මතයක් පවතී. පොදුවේ ගත හොත් හමුදා ජුන්ටාවක් කෙරෙහි වැඩි විශ්වාසයක් තැබූ ඕනෙම පාලකයෙක් අවසානයේදී අත්කරගෙන ඇත්තේ විනාශයකි. හමුදා බුද්ධි තොරතුරු රහස් ලෙස පවතිනුයේ එක්තරා මොහොතක් දක්වා ය. රාජපක්ෂ පාලනයද බොහෝ දුරට ඒ හා සමාන වන අතර  'හමුදා ජයග්‍රහණය' පදනම් කර ගෙන එය පවුලේ බුදලයක් කරගත්, හමුදාව කෙරෙහි විශ්වාසය තැබූ, ඇතුළෙන් හැකිලුනු රාජ්‍ය පාලනයකි.

ඊට අමතරව රාජපක්ෂ ජනතාව අතරට පැමිණෙන විට කිසියම් කුඩා උපකරණයක් (වශී බෝලය) අත රැඳී බව කවුරුත් දන්නා කරුණකි. මෙය වඩාත් හොදින් දර්ශනය වු අවස්ථාවක් වූයේ යාල්දේවි යාපනයට ගමන් අරඹන මොහොත්දී ය. ඔහුගේ පාලනය පවත්වාගෙන යාමට යොදාගත් සෑම දෙයක්ම මැතිවරණ පරාජයෙන් පසු ඔහුට එරෙහිව පැමිණ තිබේ. ජනතාව තුළ වේගයෙන් තහවුරු වෙමින් පවතින්නේ රාජපක්ෂ පාලනය ජ්‍යොතිෂය, යන්ත්‍ර -මන්ත්‍ර, බිලිපුජා විශ්වාස කළ නොදියුණු පාලන කාලයක් ලෙසිනි. මෙකී පසුබිම සැළකිල්ලට ගත් දෙමළ මාධ්‍යවේදියෙක් වෙබ් අඩවියක සටහන් කර තිබුනේ මෙවැනි අදහසකි:

"2009 මැයි  මාසයට පසු වන්නියේ හාරන සෑම තැනකින්ම ආයුධ, වෙඩි බෙහෙත් හා රන් හමුවෙන බව දකුණේ මාධ්‍ය වල පළවූ බවය. ඒ හරහා වන්නිය පිළිබඳව ඇතිකරනු ලැබුයේ  අලුතෙන්  ඉන්ද්‍රජාල දැක ගත හැකි මායා මැදුරක් ලෙසිනි. ජනවාරි අට වෙනිදායින් පසු දැන් අරලිය ගහ මන්දිරය තුළ මතුව ඇත්තේ ද මෙවන් තත්ත්‍වයකි. අරලිය ගහ මැදුරේ කාමර තුළින් කෝටි ගණන් මුදල් සහ රන් හමුවන බවට පැතිරෙන පුවත් යථාර්තයට වඩා  කට කථා බව දකුණේ සමහර මාධ්‍යවේදියෝ කියති."

රාජපක්ෂ: ඵලයද? හේතුවද?  

රාජපක්ෂ සොහොයුරන් විසින් වසර හයකට අසන්න කාලයක් දෙමළ ජනයාට අවමන් කළ අයුරින්ම ඔවුන්ගේ විරුද්ධවාදීන් ඔවුන්ට අවමන් කරමින් සිටි. රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වෙන චෝදනා හා අවමන්, එක්තරා අර්ථයකින් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් වන ආයෝජනයක්ද වේ. පසුගිය වසර නවයක විනාශයට වග කිව යුත්තේ  මුළුමනින්ම රාජපක්ෂවරුන් බවට ජනතාව තුළ මත ගොඩනැගීමේ ඉමහත් උත්සාහයක් පවතී. මෙය යථාර්තයක් වනුයේ එක්තරා මට්ටමකදී පමණි. රාජපක්ෂ මේ විනාශයේ ඵලයක් මිස හේතුවක් නොවනු ඇත. සමහර විට ඵලයක් හේතුවක් ලෙස සිතන විට අදහා ගත නොහැකි තත්ත්‍වයක් මතු විය හැකිය. රාජපක්ෂලාගේ සිදුවිමේදීත් වුයේ මෙවන්නකි. රටේ සෑම විනාශයකටම වගකිව යුතු සාධකය ඔහු ලෙස හුවා දැක්වුවද එය  අසත්‍යක් නොවේ. එහෙත් ඔහු ඵලය පමණකි. එසේනම් ප්‍රධාන හේතුව කුමක්ද?

මා කල්පනා කරන ආකාරයට ප්‍රධාන හේතුව ජාතික ප්‍රශ්නයයි. රාජපක්ෂ, චන්ද්‍රිකා හා මෛත්‍රී ද එම හේතුවේ ඵලයන් වේ. ජයවර්ධනගේ 'ව්‍යාකුල ව්‍යවස්ථාව'ත් , විධායක ජනාධිපති ක්‍රමයත් එම හේතුව නිසා ඇතිවිණි. චන්ද්‍රිකා බලයට පත්වනුයේ ජාතික ප්‍රශ්නයේ ප්‍රතිඵලයක් ලෙස ය. බණ්ඩාරනායකවරුන් තමන්ගේ ඊළඟ අනුප්‍රප්තිකයා ලෙස අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයතත්වයට ගෙන එනු ලැබීය. එහෙත් නායකත්වයට අවශ්‍ය ලක්ෂණ ඔහු සතුව නොවිණ. සුනේත්‍රා බණ්ඩාරනායක දේශපාලනය කෙරෙහි වැඩි ඇල්මක් නොදක්වුවා ය. සිය සැමියා ඝාතනයෙන් පසු කලක් දේශපාලනයෙන් ඉවත්ව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක යළි දේශපාලන කරළියට පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ පරිහානියත් සමගිනි. එක්සත් ජාතික පක්ෂයේ පරාජය සටහන් කරනුයේද ජාතික ප්‍රශ්නයේ ඵලයක් ලෙසය.

බලයට පත්වන චන්ද්‍රිකා තම මාමණ්ඩිය වන අනුරුද්ධ රත්වත්තේගේ සහයෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී කිසියම් මට්ටමක ජයක් ලැබුවා ය. නමුත් චන්ද්‍රිකා ජනතාව අතර පසුබෑමකට ලක්වුයේ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රති-ක්‍රියාන්විතයන් නිසා ය. විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපලට හා හමුදා සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයේ වනාහී චන්ද්‍රිකා ආණ්ඩුව ලැබූ මාරාන්තික පරාජයයි. එය රනිල්ට පමණක් නොව, පසුව මහින්දටද අවස්ථාවක් ගෙන දුනි. එවකට චන්ද්‍රිකාගේ ඇමති මණ්ඩලයේ සිටි මහින්දව හදුන්වනු ලැබුයේ ආණ්ඩුවේ රහස්  මාධ්‍ය වෙත  සපයන්නෙකු ලෙසය. යුධ පරාජය හමුවේ වූ චන්ද්‍රිකාගේ පසුබෑම අවස්ථාව කර ගනිමින්  බණ්ඩාරනායකවරුන්ගේ බුදලයක් ව තිබු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රාජපක්ෂවරුන් විසින් ඩැහැගැනීමද  යුද්ධයේ ප්‍රතිඵලයකි. අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂව තෝරා ගනු ලැබුවේ ද, අද ඔහු පරාජයට පත්කර ඇත්තේද දෙමළ ජනයා විසිනැයි කිව හැකිය. එයින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂගේ නැගිටීම හා වැටීම තීරණය කර ඇත්තේ ජාතික ප්‍රශ්නය බව ය. එසේ නම් මේ හැම ගැටළුවකටම හේතුව  වූ ජාතික ප්‍රශ්නයට පළමුව විසඳුම් ලබා දිය යුතු වේ. ඒ අර්ථයෙන් ගත් කල, නියමාකාර වෙනස යනු  ජාතික ප්‍රශ්නයට බලපාන්නා වූ හේතුවට යතාර්ථවාදී විසදුමක් සෙවීම ය. නමුත් පොදු විපක්ෂයේ දින සියයේ වැඩසටහන තුළ එම අවශ්‍යතාවය කිසිසේත්ම ඇතුළත්ව නොමැති අතර එය අද විශාල ගැටලුවක්ව පවතී.

දෙමළ විරෝධාකල්පයේ සීමාව

වෙනසට  සහාය දක්වන පාර්ශවයන් මෙන්ම පිටුපස සිට සැලසුම් සකස් කළ හා සකස් කරමින් සිටින පාර්ශවයන් ද, පොදු විපක්ෂයේ භාරකරුවන් ලෙස සිටින බලවත් රටවල්වලද මතය ලෙස පෙන්නුම් කරනුයේ නව රජයට කාල අවකාශයක් ලබාදිය යුතු බව ය. එහෙත් එවැනි කාල අවකාශයක් ගැන අද වනතුරු කිසිදු විවෘත සාකච්ඡාවක් කළ බවට පෙනෙන්නට නොමැත. සමහර විට ගෞරවාන්විත එකඟතාවක් ඇති කරගත්තා විය හැකිය. නමුත් ගැටළු වලට විසදුම් සෙවීමට  දින සියයක වැඩසටහනක් සැලසුම් කළ රටකට ප්‍රධාන ප්‍රශ්නය ගැන නිශ්චිත කාලරාමුවක් සහිත, විවෘතභාවයකින් යුත් ක්‍රියාවලියක් ඇති කර ගැනීමට නොහැකි වී තිබේ.

දෙමළ විමුක්ති කොටි සංවිධානය ක්‍රියාත්මකව පැවති  කාලයේදී, දකුණේ ඇතිවන ආණ්ඩු වෙනස්වීම් ගැන ඔවුන්ටම ආවේනික දැක්මක් සහ අවබෝධයක් ඔවුන් සතුව තිබිණි. පළමුව නිශ්චිත කාල පරිච්ජේදයක් තුළ නව ආණ්ඩුව සමග සාකච්ජාවට එළඹෙමින් ප්‍රධාන ප්‍රශ්නයට විසදුම් සෙවීමේ ප්‍රයත්නයයි. එම සාකච්ජා බිඳ වැටුනහොත් යළි අරගලකාරී ක්‍රියාමාර්ග වලට අවතිර්ණවීමේ සූදානම දෙවන විකල්පයක් ලෙස තිබිණ. නමුත් මීට පරස්පරව, දැන් ඇති ප්‍රශ්නය වන්නේ මෙයයි: මෙවර ආණ්ඩු වෙනසින් පසු කිසියම් කාල පරිච්ඡේදයක් තුළ දෙමළ ජනයාට කිසියම් විසඳුමක් ගෙන නොඑන්නේ නම් ඊට විරෝධය දැක්වීමට දෙමළ දේශපාලඥයින්ට හැකිද? ඊට කාල අවකාශයක් තිබේද?

පසුගිය සය වසරක කාලය තුළ දෙමළ පාර්ශ්වයේ විරෝධය දැක්වීම් පැවතියේ ඍණ අගයක ය. තමිල්නාඩු දෙමළ ජනයා හා විදේශගත මෙරට දෙමළ ජනයාගේ උද්ඝෝෂණයන් කිසියම් බලපෑමක් එල්ල කළද , සමස්තයක් ලෙස ගතහොත් දෙමළ ජනයාගේ විරෝධයේ බලපෑම එතරම් ප්‍රබල  නොවේ. එය ප්‍රබල හා ශක්තිමත් වූයේ නම් සිංහල ජනයා තුළද මේ කෙරෙහි සංවේදී බවක් පෙන්නුම් කරනු ඇත.

විරසකභාවය පාලනයට ක්‍රම දෙකක්

ජිනීවා නුවර දී ශ්‍රී ලංකාවට අදාළව ගෙන එනු ලබන ඕනෑම තීරණයක් ගැන තමිල්නාඩුව උණුසුම් වන විට සිංහල ජනයා අතර නොසන්සුන්තාවයක් දක්නට හැකිය. මෙවර මැතිවරණයේදී රාජපක්ෂවරුන් විසින් ප්‍රයත්න දැරුවේ මෙම නොසන්සුන්තාව උත්සන්න කිරීමට ය. එහෙත් දෙමළ හා මුස්ලිම් ජනයා එක්ව ඔවුන්ව දේශපාලනිකව පරාජයට පත් කෙරුණි. එයින් සිංහල -බෞද්ධ ආධිපත්‍ය පරාජයට පත් කළ බවක් ගම්‍ය නොවේ. රාජපක්ෂට ලැබුණු ඡන්ද විසින් එය වඩා හොඳින් පෙන්නුම් කරනු ඇත. දෙමළ ජනයාගේ බලපෑම් සහගතබව ශක්තිමත් වීම සිංහල ජනයා තුළ නිතැතින්ම ඇති කරනු ලබන්නේ භීතියක් හා තැතිගැන්මකි. එය රාජපක්ෂවරුන්ට නැවතත් අවස්ථාවක් ලබාදිය හැකිය. එම නිසා පොදු විපක්ෂයේ භාරකරුවන් වන බලවත් රටවල්වල ප්‍රමුඛ ඉලක්කය වී ඇත්තේ ජාතීන් අතර ඇති විය හැකි විරසකභාවය ඉතාමත් අවම මට්ටමින් පවත්වා ගැනීමට ය. එම ප්‍රයත්නය ක්‍රම දෙකකින් ක්‍රියාත්මක වනු දැකිය හැකි ය.  

රාජපක්ෂ පාර්ශවයට බලපෑම් කිරීම ඉන් පළමුවැන්නයි. එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ විමර්ශනය කේවල් කිරීම හරහා රාජපක්ෂ පාර්ශවයට එක්තරා මට්ටමකට නැගී සිටීමට නොහැකි අයුරින් තහංචි පැනවීමේ උත්සාහය දැකිය හැකිය. දෙවැනි ක්‍රම වේදය රට තුළත් ඉන් බහිරව විදේශයන්හිත් ඇති විය හැකි දෙමළ ජන විරෝධය සිය පාලනයට ගැනීමයි.

මෙවැනි ක්‍රියාමාර්ගවලින් ලංකාවේ ජාතින් අතර විරසක බව පාලනය කරමින් විසදුමක් සඳහා වූ මාර්ග පහසු කිරීමට උත්සහා දැරිය හැකිය. පොදු විපක්ෂය ගත් විට එය සෑම ජන කොටසකගේම ජන්දය නියෝජනය කරනු ඇත. ඒ නිසාම ඔවුන්ට ජාතිවාදය ඉතාමත්ම නින්දිත අයුරින් යොදා ගැනීමට සාපේක්‍ෂ සීමාවන් පවතී. නමුත් මහින්දට එවන් සීමා කිසිවක් නොමැත. බලවත් රටවල් මහින්ද හික්මවාලීමට උත්සාහ දරනුයේ මෙවන් තත්ත්‍වයන් පාලනය කිරීමට බව විශ්වාස කළ හැක. ඒ වාගේම දෙමළ පාර්ශ්වයේ රැඩිකල් දේශපාලනයක් ඉදිරියට ගෙනයා හැකි පාර්ශවයන් තම ආධිපත්‍ය යටතට ගැනීමට ප්‍රයත්න දැරීම ද නොඅනුමාන ය. මෙහිදී රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය, බුද්ධිමතුන්, මතවාදයන් ඇති කළ හැකි සංවිධාන, මානව හිමිකම් සුරැකීමේ සංවිධාන, සමාජ ක්‍රියාධරයන්, සමාජයේ බලපෑම් කළ හැකි ආගමික නායකයන් යන සියල්ලන් සිය අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට බලවත් රටවල් පෙළඹෙනු ඇත.

සිවිල් පාලනය

පොදු විපක්ෂයේ ආණ්ඩුව වටා සිටින සිවිල් සමාජ සංවිධාන, දෙස්-විදෙස්  රාජ්‍ය නොවන සංවිධාන, මතවාද ගොඩනගන සංවිධාන යනාදිය නැවතත් සමාජය තුළ ශක්තිමත්ව මතු විය හැකිය. මේ වැනි තත්ත්‍වයක් තුළ සංසන්දනාත්මකව ගත් විට ඇති විය හැකි සිවිල් පාලන පටපිටාව හමුවේ ඉහත දැක්වූ සංවිධාන ජාතීන් අතර එකමුතුව ගැන උපදෙස් සපයමින් දේශණ යනාදිය පැවැත්වීම සඳහා පැමිණීමට ඉඩ තිබේ.

ප්‍රශ්නය මෙයයි: එය ඔවුන්ට බාර  දෙනවාද? නැතහොත් දෙමළ ජනයා අතර වන මධ්‍යස්ත මතධාරීන්ව යථාර්තය වටහාගත් පාර්ශවයක් ලෙස ශක්තිමත් කරනවාද යන්න දෙමළ ජනයා තීරණය කළ යුතුවේ. ඉදිරියේදී නව රජය ඇති කරන්නා වූ සිවිල් පාලනය තුළ දෙමළ ජනයාව කොතරම් දුරට පාවිච්චි කිරීමට සැරසෙනු ඇත්දැයි අවධානය ලක් කළ යුතු කරුණකි. මේ නිසාම ආණ්ඩු වෙනස දෙස දෙමළ දෘෂ්ටි කෝණයෙන් බැලීම ඇරඹිය යුතු ය. ඒ තුළින්  ශක්තිමත් කරන්නේ රට ඇතුළත  දී හා පිටතදී දෙමළ ජනයාගේ කේවල් කිරීමේ බලයයි. මෙහිදී දෙමළ ජනයා පිටස්තරයන් වෙත තබා ඇති විශ්වාසයන්ගෙන් ඔවුන් මුදවා ගත හැකි වනු ඇත. ඊට අමතරව පිටස්තරයන් විසින් බලහත්කාරයෙන් පටවන්නට උත්සහ ගන්නා වූ විසඳුම් කිසිදු විරෝධයක් නොමැතිව ඒ අයුරින්ම පිළිගැනීමට වන අසරණභාවයෙන් දෙමළ ජනයා මුදාගත හැකිවනු ඇත.  වෙනසට යථාර්ථවාදී තේරුමක් එක් කිරීමට හැකි වනු ඇත්තේ ඒ මගින් පමණි.☐

නිලාන්දන්


©  JDS


වෙනත් ලිපි
ජනාධිපතිවරණය හමුවේ දෙමළ ජනයාගේ තීරණය කුමක්ද?
'වෙනස': ජනාධිපතිවරණයෙන් පසු දෙමළ ජනයාගේ ඉරණම
දෙමළ ජනයාගේ ඡන්දයේ ඇති උපායික වැදගත්කම

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.