JDS Sinhala

'89 නැගිටීමෙන් මතු වුණු නිර්මාණශීලීම කවියා චන්ද්‍රකුමාර වික්‍රමරත්නයි' - කෝ. ආනන්ද හිමි

කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි, '70 සහ 80 දශකයන් තුළ මතුව ආ නව සාහිත්‍ය ප්‍රවණතාවන් සහ රැඩිකල් භික්‍ෂු සම්ප්‍රදායන්ට ප්‍රමුඛව දායක වූ භික්ෂුවක් සේ සැළකේ. මා නිසා ඈ වීතරාගී (1968),  ඈ හමුවුණි මෙසේ මැවුණි (1969) යන කෘති ද්වය සමග කෝ ආනන්ද නමින් කාව්‍යකරණයට බට හේ, 1971 අප්‍රේල් නැඟිටීම විසින් සම්පාදනය කළා වූ කැරළිකාරී දේශපාලන අග්නියෙන් ස්වකීය නිර්මාණ කෞෂල්‍යය මුවහත් කරගනිමින් 'අලුත් ඉස්කෝලෙ' (1974), නොනැවතී ඉදිරියට' (1975), 'උරුමය සොයා' (1976), 'නව කැලණි පාලම' (1982)  ආදී කාව්‍ය සංග්‍රහයන් මෙන්ම 'හේ සිද්ධාර්ථ නම් වේ' (1978) නමින් සිය පළමු නව කතාව ලියා පළ කරමින් දේශපාලන නිර්මාණ සම්ප්‍රදායක් භික්‍ෂුන් අතර තහවුරු කිරීමෙහි ලා පුරෝගාමී දායකත්වයක් දැක්විය.

අසූව දශකයේ දකුණේ දෙවැනි තරුණ නැගිටීම විසින් අරමුණු කොටගත් සාමූහික අභිලාෂයන් මෙන්ම රාජ්‍ය සාහසිකත්වයට එරෙහි නැඟ ආ විරෝධාකල්ප ප්‍රකාශයට පත් කළා වූ, මානව හිතවාදී භික්‍ෂු සංවිධානය මගින් පළ කළ 'විනිවිද' සඟරාවේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළ හේ, රාජ්‍ය ධවල භීෂණයෙන් මිදී විප්‍රවාසයේ හිඳිමින් 'මහ පොළොව අලුත් කිරීම' කාව්‍ය සංග්‍රහය 1994දී ලියා පළ කළේය. ප්‍රංශයේ පැරිස් නගරයේ ධම්ම චක්ක බෞද්ධ විහාරාධිපති වශයෙන් කටයුතු කරන කෝ ආනන්ද හිමි, 70 සහ 80 දශකයන්හි සිංහල නිර්මාණ සාහිත්‍ය පිළිබඳවත්, දකුණේ  තරුණ නැගිටීම් මුල් කොටගත් දේශපාලනය පිළිබඳවත් අවලෝකනාත්මකව JDS හා කතාබහක යෙදුණි.

සටහන සහ සේයා රූ: අතුල විතානගේ


හැත්තෑවේ දශකයේ නව තරුණ කවීන් ලෙස මතුව ආ අය අතර පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, දයාසේන ගුණසිංහ සහ ඔබ ප්‍රමුඛයන්. හතළිස් වසරකට පසු '70 දශකයේ ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳව ප්‍රත්‍යාවලෝකනයෙන් ඔබට කියන්නට ඇත්තේ කුමක්ද?

කෝ. ආනන්ද හිමි: '70 දශකය කියන්නේ අපේ රට තුළට බල පෑ කලාපීය දේශපාලන, ආර්ථික හා සමාජ විපර්යාසයන් ඇති වූ කාලයක්. ආර්ථිකයේ නව මුහුණුවරක් ගනිමින් කිසියම් පරිවර්තනයකට ගමන් කරමින් තිබුණු අතර දේශපාලන සංකීර්ණතා මතුවෙමින් තිබුණා. විශේෂයෙන් රුසියාව, කියුබාව, චීනය ප්‍රමුඛ වාමාංශික විප්ලවකාරී රාජ්‍යයන් හා ප්‍රවණතාවල ආභාෂය, හද ගැස්ම, ආකර්ෂණය රට තුළ පැතිරෙමින් තිබුණා. ඒ නිසාම ඒ මුලික සමාජ විප්ලවීය ස්වරුපය රට තුළත් අනුගමනය කිරීමේ ප්‍රයත්නයක් විවිධ මුහුණුවරින් පැවතියා. 70 දශකයේ පැවති ඒ ක්‍රියාකාරීත්වය සාහිත්‍ය කෙරෙහිත් බලපෑවා. විශේෂයෙන් කාව්‍ය හා වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ මේ බලපෑම ප්‍රබලව දකින්න ලැබුණා. කෙටි කථාවත් සැළකිය යුතු තරමකට ඒ ප්‍රවණතාවයේම ඉදිරියට පැමිණියා. නවකථාව තුළ සමාජ යථාර්ථය මුසුවුණු විප්ලවීය චින්තන ධාරාවක් ගොඩනැගීමත්, සාහිත්‍යය මගින් සමාජ සත්තා යථාර්තය වැඩිපුර ස්පර්ෂ කරමින් ජනතාවාදී ප්‍රවණතාවයක් ගොඩ නැගීමත් සිද්ධ වුණේ මේ කාලයේදීයි. යුගයේ සාහිත්‍ය විචාරකයා ලෙස සැළකිය හැකි සුචරිත ගම්ලත්ගේ දැඩි මාක්ස්වාදී ආස්ථාන මත පිහිටා කෙරෙනු ට්‍රොට්ස්කිවාදී සාහිත්‍ය විචාර, සයිමන් නවගත්තේගමගේ යථාර්ථවාදී රීතිය ආදිය  මේ දශකය තුළ වඩාත් ප්‍රගතිශීලි මුහුණුවරක් ගත් ප්‍රවණතා වශයෙන් සැළකුණා. ඒ වකවානුව තුළ ප්‍රමුඛ වුණේ රුසියානු විප්ලවීය ආකෘතියයි. කියුබානු විප්ලවයේ අභාෂයත් බොහෝ දුරට බලපානු ලැබුයේ ගීතමය සාහිත්‍යයේ විප්ලවීය හැඩ හුරුව තීරණය කරන්නයි.

මගේ කල්පනාවට අනුව, '70 දශකයට පෙර කවියා වූ මහගම සේකරගේ ආකෘතිය සෞන්දර්යවාදීයි. ඔහු අතින් සිදු වුණේ ජීවන දර්ශනයට වඩා එහි දුක්ඛිත බව, කටුක බව සෞන්දර්යට නැගීමයි. මේ තත්ත්වය කොළඹ යුගයේ කවිය තුළත් දකින්න ලැබුණා. '70 දශකය ආරම්භය වන තෙක් අපි වුණත් දැඩි සේ ඇලුම් කලේ මහගම සේකරගේ සෞන්දර්යවාදී ආකෘතියට. මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු ප්‍රමුඛ කරගත් සෝමරත්න බාලසුරිය, විමල් දිසානායක, බුද්ධදාස ගලප්පත්ති, සරත් අමුණුගම, ඩබ්ලිව්.ඒ. අබේසිංහ, දයාසේන ගුණසිංහ වැනි එවකට තරුණ කවීන් විසින් සමාජය  තුළ පවතින්නාවූ දුෂ්කරතාවයන් හා පීඩනය වඩාත් මතු කරමින් කළ කවි නිර්මාණයන් තුළින් නව ප්‍රවණතාවයක් මතු වුණා. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලුෂන් බුලත්සිංහලගේ ‘රතු හැට්ටකාරී’ නාට්‍ය නිදසුන් ලෙස දැක්විය හැකියි. '70 දශකයේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ සයිමන් නවගත්තේගම, රන්ජිත් ධර්මකීර්ති, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, හේමසිරි ලියනගේ වැනි අය විප්ලවීය වෙනසක් ඇති කරනු ලැබුවා. නාට්‍ය සහ සාහිත්‍ය පරිවර්තන ක්ෂේත්‍රයේදී  සුගතපාල ද සිල්වා අමතක කල නොහැකි චරිතයක්.

නිර්මාණයේ ගුණාත්මක භාවය රැකගනිමින් සමාජ යථාර්ථය දුටු කවීන් අතර ප්‍රබලයෙක් විදියට දයාසේන ගුණසිංහ හඳුන්වන්න පුළුවන්. ඔහුගේ ‘රන් තැටියේ කඳුළු’  අතිශයින් ප්‍රතිභා සම්පන්න නිර්මාණයක්. මුලින්ම අපි හැම කෙනෙක්ම මහගම සේකර පස්සේ ගිය උදවිය. එවකට මගේ නිර්මාණයන් අතර 'මා නිසා එඩිතරව' සහ 'ඈ හමුනොවුණු නිසා' ආදිය මහගම සේකර ආකෘතියට අයත් ඒවා. ඒ කාව්‍යවල යම් ගුණාත්මක පැත්තක් තිබුණත් ව්‍යාජ බවක් තියෙනවා. මහගම සේකරගේ නිර්මාණයන්ගේ පවතින ව්‍යාජ බව ගැන ගුණදාස අමරසේකර දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

කොහොම වුණත් '70 දශකයේ ප්‍රබන්ධ සාහිත්‍යය ගුණාත්මකයි කියල කියන්න පුළුවන්. මේ පසුබිම පසු කාලීනව බිහිවුණු කවීන්ට ප්‍රබල මග පෙන්වීමක් වුණා. මගේ සෞන්දර්යවාදී බොළඳ කල්පනා “ අම්මයි මමයි” කියන කාව්‍ය නිර්මාණයත් සමගම මම නිමා කළා. සමාජ යථාර්ථය තුළ නිර්මාණයට පිවිසීමට ඉවහල් වුනේ විශ්ව විද්‍යාල පාඨමාලා තුළ විශ්වීය කාව්‍ය පරිශීලනය කිරීමයි.

සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ පිබිදීමක් ඇති කරන්න '71 අරගලය තුළින් ද ප්‍රබල දායකත්වයක් ලැබුණා. අරගලයට හේතුවුණු මුල බීජයන්  දැඩි විවරණයට ලක් වුනේ තරුණ කොටස්  හා සරසවි ප්‍රජාව තුළයි. පසුකාලීනව 'විමුක්ති ගී' බිහිවීම මේ ප්‍රවණතාවයේම කොටසක්. එහි පද ශෛලිය  තුළ ටිකක් දැඩි ප්‍රකාශනයන් තිබෙන අවස්ථා තියෙනවා. නිදසුනක් ලෙස 'ලේ වතුර වුණා' වැනි යෙදුම් සෘජුවම යොදා ගැනුණා. වචන භාවිතයේදී කාව්‍යම හැඩරුවට වඩා ගද්‍ය ආකෘතියට නැඹුරු වූ බව කියන්න පුළුවන්. ඊට කළින් මහගම සේකරගේ “රාජතිලක සහ ලයනල්” හා “බෝඩිම” නිර්මාණ තුළ ද මේ ලක්ෂණය පෙන්නුම් කර තිබුණා.

කවිය ගැන කථා කරද්දී විශේෂයෙන්ම ධර්මසිරි රාජපක්ෂ මග හැර යන්න බැහැ. '70 දශකයේ අග භාගයේදී බිහි වුණු කවීන් අතර පෙරලිකාරී කවියා ඔහුයි. ‘ඉතින් සහෝදරවරුනේ’ සහ ‘ශක්තියේ පුෂ්පය' නමින් කවි පොත් දෙකයි ඔහු ලියා පළ කළේ. නමුත් ඔහුගේ අසනීප තත්ත්වය නොවන්නට රත්න ශ්‍රී විජේසිංහ පවා අභිබවා දිගු ගමනක් යාමේ මහගු ප්‍රතිභාවක් හා අවස්ථාවක් ධර්මසිරිට පැහැදිලිවම තිබුණා. 

සිංහල නව කවිය '80 දශකයේ අවසානයේ දකුණේ පැතිර ගිය තරුණ නැගිටීමට සම්බන්ධ පරම්පරාව අත ප්‍රධාන මෙවළමක් බවට පත්වුණා. අඩු වැඩි වශයෙන් සළකතොත්, ඔබත් ඒ වකවානුවේ තවදුරටත් නිර්මාණකරණයේ යෙදුණු අයෙක්. ඒ සමයේ දෙවන කැරළිකාරී පරම්පරාවට අයත් කවීන්ගේ ශක්තින් හා දුබලතා ගැන මුල් පරපුරේ කෙනෙක් හැටියට ඔබට තිබුණ නිරීක්‍ෂණයන් මොනවාද?

කෝ. ආනන්ද: '80 දශකයේ ආරම්භයෙදී කාව්‍ය ක්‍ෂේත්‍රයේ වෙනසකට ලක් වෙන්නේ '70 දශකයේ අවසන් වකවානුවේදී බිහිවුනු කවීන්ගෙනුයි. එතැනදී ප්‍රමුඛයා වෙන්නේ රත්න ශ්‍රී විජේසිංහ. ඊට අමතරව නන්දන වීරසිංහ, සෙනරත් ගොන්සල්කෝරාළ, යමුනා මාලනී පෙරේරා ආදීන් හැඳින්විය හැකියි. මෙහිදී කුමාර හෙට්ටිආරච්චි විශේෂ වෙන්නේ කවිය විද්‍යාත්මක වශයෙන් විශ්ලේෂණාත්මක විෂය බද්ධ දෙයක් බවට පත් කිරීම සම්බන්ධයෙනුයි. ඔහුගේ 'භෂ්මාවශේෂ' නිර්මාණය තුළ මේ විෂය බද්ධ තත්ත්වය මනාව පෙන්නුම් කළා.

මේ වකවානුව තුළ දකින්නට තිබුණු ප්‍රබලම දුර්වලතාවය වන්නේ බොහෝ කවීන් විසින් සමාජවාදී දේශපාලනයේදී භාවිතා කරන වචන එහෙම පිටින්ම නිර්මාණ වලට යොදා ගැනීමයි. නිදසුනක් ලෙස 'පියවරක් ඉදිරියට පියවර දෙකක් පසු පසට' වැනි වදන් අමුවෙන්ම යොදාගැනීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ තුළ සිදුවුණේ ප්‍රචාරකවාදී වීමක් . '71 අරගලය මෙන්ම 88 -89 නැගිටීම ද විශේෂයෙන් කාව්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රබල බලපෑමක් එල්ල කළා. විශේෂයෙන්ම තරුණ පරපුරට මේ තත්ත්වය විශාල ලෙස දැනුනා. ඒ වකවානුව තුළ විශාල ලෙස සිදුවුණු ජීවිත පරිත්‍යාගයන්ගේ කම්පනය '88 වසරේ ඉඳන් ම පත්තර කවි පිටු හරහා මතු වුණා. ඒ අතරින් ධර්මසිරි රාජපක්ෂ හා සමගාමීව තියන්න පුළුවන් විප්ලවීය කවියා විදියට  චන්ද්‍රකුමාර වික්‍රමරත්න හදුන්වන්න පුළුවන්. ඔහු අපට වඩා සෑහෙන්න ඉදිරියට ගියා. ඔහුගේ ඇතැම් නිර්මාණ පරාක්‍රම කොඩිතුවක්කුගේ ‘ පොඩි මල්ලි’ නිර්මාණය හා සම මට්ටමේ තිබුණු බවයි මගේ හැඟීම. චන්ද්‍රකුමාර ගේ ‘දෙනගම’ කවි නිර්මාණය දැවැන්ත කවියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළා. ඇත්ත වශයෙන්ම '89 නැගිටීමත් සමග මතු වුණු නිර්මාණශීලීම විප්ලවවාදී කවියා චන්ද්‍ර කුමාර වික්‍රමරත්නයි.  කමල් පී. අලහකෝන්, රෝහිත භාෂණ අබේවර්ධන ආදීන් අරගලයත් සමග පුවත්පත් කවි පිටු හරහා බිහිවුණු නිර්මාණශීලි කවියන්. රෝහිත භාෂණ ඔහුගේ කවි, පොත් වශයෙන් ප්‍රකාශයට පත් කළේ නැහැ. ඒ නිසාම ඔහුගේ නිර්මාණ පුවත්පත් කවි පිටුවලම වියැකී ගියා.

'90 දශකයෙන් පසු සිංහල ප්‍රබන්ධ සාහිත්‍යය සාපේක්‍ෂ පසුබෑමකට ලක් වූ බවක් ඇතැමුන් විසින් නිරීක්ෂණ පළකර තිබෙනවා. ඇතැම් විට ප්‍රමාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළත් සිංහල සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනයක් මෑත දශක දෙක තුළින් ඔබට නිරීක්ෂණය කළ හැකිද?

කෝ. ආනන්ද: මම හිතන්නේ මෙහෙමයි. දශක ගණනාවක සිටම සමස්තයක් ලෙස කවිය තුළ ගුණාත්මක බව රැඳී තිබුණා වගේම ඒ ස්ථාවරත්වයෙන්ම ඉදිරියට ආවා. පිරිහීමක් නම් පෙන්නුම් කළ බවක් මම දැක්කේ නැහැ. එත් ගමන් මගේ වෙනස් කම් පෙන්නුම් කරනවා. කවියේ සෞන්දර්යාත්මක බවද අදත් දකින්න තියෙනවා . නිදසුනක් ලෙස ලක්ෂාන් අතුකෝරාළ වැනි අයෙක් හඳුන්වන්න පුළුවන්. '89 සමාජ කැළඹීම් වකවානුවේ දැඩි ලෙස ජිවිත යථාර්ථය ගැන කථා කළ කවීන් නවක කියන ගොඩට වැටුණා. ඇත්තටම ඒ වකවානුව තුළ බොහෝ දෙනෙක් නවකයන් තමයි. '70 දශකයේ උසස් මට්ටමේ සිටි බොහෝ කවීන් මේ කියන වකවානුව තුළ තරමක් නිර්මාණ ගුණයෙන් බැහැර වුණා. රත්න ශ්‍රී විජේසිංහ ගීත නිර්මාණයට පිවිසීමත් සමග ඔහුගේ කාව්‍ය නිර්මාණවල කලින් තිබූ ගුණාත්මක බව දුර්වල වුණා.මේ නිසා ඔහුගේ 'සල්ගහ යට' කාව්‍ය සංග්‍රහය එතරම් සාර්ථක වුණේ නැති බවයි  මගේ කල්පනාව. මෙතැනදී නන්දන වීරසිංහගේ කවිත්වය “ගිං ගඟේ විළාපය” තුළින් ඉහළට ආවා.  මේ අතර පසුකාලනීව අඩුවෙන් කතා බහට පාත්‍ර වුණත්, බර්ටි බී. කුඩාහෙට්ටි හොඳ මට්ටමක සිටි නිර්මාණශීලි කවියෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ‘නව කැළණි පාලම” තුළින් මම නිරත වුණෙත් ඒ උත්සාහයේයි.

තරමක් දැඩි සමාජ ප්‍රකාශණයක් සහිතව පැමිණි ගමන් මගක්  පරාක්‍රම කොඩිතුවක්කුට තිබුණා. පරාක්‍රමගේ දැඩි ප්‍රකාශන ශෛලියට නිදසුනක් තමයි ඒ වකවානුව තුළ පෙරලිකාරී බවක් ඇති කළ “ පුරුෂ ලිංගයක් සේ නැගෙන්නට ඉඩ දියව්!” යන්න. 'තහනම් දේශය' තුළ හොඳ කවි නිර්මාණ තිබුණා. එහෙත් පස්සේ ආපු 'ලොවි කහට' නිර්මාණ සංග්‍රහය පරාක්‍රමගේ නිර්මාණවල ගුණාත්මක බවේ පසුබෑම සනිටුහන් කරා.

මොනිකා රුවන් පතිරණගේ නිර්මාණ අතරින් සමහරක් ජාත්‍යන්තර තලයට පවා ගියා. එදා මෙදා තුර කිසියම් පෝෂණයක් වුණේ මොනිකා දුර්වලතා මකා ගෙන වැඩ කිරීම නිසායි. 'තහනම් දේශයකි' නිර්මාණය තුළින් ඇය සමාජවාදී දැක්ම සාහිත්‍යමය හා කාව්‍යමය ගුණය රැක ගනිමින් ඉදිරිපත් කළා. එහෙත් මගේ අදහසේ හැටියට පසු කාලීනව පළ කළ ඇගේ  'විසිවැනි සියවසේ ශේෂ පත්‍රය' තුළින් ඇගේත් පසුබෑම පෙන්නුම් කළා.

නමුත් නවකතාකරුවන්,  කවීන් මෙන් සමාජයේ සිදුවූ පරිවර්තනයන්ගේ බලපෑම ග්‍රහණය කරගන්න උත්සුක වුනේ නැහැ. ඒ වී සුරවීරගේ “හෙයියම්මාරුව” වගේ නවකතාවක් අව්‍යාජය කියල කියන්න බැරි වුණත් එය නවකතා ගමන් මගේ එක් අවස්ථාවක්. ඒ තුළ තියෙන්නේ ඇත්ත වශයෙන්ම මන:කල්පිතයක් කට වහර යොදාගෙන කේ. ජයතිලක තමන්ට අවශ්‍ය ආකෘතියට ගොඩ නැගීමක්. '71 හා '89 නැගිටීම් විශාල ලෙස ග්‍රහණය කළ හැකි සමාජ ස්වරූපයන්, සංසිද්ධීන් තිබුණු කේ. ජයතිලක ගේ ‘ පුංචි රාලගේ මරණය’ ද ඔහුගේ සෑම නවකතාවකම වගේ තමන්ගේ පරිසරය ඇසුරු කරගනිමින් සමාජ ස්වරූපය ඉදිරිපත් කිරීමක්.  දේශපාලන සංසිද්ධීන් සමගින් නිර්මාණයේ යෙදුනු නවකතාකරුවා වණේ ගුණදාස අමරසේකර. එදිරිවීර සරච්චන්ද්‍රගේ 'හෙට එච්චර කළුවර නැහැ' නවකතාව අපේ රට තුළ එකු වකවානුවක තිබු ජීවිතවල ස්වරුපයන් ප්‍රතිනර්මාණය කරන්නට සමාජ අර්ථකථනයක්  යොදාගත් ප්‍රබන්ධ කතාවක්.

සුමිත්‍රා රාහුබද්ධගේ ‘මල් වැනි ගල්’ , 'බුමුතුරුණු' , 'ඉටි පහන්' නවකතා අතරින් වඩාත් ඉදිරියට පැමිණියේ 'දළ රළ පෙළ' තුළින් බවයි මගේ හැඟීම. ඒක ඇය ඒ දක්වා විශද කළ උපරිම නිර්මාණ කෞෂල්‍යය. මොනිකා රුවන්පතිරණ ගේ 'බේබිලා ගැන' නිර්මාණය කළ කාව්‍ය මේ නවකථාව තුළින් පුළුල්ව විග්‍රහ කරලා තියෙනවා. සුනේත්‍රා රාජකරුණානායකත් නිර්මාණශීලි නවකතාකාරියක්. නමුත් ඇගේ කෘති කිහිපයක් හැරුණු විට අනිත් ඒවා ග්‍රහණය කරගත්තේ  සීමිත පිරිසක් පමණයි. සුනේත්‍රා විවිධ සමාජ ස්ථරයන් පිළිබඳව නිර්මාණශීලි ගුණයෙන් වඩාත් ඉදිරියෙන් සිට ඉදිරිපත් කළත් ඇගේ පසුකාලීන ලේඛණ ආකෘතිය යම් ගැටළු මතු කරන බව මගේ හැඟීමයි. කුල ක්‍රමය පදනම් කරගත්තු පාරම්පරික ස්වරුපය, උඩරට ඉතිහාසමය පුවත් රැගත් බොහෝ නවකතා දැන් ලියැවෙමින් තියෙනවා. එහෙත් ප්‍රබන්ධ නවකතාවේදී සමාජ පෙරළි පරිශීලනය කරමින් නිර්මාණශීලි අර්ථකථනයක් දෙන්නේ මම හිතන හැටියට සුමිත්‍රා රාහුබද්ධයි.

ස්වර්ණ පුස්තකය සම්මානයේදී   සම්මානයට පාත්‍ර නොවුණු හොඳ නවකතා පොත් තිබුණා. ලියනගේ අමරකීර්තිගේ 'අටවක පුත්තු' දැවැන්ත නිර්මාණයක් ලෙස දැක්වුවාට  කේ. ජයතිලක , මාර්ටින් වික්‍රමසිංහ වැනි අය මේවා බොහෝ කලකට පෙර සිය නිර්මාණවලින් පෙන්නුම් කරපු දේවල්. අලුත් ප්‍රකාශනයක් නිසා වටිනාකමක් ඇතිවෙලා තියෙන්නේ. අනෙක් අතට සාහිත්‍ය විචාරයේදී කවි නිර්මාණවලට කිසිදු වටිනාකමක් දෙන්නේ නැහැ. තියෙන්නේ නිර්දය විවේචනය විතරයි. ඇතැම් විට දැන් දැන් සාහිත්‍ය විචාර කලාවේදී මේ අය යොදා ගන්නා වචනත් හරිම වෙහෙසකරයි. මම හිතන්නේ සමන් වික්‍රමාරච්ච්චිගේ විචාරවලින් කිසිම දෙයක යහපත් දෙයක් දකින්නේ නැහැ. අපේ සාහිත්‍ය විචාර කලාවේ අති දැවැන්තයා ඇත්තෙන්ම සුචරිත ගම්ලත්. ඔහුට සම කරන්න කවුරුත් නැහැ. ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔහු වරක් පැවසුවේ ශ්‍රී ලංකාව 'මුස්පේන්තු කොදෙව්වක්' කියලායි. ඒ වචන තුළින් අපිට වුණු දේ නිවැරදිව වටහාගන්න පුළුවන්.

කෙටි කථා නිර්මාණයේදී රන්ජිත් ධර්මකීර්ති, එච්.ඒ සෙනෙවිරත්න, දයාසේන ගුණසිංහ යන ලේඛකයන්ගේ නිර්මාණ උසස් තත්වයේ තිබුණා. අජිත් තිලකසේන ගේ කෙටි කථා ග්‍රහණය කර ගත්තේ සියයට දහයක් වැනි සීමිත පිරිසක්. ඒ පිරිස් අයත් වුණේ වර්ධිත බුද්ධිමය සමාජ රටාවක් අපේක්ෂා කරන කොටස් අතරටයි. නමුත් අජිත් ගේ කෙටිකථා ඉතා නිර්මාණශීලියි . ඔහුගේ ලිවීම් තුළ පසුබිම් නිර්මාණය, පුද්ගල චරිත සංවිධානය ප්‍රබල තත්ත්වයක තිබුණා. ඇත්තටම ජී.බී. සේනානායකටත් වඩා ඉදිරියෙන් හිටියා කියන්න මම පැකිළෙන්නේ නැහැ. එහෙත් අජිත් ගේ නිර්මාණවල දැවැන්ත බවක් තිබුණත්  බහුතරයකට ග්‍රහණය කරගන්න නොහැකි වුනේ ඔහු ඉදිරිපත් කළ ආකෘතිය හේතුවෙන්.

එක්තරා කාලයකදී සාහිත්‍ය කලා සහ දේශපාලන ක්ෂේත්‍රයට සක්‍රීයව මැදිහත් වුණු අයෙක් වශයෙන් ඔබේ දීර්ඝ කාලීන නිහැඬියාවට හේතුව මොකක්ද?

කෝ. ආනන්ද: නිර්මාණ ගමන් ම‍ගෙහි නතරවීමක් නැහැ. එහෙත් නිතර මාධ්‍ය මගින් පෙනී නොසිටීම තමයි සාමාන්‍යයෙන් මේ නිහඬ බව කියලා කියන්නේ. ඇත්තෙන්ම මේ මොහොත වෙන තුරුත් මම ලියමින් ඉන්නේ. කවි සංග්‍රහයක් පළ කිරීම වෙනුවෙන් දැන් සුදානමක සිටිනවා. පොතේ කවරයත් මා විසින්ම සිතුවම් කරා. 'ගෝලීය සංස්කෘතිය' විදිහට නම් කරපු මේ කවි සංග්‍රහයට අමතරව නවකථාවක් එළි දක්වන්නත් සුදානමක් තියෙනවා. වතාවක් රටේ හැම තැනකම වගේ බුදු පිළිම වලින් බුදු රැස් පෙනුනා කියලා වාර්ථා වුණානේ. මේ පිළිබඳව “බුදු රැස්” නමින් මම නිර්මාණයක් කරා. බුදුන් වහන්සේ මේ ගැන බ්‍රහ්ම ජාල සුත්‍රයේ  පැහැදිළි කරලා තියෙනවා. ඒත් රිසානාගේ බෙල්ල කැපීම වගේ දෙයක් ගැන අලුත් නිර්මාණයක් කිරීම අපහසුයි. දැන්ම ලිව්වොත් ඒක කෘත්‍රිම නිර්මාණයක් වෙනවා. අපි එදා ඉඳලම 'එතෙර ගිය පුතුට' කියලා කවි ලිව්වා. 'එතෙර ගිය අම්මා' මැදපෙර දිග විඳින දුක් පීඩා ගැන කවි ලියැවුණා. ඒත් අදත් ශ්‍රම ගලනය වෙනවා. දැන් රිසානාගේ බෙල්ල කපා දමලා අවසන්. මොකක්ද ඒකට තියෙන පිළිතුර?  අදටත් විසඳුමක් නැහැ. කොහොම වුණත් බොහෝ කාරණා ගැන අඛණ්ඩව අවධානයක ඉන්නවා. සමහර විට ලංකාවේ ඉන්න කෙනෙකුට වඩා අපේ අවධානය වැඩියි කියල කියන්න පුළුවන්.

ලංකාවේ වඩාත් සංවේදී දේශපාලන කාරණය උතුරු - දකුණු දේශපාලන ප්‍රශ්නය විසදීම. මෙහිදී ඇත්තටම අපි අපේ රටේ ස්වරූපය බැලිය යුතුයි.ඒ පිළිබඳව දැඩි සේ සාකච්ජා කළ යුතුයි. නිදහසින් පසු ලබා ගත්තු ප්‍රතිඵලයක් නැහැ. මඩගොහොරුවට තමයි ගිහින් තියෙන්නේ. අපේ රටේ මානව වර්ගයා පිලිබඳ  විචිත්‍ර, විවිධ සංකීර්ණ ස්වරූප ඉතිහාසය මගින් පෙන්නුම් කරනවා. ඒ අනුව ලංකාවේ මානව වර්ගයා කොටස් දහයක් ජීවත් වෙනවා. ඒ  වැදී ජනයා , ප්‍රාග් ද්‍රවිඩ ජනයා, වන්නි සිංහලයන්, වටකුරු හිස් ඇති සිංහලයන්, ආමේනියන් රූප වර්ගයා, කළු පැහැති මැලේසියානුවන්, මධ්‍යධරණී ජනයා, නීග්‍රෝ රූපී ජනයා, මොන්ගෝලියානු රූපී ජනයා හා යුරෝපීය වර්ගයා ආදී වශයෙන්. ලංකාවේ ජනතාව වනාහි එක් මුලික ස්වරුපයකට අයත් මානව වර්ග කිහිපයක් ඇතුළත් විචිත්‍ර සම්මිශ්‍රණයක්. ලෝකයේ තියෙන ආප්තෝපදේශයන් අතර “ලාහට ගෙම්බෝ එකතු කරන්නා වගේ” යන්න අපිටම අවේනික එකක්. ඒකමයි අපේ ගැටළුව තුළ තියෙන්නේත්.

අපේ රටේ දක්ෂ නිර්මාණශීලි බුද්ධිමත් අය සිටිනවා. ඔවුන් ජාත්‍යන්තරයට පවා ගියාග නමුත් මොකද වුණේ? නාසා ආයතනය මගින්, ඇපලෝ යානයෙන් ගෙන් වූ චන්ද්‍ර පාෂාණ සාම්පල ඇසුරින් චන්ද්‍රයාගේ ජීවින් පිළිබඳ පර්යේෂණ මෙහෙයවපු සිරිල් පොන්නම්පෙරුම විද්‍යාඥයා ලංකාවට ගෙන්නගෙන දඹල පර්යේෂණ ආයතනය බාර දුන්නා. එහෙව් රටක අනාගතය ගැන කොහොමද සුබවාදීව  හිතන්නේ? ඉන්දියාව දැවැන්ත වගේම විචිත්‍ර මානව වර්ගයාගෙන් පිරි රටක්. ඒ තුළ එක් පැත්තක දෙවි ලොවත්, අනෙක් පසින් අපායත් තියෙනවා. ඒත් ඒකාබද්ධව ඉන්නවා. අපිට නිසැකව අවශ්‍ය වන්නේ එකාබද්ධ වූ ස්විස්ටර්ලන්තය වගේ ජාතීන්ගේ සංකලනයක්.

ඔබ ක්‍රියාකාරීත්වයෙන් දායක වූ මානව හිතවාදී භික්ෂු සංවිධානය 1983 කළු ජූලියෙන් පසු තීව්‍ර වූ සමාජ අර්බුද හේතු කොටගෙන බිහිවූ ප්‍රගතිශීලි පැවිදි සංවිධානයක්. 1989 දකුණේ තරුණ නැගිටීම සමයේ එමගින් පළ කළ රැඩිකල් දේශපාලන ප්‍රකාශනයක් වූ  'විනිවිද' සඟරාවේ සංස්කාරකවරුන් වශයෙන් කටයුතු කළේ ඔබත්, එගොඩබැද්දේ ගුණසිරි හිමිත්. 'විනිවිද'ට එල්ල වූ රාජ්‍ය මර්දනයට ඔබ ඇතුළු පිරිස මුහුණ දුන්නේ කොහොමද?

කෝ. ආනන්ද: මුලින්ම මේ කියන සංවිධානයට සම්බන්ධ වෙන්න මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසාම මුල් ඇරයුම එක හෙලාම ප්‍රතික්ෂේප කරා. ඒත් යළි යළිත් ප්‍රබල ඉල්ලීම් ආවා. සියලුම කරුණු කාරණා පිළිබඳ දැනුවත් වුණත්, සාහිත්‍ය නිර්මාණකරණයේ නිරත වුණත් අපි ඒ වන විට දේශපාලන ව්‍යාපාරයකයි හිටියේ. ඇත්තටම ඒක අපේ දේශපාලනයේ දී විශාල උගුළකට හසුවීමක් වැනියි. මේ පැවිදි සංවිධානයට සම්බන්ධ වෙලා කෙටි කලකින්ම එහි බෙදීම් ඇති වෙනවා.

කොහොම වුණත්, භික්ෂුන් වහන්සේලා විදිහට '89 දී පළාත් සභා ක්‍රමයට , ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි වුණේ අප අයත්ව සිටි පක්ෂයේ ආස්ථානයන්ට අනුව යමින්. පතුලේ සිට වැඩ කළ යුතු තත්ත්වය නොතකා භාහිරට ඉස්මතු වීම නිසා බොහෝ දේ සිදුවුණා. රුසියාවේදී ලෙනින්ලා වැඩ කලේ පුළුවන් තරම් පතුලේ ඉඳන්. අපි මේ පිළිබඳව භික්ෂු සංවිධාන විදිහට ඩී.එම්. ආනන්ද ට කිව්වා. ඔහු තමයි භික්ෂු සංවිධාන බාරව කටයුතු කළේ. අපි බොහෝ කල් ඇතිව උපදෙස් දුන්නේ නායකත්වයට සැඟවෙන්න කියලායි. අනිත් එක සැඟවිලා ඉන්න බවත් වසන් කරන්න ඕනේ. රුසියාවේදී ලෙනින් හැම තැනින්ම වසන් වෙලා හිටියේ. ඒ නිසාම විප්ලවීය ජයග්‍රහණයේදී නිරුපද්‍රිතව ඉන්න හැකියාව ලැබුණා. නායකයන් ප්‍රබලව ආරක්ෂා කරන්න අවශ්‍ය උපක්‍රම හඳුනාගත්තේ නැහැ. ඒ නිසාම විජේවීර සහෝදරයාට කිසියම් දුරක් යන්න දීලා හසු කර ගත්තා. රැකවරණය දුන්න අයම මේ දේවල් කළේ. ලෙනින් තමන්ගේ දේශපාලන මණ්ඩල සගයන් දොළොස් දෙනා ගැනම පෞද්ගලිකවම දැනගෙන හිටියා. ස්ටාලින් ගැන ට්‍රොට්ස්කි ගැන, ඔවුන්ගේ හැකියාවන් සහ දුබලතා ගැන වෙන් වෙන් වශයෙන් හොඳ අවබෝධයක් ඔහුට තිබුණා. අපේ එහෙම වුණේ නැහැ.

ඔබ නියෝජනය කළ භික්ෂු පරම්පරාව දේශපාලන සීමාකම් මැද වුවත් අදට සාපේක්‍ෂව සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ වාර්ගික සහයෝගිතාවට පක්ෂව ක්‍රියා කළ භික්‍ෂු සම්ප්‍රදායයකට අයත් පිරිසක්. ඒ සම්ප්‍රදාය යටකොට මේ වෙන කොට ඊට සපුරාම පටහැනි වටිනාකම් සහිත දේශපාලන භික්ෂු සම්ප්‍රදායක් ශක්තිමත් ව මතු වී තිබෙනවා දැකිය හැකියි. ඊට හේතු වශයෙන් ඔබ දකින්නේ මොනවා ද?

කෝ. ආනන්ද: සමාජ පරිවර්තනයක් වෙනුවෙන් තව දුරටත් දීර්ඝ කාලයක් බලා සිටීමට සිදුවීමත් එක්ක අපි හැමෝටම විශාල උකටලී  බවක් ඇති වෙනවා. මෙච්චර කාලයක් සමාජය වෙනුවෙන් නොයෙකුත් කැපවීම් කරලා මෙහෙම වුනේ ඇයි කියලා. කාලයක් විශාල පිළිගැනීමක් ඇති වෙලා තිබුණු ව්‍යාපාරයකට පසුබැසීමකින් පසුව බොහෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මගේ අත්දැකීම තුළ අපේ අම්මාට ජේ.වී.පී. කාරයෙකුගේ අම්මා කියලා මේ සමාජයෙන්ම කිසියම් වරදකාරී හැඟීමක් මතු කරනු ලැබුවා. මේ වගේ ස්වරූපයන් තුළ මානසික බිඳ වැටීමකට පත් කෙරෙන පරිසරයක් වෙත අපව බලෙන් ඇද දමනවා. එහෙත් එහෙම බිඳ වැටීමකට ලක් නොවී සිටින්නට කොතෙකුත් අවවාද අනුශාසනා ලැබුණත්, ඒ ගැන සැළකිල්ලක් නොදක්වපු දැඩි මතධාරීන් සී සී කඩ විසිර ගොස් මල් වෙඩි පත්තු කරනවා. මෙතැනදී ගැටළුව එන්නේ ඓතිහාසික සමාජ නැමියාව සහ නුතන සමාජ වටිනාකම් අතර ගැටුමෙනුයි. මහා නායක හිමිවරුන්ට අටපිරිකර වශයෙන් බෙන්ස් කාර් ලැබෙන කොට උන් වහන්සේලා දේශපාලකයෝ කරන වැරදි සම්බන්ධයෙන් කටපියාගෙන ඉන්නවා. මේ නිහැඬියාව භික්ෂුව තුළ යම් ප්‍රවණතාවයන් මතු වීමට තුඩු දුන් කාරණයක්.

අතීතයේදී, විශේෂයෙන්ම '56 බිහිවූ භික්‍ෂුවගේ ස්වරුපය තුළ වීර චරිත මෙන්ම පොදු භික්ෂුත්වයක් තිබුණා. පසුකාලීනව ඒවා විවිධ හැල හැප්පීම්වලට ලක්වීම් මගින් වෙනස්කම්වලට භාජනය වුණා. ඕනෑම පුජක සමාජයක් දැවැන්ත විපර්යාසයකට පත්වුණු විට එහෙම දේ සිදුවෙනවා. ලංකාවේ භික්ෂුව තරම් සමාජ, ආර්ථික, හා දේශපාලනිකව ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළ පූජක ප්‍රජාවක් මෑතකාලීන ලෝකයේ කිසිම රටක දක්නට නැති බවයි මගේ හැඟීම. අනෙක් අතින් අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධය තුළ යුධ විරෝධී හඬක් මතු කළ වියට්නාම් භික්ෂුව ජීවිත පරිත්‍යාගයෙන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදුණා. වල්පොළ රාහුල හාමුදුරුවෝ ලංකාවේ භික්ෂුවගේ සුවිශේෂී කාර්ය කුමක්ද යන්න ‘භික්ෂුවකගේ උරුමය' නමින් ග්‍රන්ථයක් ලියා පෙන්වා දී තිබෙනවා.  අද වෙලා තියෙන්නේ කළකිරීම, නිහැඬියාව, බලාපොරොත්තු බිඳ වැටීම වැනි ස්වරූපයන් නිසා ස්වයංව, දුර දිග නොබලා තීරණගන්න පෙළඹීමයි.

ඕනෑම සමාජයකට ආයුධ සන්නද්ධ විප්ලවකාරී මගක දිගු කල් ගමන් කරන්න අමාරුයි. අනෙක් පැත්තෙන් භික්ෂුවකට එවැනි දෙයක් වලංගු වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නය වෙන්නේ 'කළ යුත්තේ කුමක්ද? කියන එකයි. වල්පොළ රාහුල හාමුදුරුවෝ මාක්ස්වාදය පිළිබඳ අපේ රටේ තිබුණු වැරදි අදහස්  ගැන නිරාකූලතාවක් ඇති කොට අපට ගමන් කරන්න ඕනේ මාර්ගය පෙන්වා දුන්නා. මිනිස් සමාජයේ යහපත වෙනුවෙන් බෞද්ධ ආකල්ප අනුව අනෙකුත් ආගම් සමග අවබෝධයෙන් ගමන් කරන්න වෙනවා. කොහොම නමුත් පුජක සමාජයක දේශපාලනය ප්‍රබල වෙනසක් කරනවා. අදටත් මම විශ්වාස කරන්නේ ලෝකයේ විශිෂ්ටතම දේශපාලන ලියැවිල්ල කොමියුනිස්ට් ප්‍රකාශණය කියලායි. ඒ වගේ මානව විනය නීති ප්‍රකාශණයක් වෙන දකින්න නැහැ. එය හරියටම රකින්න අමාරු ශික්ෂා පද වැනියි. මේ ශික්ෂණයට එන්න ඉතාම උසස් මානසික තත්ත්වයකට සම වැදුණු අයෙක් විය යුතුයි. අපි පිටුබල ලැබු‍වේ එවැනි බුද්ධිමය හා සදාචාර මූලාශ්‍රයන්ගෙනුයි. 'කොමියුනිස්ට් ප්‍රකාශණය' මගින්  ලබා දෙන මානසික විශිෂ්ඨත්ව ශික්ෂණයෙන් ගිලිහී යාම ඔබ කියන මේ අර්බුදයන්ට හේතුවයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.