JDS Sinhala

'මගේ මුරණ්ඩුකම සමාජ සාධාරණත්වය වෙනුවෙන්' - ජයතිලක බණ්ඩාර

යතිලක බණ්ඩාර හා ප්‍රවණතාත්මක කලාව අතර ඇති සම්බන්ධයට දීර්ඝ අතීතයක් තිබේ. 1971 අප්‍රේල් නැගිටීමේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව විහිදෙන ඔහුගේ කැරළිකාරී දේශපාලන සහ නිර්මාණ භාවිතාව දුලබ පිළිවෙත්ගරුක භාවය පිළිබඳ කැඩපතකි.

'මේ දුෂ්කර මාර්ගය තෝරා ගන්න මට බල කරන්නේ ඒකට ඇති විශේෂ කැමැත්තක් නෙවෙයි' - ජයතිලක කියයි.

'නමුත් අයුක්ති සහගත - අසමාන ලෝකයක් එක්ක නිහඬ සහජීවනය කියන්නේ මනුෂ්‍යත්වයට නිගාවක්. ඒ නිගාවේ කොටස්කරුවෙක් වෙන්න මම අකමැතියි.'

වත්මන් ආණ්ඩුවට එරෙහි මහජන විරෝධය අවුලනු වස් ගෙනයන වීදි විරෝධතා ප්‍රසංග මාලාවකට දෙවරක් එල්ල වූ ආණ්ඩු පාක්‍ෂික මැර ප්‍රහාරයන්ගෙන් දිවි ගළවාගත් ජයතිලක බණ්ඩාර දැන් යළිත් වීදියේ ය. JDS හා ඔහු අතර මේ කතාබහට අවකාශ සපයන ලද්දේ ඒ අතරමැද විරාමයක් විසිනි.

සටහන: මංජුල වෙඩිවර්ධන | සේයා රූ: ලක්‍ෂ්මන් වර්ණකුලසූරිය


ඔබ රජරටින් එන අයෙක්. ‘රජරට’ කියන්නේ අධිනිෂ්චය වුණු තැනක් මෙන්ම අධිනිෂ්චය වුණු වචනයක්. 'රජරට' කියන එක ගැන ඔබේ නිර්වචනය මොකද්ද?

ජයතිලක: රජරට කිව්වම රජුන් හිටපු තැන විදිහට තමයි බොහෝ දෙනෙක්ගෙ අදහස. රජුන් සිටි නිසාම කුමන්ත්‍රණ, මිනී මැරීම්, වහසි බස් වලින් අඩුවක් තිබ්බෙ නෑ.  මට මතක් වෙනවා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ලියපු ‘රතනවල්ලි‘ නාට්‍ය පිටපතේ ඒක හොඳට පැහැදිලි කරනවා. මිනිස්සුන්ගෙ ආදරය ගෞරවය දිනාගෙන හිටුපු රතනවල්ලිය ඇගේ පුදබිමෙන් ඉවත් කරන්න කරපු කුමන්ත්‍රණ. ඇත්තෙන්ම හරිම ලැජ්ජාසහගතයි. නමුත් ඒ කුමන්ත්‍රණ, භූමියෙ ප්‍රශ්නයක් නෙවෙයි, මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්.

ඒ කොහොම වුණත් රජරට කියන්නෙ මම ඉපදුණු තැන. මගේ අම්ම තාත්තා පමණක් නෙවෙයි මගේ අත්තම්මලා, අත්තප්පලා ජීවත්වුණෙත් රජරට. ඔවුගෙ ඇටකටු පවා පොහොර වුණේ රජරටට. ඒ අය අස්සද්දපු කුඹුරු යායවල් තියෙන්නෙත් රජරට.  ඒ කුඹුරු යායවලින් තමයි අපට බත සැපයුවෙ. තවමත් ඒක එහෙම්මමයි. මගේ දරුවන්ටත්, දරුවන්ගෙ දරුවන්ටත් බත සපයන්නෙ ඒ කුඹුරු යායවල්මයි. රජරට වැව් තමයි ඒ කුඹුරු වලට වතුර සපයන්නෙ. ඒ අනුව ඔබට පැහැදිලියි ඒ භූමියක් එක්ක, ඒ කියන්නෙ රජරටත් එක්ක මගේ බැඳීමක් තියෙනවා. මං ඉස්කොලේ ගියේ රජරට. අපට කලාකරුව කරන්න තෝතැන්නක් වෙච්ච රජටර සේවය තියෙන්නෙත් මේ පොළොවෙ. ඒ හින්දා මට මේ භූමියත් එක්ක ඓන්ද්‍රීය සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම මේ භූමියෙ ජීවත් වෙන මිනිස්සුන්ට, ඒ ගහකොළවලට මං තවමත් ආදරය කරනවා.  රජරට කියන්නෙ රජුන්ගෙ පොළොව නෙවෙයි, මිනිස්සුන්ගෙ පොළොව.

ඔබ එප්පාවලදී පසුගිය දා පහරකෑමට ලක්වුණා. ඒත් රජරටදි. ඒ ගැන මොකද හිතෙන්නෙ?

ජයතිලක: මම එප්පාවලදි පහරදීමකට ලක්වුණා, ඒක ඇත්ත. ඒ මගේ භූමියෙදි. ඒකත් භූමියෙ ප්‍රශ්නයක් විදිහට මං දකින්නෙ නෑ. අද තියෙන මැර දේශපාලනයේ දිගුවක් විදිහට සහ එහි ප්‍රතිඵලයක් විදිහටයි ඒක සිද්ධවුණේ. උතුරෙ මිනිස්සු තමන් ආදරය කළ බිමේම, අපහාස කිරීම් වලට, පහරදීම් වලට, මරාදැමීමට ලක්වුණා. අදත් ඒ දේ සිද්ධ වෙනවා. ඒක තමයි වෙනස් කළ යුතු, වෙනස් කිරීමට සටන් කළ යුතු මේ ජරාජීර්ණ දේශපාලනය.

එප්පාවල ප්‍රදේශයේ මං මගේ කලා භාවිතයට අදාල බොහෝ දේ කරල තියෙනවා. එහෙ ඉන්න මගේම මිනිස්සුන්ට ගීතය, සංගීතය විඳින හැටි කියාදෙන වැඩසටහන් බොහෝ ප්‍රමානයක් කරලා තියෙනවා. 'සාධුජන රාවය' බොහෝ වතාවක් පවත්වා තියෙනවා. ඉතින් ඒ නිසාමත් බොහෝ දෙනෙක් මං ගැන දන්නවා.  සුප්‍රකට පොස්පේට් නිධිය බහුජාතික සමාගම්වලට දෙන්න පිඹුරුපත් සකස්වෙද්දි මහාමාන්කඩවල පියරතන හාමුදුවොත් එක්ක මුල්ම අවධියෙදි ලෑන්ඩ්මාස්ටර් එකකට නැගලා ලවුඩ්ස් කරන්න ක්‍රියාකළ මූලිකයෙක් තමයි මම. ඉතින් ඒ මතකයන් සහ ඒ සම්බන්ධතාවයන්, ඒ මහපොළොවත් එක්ක, ඒ මිනිස්සුත් එක්ක මට තියෙනවා.

මට තවමත් ඇහෙනවා ඒ පහරදීම වෙන වෙලාවෙ ඒ මැරයන්ට මිනිස්සු 'ගහන්න එපා - එපා' කියලා කෑ ගහපු හැටි. මාව වටකරගෙන බේරගන්න මැදිහත් වෙච්ච හැටි. ජයතිලක අයියා, ජයතිලක සහෝදරයා අපි මෙතනින් යන්න ඕනි, නැත්තං මුං ඔබව මරා දායි කියලා මගේ කණට කරල කිව්ව වචන වල පිරිලා තිබ්බ ආදරය, සෙනෙහස. ඒ ආදරණීය මිනිසුන්ට ආයුද අතේ තිබුණු මැරයොත් එක්ක හැප්පෙන්න බැරි බව ඇත්ත. නමුත් ඔවුන් මාව දමා ගියේ නෑ. මාව වටකරගෙන හිටියා මිසක්. මට හිතෙන්නේ, ඒ මං ඒ ප්‍රදේශයේ මිනිස්සු වෙනුවෙන් කරපු  කලා කටයුතු වල ප්‍රතිඵලයක් තමයි.  ඒ විතරක් නෙවෙයි. දවස් දෙකක් ඇතුළත අපි ඒ පහරදීමට විරුද්ධව එප්පාවලදිම කරපු උද්ඝෝෂණයට ඒ මිනිස්සු සහයෝගය දක්වනවා.  ඒක තමයි අපිට තියෙන ශක්තිය. අපිව පරාජය කරන්න බැරි අන්න ඒ නිසයි.

ඔබ ඍජුවම මෙහෙම ගායානා කරනවා, ‘නිවට සිවළුනි! තොපට කාලයයි, වධ නොදී සිහසුනෙන් බැස යන්න’ කියලා. එපමණක් නෙවෙයි. ඔබ කියනවා ‘ජනතාවට අන්තිමේදී ජය අත්වෙනවා. මොන විදිහෙන් හරි දුෂ්ඨයො තොලොංජි වෙනවා’ කියලා. එහෙම කියන්න ඉන්නෙත් ඔබ විතරමයි. මේ ප්‍රහාර පසුපස තියෙන්නෙ ඔබේ මේ අකාලික මුරණ්ඩුකමම නේද? මොකද කියන්නෙ?

ජයතිලක: ඇත්ත, මම එහෙම කියනවා. එහෙම කියන්න මට ශක්තියක් තියෙනවා. මං මුරණ්ඩුයි තමයි. හැබැයි ඒ ජනතාව වෙනුවෙන් තියෙන මුරණ්ඩුකමක්. සමාජ සාධරණය වෙනුවෙන් තියෙන මුරණ්ඩුකමක්. මේ රාජ්‍යයට විරුද්ධව, ආඩුපාඩුකම් තිබියදී වුණත්, ආයුධ ගත්ත හැත්තෑ එකේ පරම්පරාවේ සාමාජිකයෙක් මං. ඒ අරගලයෙදි මගේ සහෝදරවරු, සගයින් සමහරෙක් මිය ගියා. සමහරු දරුණු වධ බන්ධන වලට ලක්වුණා. මමත් පොලීසි වල බොහෝ වධ බන්ධන වලට ලක්වුණු කෙනෙක්. හිරගෙවල් ඇතුළෙදිත් එහෙමයි. නමුත් අද මම මේ ක්‍රමේට විරුද්ධ වෙන්නෙ එදා හැත්තෑ එකේදි විරුද්ධ වෙච්ච ආකාරයට නෙවෙයි. ඒ කියන්නේ ආයුධ අත්වල තියාගෙන නෙමෙයි. අද මගේ ආයුධය ගීතය කියන මෙවලම. ගීතය ආයුධයක් කරගෙන තමයි අද මම වීදියේ විරෝධයට සම්බන්ධ වෙන්නෙ.

'ගොළු සැවුළ වද නොදී හඬලන්න
කොර අසුනි වද නොදී දිව යන්න
නිවට හිවළුනී තොපට කාලයයි
වද නොදී සිහසුනෙන් බැසයන්න'

කියලා කියන එක මං හිතනවා මේ පාලකයන්ට රිදීමක් ඇති කරලා තියෙනවා කියලා. ඒ හින්දා තමයි ඔවුන් ප්‍රකෝප වෙන්නෙ.  ඒ හින්ද තමයි ඔවුන් මගේ ගමන නතර කරන්නට උත්සාහ කරන්නෙ. ඒ හින්දා තමයි ඔවුන්ට මට පහර දෙන්නෙ. ඔලුවට පිස්තෝල තියලා තර්ජනය කරන්නෙ. මේ ගීත දෙකටම හැකිවෙලා තියෙනවා ඔවුන්ට අභියෝග කරන්න. මොන තරම් තාඩන පීඩන වලට ලක්වුණත් කලාකාරයෙක් විදිහට මිනිහෙක් විදිහට මිනිස්සු වෙනුවෙන් යුතුකම් ඉටුකළ කෙනෙක් කියන අහිංසක සතුට මා තුළ මේ මොහොතෙ තියෙනවා.

නමුත් මේ ප්‍රහාරයෙන් පසුව ඔබ කිව්ව ඇතැම් දේ අතිශයින් සංවේදී වුණා. විශේෂයෙන් දිවුල්ගනේ ගැන සහ මහින්ද චන්ද්‍රසේකර ගැන. ඔවුන්ගේ අතීත ජීවිතය හා වර්තමානය ගැන ඔබට සංසන්දනාත්මකව යමක් කිව හැකිද?

ජයතිලක: මා මිත්‍ර දිවුල්ගනේ ගැනයි ඔබ අහන්නෙ. ඔහු හැත්තෑ එකේ ක්‍රියාධරයෙක්.  ඔහු ඒ අරගලය වෙනුවෙන් ප්‍රාදේශිය මට්ටමින් යම් කාර්යභාරයක් කරපු කෙනෙක්. ඔහු මට මුණ ගැහෙන්නෙ හිර ගෙදරදි. අපි එකට කලා කටයුතු වල නිරත වනවා. නාට්‍යයක් නිර්මාණය කරනවා. හිර ගෙදරදි අපේ සහෝදරවරුන්ගෙ මානසික කඩා වැටීම නවත්තන්න, මානසික ආතතිය සමනය කරන්න අපි එකට ගීත ගායනා කරනවා. හිරගෙදර ගත කළ මුල් කාලෙ අපිට සංගීත භාණ්ඩ කිසිදෙයක් තිබ්බෙ නෑ. බත් කන්න දුන්න තැටියත්, තේ බොන්න දුන්න බෙලෙක් ජොග්ගුවත් විතරයි එදා අපිට සංගීත භාණ්ඩ වුණේ.  ඒත් අපිට ඒක ගැටළුවක් වුණේ නෑ. ඒත් විතරක් නෙවෙයි, එදා කරුයි මමයි - ඔහු එතකොට දිවුල්ගනේ නෙවෙයි එච්.එම්.කරුණාරත්න - ඒ හිරගෙදර තිබුණු අසාධාරණ පාලනයට එරෙහිවත් එකට අරගලවල නිරත වුණා. අපි දෙන්න එකට ඒ ජේලර්ලගෙන් ගුටිකනවා. හිරෙන් නිදහස් වෙලා එද්දි අපි දෙන්නම ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත්වෙලා හිටියෙ. අපි ඒවට මුහුණ දුන්නෙත් එකට. දිවුල්ගනේ ගල්ගමුවෙ, ඇහැටුවැව. මම අනුරාධපුරේ, පානියන්කඩවල. ඒ දුර ප්‍රමාණය අපිට බලපෑවෙ නෑ මේ සහෝදරකම මිත්‍රත්වය ගොඩනඟා ගන්න. අපේ මිත්‍රත්වය කොයිතරම්ද කියනවා නම් කලිසම් - කමිස පවා පොදු භාණ්ඩ බවට පත්වෙලා තිබ්බෙ. ආර්ථික ප්‍රශ්න හින්දම තමයි කරූ අනුරාධපුරේට එන්නෙ. අනුරාධපුරේ  හිටපු එකම මිත්‍රයා මම. ඉතින් මගේ මිත්‍රයෝ ඔහුගේත් මිතුරන් බවට පත්වෙනවා.  අපේ ගෙදරදි ඔහු මගේ බාල සහෝදරයන්ගෙ අයියා කෙනෙක් බවට පත්වෙනවා, මගේ වැඩිහිටි සහෝදරයන්ගෙ මල්ලි කෙනෙක් බවට පත් වෙනවා. ඔය කාලෙ රජරට සේවය ආරම්භ වෙනවා. ඒ අනුව ඔහු ගායකයෙක් වෙනවා. මම එහි ගායකයෙක් වාගෙම එහි සිතාර් වාදකයා බවටත් පත් වෙනවා. 1990 අවුරුද්දෙ ගුණදාස කපුගේත් එක්ක එකට අපිව ගුවන් විදුලියෙන් එළියට දානවා.  ඊට පස්සෙ අපි 'කම්පන' ප්‍රසංගය ආරම්භ කරනවා. ඒකෙ අත්වැල් ගායනයට දිවුල්ගනෙත්, මාත් කපුගේට සහාය වෙනවා. මම එහි සිතාර් වදකයා විතරක් නෙවෙයි, එහි නිවේදන කටයුතු වලත් නිරත වෙනවා. ඔය අතරෙ දිවුලගනේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්වෙනවා. මුදල් සහ ජනප්‍රියභාවය ඔහු පසුපස එන්න ගන්නවා. මට හිතෙන්නෙ ඔහු තුළ හිටපු කලාකරුවා, ඒ අරගලකරුවා, සහෝදරයා විනාශකරන්නෙ ඒ ජනප්‍රියකම සහ මුදල් කියලයි. දිවුල්ගනේ වෙළෙඳපොල සඳහා ගී ගයද්දි මං යුද්ධයට එරෙහිව ජීවිතය වෙනුවෙන් 'සාධුජනරාව' පටන් ගන්නවා. නමුත් කරූ පරිස්සම් වෙනවා පාලකයන්ගෙ හිත් රිදවෙන කටයුතු වල නිරත නොවෙන්න.  ඒ නිසා ඔහුගේ නිර්මාණ භාවිතාව මුළුමනින්ම සකස් වෙන්නෙ මිනිසුන් වෙනුවෙන් නෙවෙයි, ඔහුගේ පුද්ගලික අභිලාෂය මත. ඔහුගේ එම සැළසුම්වල ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු උතුරු මැද පළාතේ ආණ්ඩුකාරයා බවට ගත්වෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ වගේ කෙනෙක්ගෙ විශ්වාසය දිනා ගැනීමට තරම් කරූ විසින් ‍ඔහුගේ ආත්මය විකුණගන්නවා කියන එකයි ඇත්ත. අර දිවුල්ගනේ කියන සුවිශේෂ ගායකයා අවසානයේ වන්දි භට්ටයෙක් වෙලයි නවතින්නෙ.

මහින්ද චන්ද්‍රසේකර පිළිබඳවත් ඔබ විමසුවා. ඔහු අති දක්‍ෂ ගීත රචකයෙක්. ඔහු තුළ සහෝදර දෙමළ ජනතාව කෙරෙහි, මුස්ලිම් ජනතාව කෙරෙහි ගෞරවයක්, ආදරයක් තිබ්බා. ඔහු ජාතීන් අතර සහෝදරත්වය ගොඩනඟන්න විශිෂ්ඨ ගීත රාශියක් ලිව්වා. ඒ විතරක් නෙවෙයි, ඔහු සාධුජනරාව ප්‍රසංගය සඳහා විශාල මෙහෙයක් කළා කථකයෙක් විදිහට. නමුත් ජනතාව වෙනුවෙන් පෙනී හිඳිමින් ලබා ගත් ඒ කීර්තිය ඔහු ආයෝජනය කළේ දිවුල්ගනේ කියන ආණුඩකාරයගෙ ලේකම් කෙනෙක් වෙන්න. විශිෂ්ඨ ගීත රචකයෙක්ට අන්තිමට සිද්ධ වුණේ ආණ්ඩුකාරයෙක්ගෙ කතා ලියන්නෙක් බවට පත්වෙන්න. ඒ අනුව ඔහුගෙ නිර්මාණ උල්පත් හිඳිලා යනවා. කලාකරුවකු ලෙස බරපතල ඛේදවාචකයකට ඔහු ගොදුරු වෙනවා.

ඔහු ආණ්ඩුකාරයා වීම තුළ මට නම් පෙනෙන්නෙ අතිශයින් කෲර උත්ප්‍රාසයක්. මේ වරදානයේ හැඟවුම තමයි බරපතල කලාකරුවකුට වුණත් මේ ක්‍රමය ඇතුළෙ අත්පත් වෙන ඉරණම. ඔබ මොකද්ද හිතන්නෙ?

ජයතිලක: ඔව් ඒක අතිශයින් උත්ප්‍රාසාත්මකයි. මම ඔබට එකඟයි. ඔය ආණ්ඩුකාර පණිවුඩේ දිවුල්ගනේ මට මුලින්ම දෙනවත් එක්කම මං ඒකට විරුද්ධ වෙනවා. මගේ අදහස වුණේ එය බාර නොගත යුතුයි කියන එක. නමුත්, ඔහු ඒ තනතුර බාර නොගෙන ඇරියෙ නෑ. රජරට හිතවතුන්, කලාකරුවන් එකතු වෙලා ඔහු වෙනුවෙන් පවත්වන්නට යෙදුණු පිළිගැනීමේ උත්සවය මං වර්ජනය කරන්නට තීන්දු කරන්නෙ ඔබ ඔය කියපු උත්ප්‍රාසයේ ගොදුරක් වෙන්න මා තුළ තිබුණු පිළිකුල හින්දම තමයි.  මිනිස්සු වෙනුවෙන් කලාවෙ නිරත වෙලා අත්පත් කරගන්න සමාජ ප්‍රාග්ධනය මිනිසුන් පීඩාවට පත් කරන ආණ්ඩුවක් වෙනුවෙන් ආයෝජනය කරන්න කලාකරුවෙක්ට පුළුවන් නම් ඔහුට කරන්න බැරි කිසිම කැත වැඩක් තියෙන්න විදිහක් නෑ.

ඔබ අතීතයේ පටන් ප්‍රවණතාත්තමක මාර්ගයක ගමන් ගත් කලාකරුවෙක්. ඔබ දැනුවත්ව මේ සාමාජ යාන්ත්‍රණයට එරෙහි සටන් වලට දායක වුණා.  දිවුල්ගනේ වැනි ඔබේ සමාන්තර ගමන් සගයෝ වෙනත් ජනප්‍රි ප්‍රවේශ ගනිමින් සමාජයට අවතීර්ණ වෙද්දි ඔබ වඩා අපහසු පීඩාකාරී මාවත තෝර ගන්නවා. ඇයි ඒ? මොකද්ද ඒ පෙළඹවීම?

ජයතිලක: මං අපහසු සහ පීඩාකාරී මාවතක් වෙත අවතීර්ණ වෙන්නෙ හෝ මගේ භාවිතය ඒ තත්ත්වෙට පත්වෙන්නෙ, ඒ අපහසු ජීවිතේට කැමති හින්ද නෙවෙයි. ඒ පීඩාකාරී මාවතට මගේ ඇල්මක් හෝ ආදරයක් තියෙන හින්දා නෙවෙයි. අද වුණත් අපි පාලකයින්ගේ දුෂ්ඨකම් වලට, වියරුවට එරෙහි වෙන්නට සමාජ වගකීමක් තියෙන හින්දා අපි පාලකයන්ට අභියෝග කරනවා. අපිට අවශ්‍ය මේ සමාජයේ මිනිස්සු තුළ තියෙන බිය තුරන් කරන්නට.  අපිට අවශ්‍ය, මිනිස්සු තුළ තියෙන පසුගාමී චින්තනය වෙනුවට ඉදිරිගාමී මිනිසෙක් නිර්මාණය කරන්න. අපිට අවශ්‍ය යටත් වැසියන් ලෙස ජීවත් වෙන මිනිසුන් වෙනුවට පුරවැසියන් ලෙස ජීවත් වෙන මිනිසුන් හදන්නට. ඒකට පාලකයො ඉඩ දෙන්නෙ නෑ.

කොහොම වුණත් පීඩාකාරී මාවත තොර ගන්න හේතු වෙච්ච කාරණා නිශ්චිත වශයෙන් එකක් හෝ දෙකක් ලෙස විග්‍රහ කරන්න අමාරුයි. බොහෝ කාරණා මීට පාදක වෙන්න ඇති කියලා මට හිතෙනවා. දිගුකාලයක් පුරා අපි යුද්ධයට එරෙහිව ජීවිතය වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් පාලකයො කවදාවත් එවන් භාවිතයක් තියෙන ගැහැණුන්ට - මිනිසුන්ට පක්ෂපාති වෙන්නෙ නෑ, ඔවුන්ව ගොදුරු කරගන්න එක විතරයි සිද්ධ වෙන්නෙ.  ඒක යථාර්ථයක්. ඉතින් මේ ක්‍රමය තුළ පාලකයන් විසින් කෙරෙන පහරදීම් වලට අපි ලක්වෙනවා.  ඒ කොහොම වුණත් අපි දශක ගණනාවක් පුරා එක්රැස් කරගත්ත අද්දැකීම් මිනිස්සු වෙනුවෙන්ම ආයෝජනය කරනවා මිස ආපසු හැරීමේ ක්‍රමවේදයක් අපි තුළ නෑ. ඒක තමයි මං හිතන විදිහට කලාකරුවාගෙ ස්වභාවය වෙන්නෙ.

ඒ ස්වභාවය හින්දද ඔබ බය නැතුව, එප්පාවලදි එක්රැස් කරගත්ත ශාරීරික වේදනා වියැකී යන්න මත්තෙන් මේ පාලකයගේ මර්මස්ථානයක් වුණු හම්බන්තොටට වීදි විරෝධය අරන් යන්නෙ?

ජයතිලක: එප්පාවල වගේ හම්බන්තොට වීදි වලත් මිනිස්සු වගේම මැරයො ඉන්නවා. මැරයන්ගෙන් තොර රටක් ගොඩනඟන්න කැපවුණු අපිට ආපහු හැරෙන්න අයිතියක් නෑ. ඒ තමයි මගේ විදිහ. හම්බන්තොටදිත් ඒ ආපු මේ ආණ්ඩුවෙ සස්‍රපුකට මැරයො මාව මරණයේ දොරකඩටම තල්ලු කරනවා. හම්බන්තොටදි ඒ දැකපු පිස්තෝල, ඒ දැකපු දැලිපිහියා, ඒ වගේම ඒ මාරවේශයෙන්  ක්‍රියා කරපු ඒ මැරයින්ගෙ, මිනීමරුවන්ගෙ ඇස්වල තිබ්බ කෝපය ඇත්තටම මරණ භය ඇතිකෙරුවා. තවදුරටත් ඒ කම්පනය මා තුළ තියෙනවා. නමුත් ඒ කොහොම වුණත් ඒ පිස්තෝල, දැලිපිහි, පහරදීම් කිසිවකටත් මාව ආපසු හරවන්න බැරි බව මට විශ්වාසයි.

මම හිතන්නේ කලාකරුවෙක් වීමට තියෙන අර්ථකතනය හුදෙක් ඔහු හෝ ඇය නියැලෙන විෂයට පමණක් සීමා වෙන්නේ නෑ. එය සමස්ථ ජීවිත භාවිතාවත් එක්කයි විග්‍රහ කරන්න පුළුවන් වෙන්නෙ. ඔබ විග්‍රහ කරන විදිහට කලාකරුවා කියන්නෙ කවුද?

ජයතිලක: කලාකරුවා නිර්වචනය කරන්න හරිම අමාරුයි. සිවුරු දාගත්තු, හිසමුඩු කරගත්තු හැමෝම යතිවරු නොවන බව අපි දන්නවා. බෞද්ධ යතිවරයෙකු වීමට සපුරා ගතයුතු බොහෝ කරුණු තියෙනවා. කැපවීම, ධර්මානුකූල ජීවිතය, විනය, අඛන්ඩ හැදෑරීම අවශ්‍යයි ධර්මධර හාමුදුරුනමක් වෙන්නට. ඒ වගේමයි කලාකරුවෙක් වීමත්. වාද්‍ය භාණ්ඩයක් වාදනය කළ පමණින්, ගීයක් ගැයුව පමණින්, නාට්‍යයක් හෝ චිත්‍රපටයක රඟපෑ පමණින්, චිත්‍රයක් ඇන්ද පමණින්, කවියක් ගීතයක් ලිව්ව පමණින් කලාකාරයෙක් වෙන්නට බෑ. ඒ සඳහා සපුරා ගත යුතු බොහෝ කරුණු තියෙනවා. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය කියන කාරණා තිබුණත් මදි, මිනිස්සුන්ට ආදරය කිරීම කියන ගුණාංගයත් අත්‍යාවශ්‍ය වෙනවා කලාකාරයෙක් වෙන්න. ඉතින් එවැනි මිනිස්සු හරිම අඩුයි. ඒ හින්දා කලාකරයොත් අඩුයි. තවමත් මුළුමනින්ම ඒ ඉලක්කයට යන්න බැරි වු‍ණත්, මම උත්සාහ කරන්නෙ එවන් මිනිසෙක් වෙන්න.

ඔබ නිශ්චිතව ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධ නිර්මාණ විෂය ඉක්මවා ඒ ගැන සංයුක්ත හා ප්‍රගතිශීලී දේශපාලන මතයක් දරපු - දරණ කලාකරවෙක්. මේ මොහොතේ සමාජයේ ඇවිලෙන ආණ්ඩු විරෝධය තුළ ‘දෙමළා‘‘ අමතක වෙලාද?

ජයතිලක: දෙමළ මනුස්සයා මගේ ජීවිතයෙන් ඈත් කරන්නට මට නම් කොහොමටවත් බෑ. මුස්ලිම් මනුස්සයා හෝ වෙනත් සම්භවයකට  අයත් කෙනෙක් හෝ මගේ ජීවිතයෙන් ඈත් කරන්න මට බෑ. ඒ නිසාම වීදියේ විරෝධය තුළත් මම මගේ ඒ හැඟීම යොදා ගන්නවා.  නොවැම්බර් 25 කොළඹදි පවත්වපු 'වීදියේ විරෝධයේ' පළමුවෙනි වැඩසටහනටත් අපි මේ ආණ්ඩුව විසින් තමන්ගේ ආදරණීය දරුවන්ව අතුරුදහන් කරවපු උතුරේ අම්මලා, ඒ යුද්ධෙදි දරුවන් මරාදැමුණු අම්මලා සහභාගී කරගත්තා. ඒ අම්මලගේ කඳුළුවලට සාධාරණයක් ඉෂ්ඨකර දිය යුතුයි කියන ස්ථාවරයේ වෙනසක් නැති බව ඔබට පැහැදිලි ඇති.  එතනින් පටන් අරන් දිගටම කළ වීදියේ විරෝධතා තුළ අපි ජාතීන්ගේ ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් කළා. දෙමළ ජනතාවට සිදුවුණු අසාධාරණයට අඛණ්ඩව එරෙහිවීම මගින් යුද්ධයේ බිහිසුණුම අවස්ථාවෙත් අපි අපේ ආත්මය රැකගත්තා.  ඔබ ඔය කියන දේශපාලන ස්ථාවරය මරණ තරජන හමුවේත් අපි රැකගත්තා. එය වෙනස් කරගන්න මේ පරිසරය විසින් කිසිසේත්ම බල කෙරෙන්නෙ නෑ කියන එකයි මට හිතෙන්නෙ.

බියෙන් අත්මිදෙන්නට කරපු ඇරියුම එහෙම්ම තියෙනවද? ඔබ හිතනවද පාලකයාගේ මුහුණ වෙනස් වීමෙන් පමණක් මේ පීඩනය සහ භිතිය ගුණාත්මකව වෙනස් වෙයි කියලා?

ජයතිලක: පාලකයො වෙනස් කිරීමෙන් විතරක් මේ ක්‍රමය වෙනස් කරන්න බැරි බව අපි තේරුම් ගත්තෙ මීට දශක ගාණකට පෙර. ඒ සඳහා අවම වශයෙන් අපි බලාපොරොත්තුවෙන ප්‍රතිසංස්කරණවත් දිනාගත යුතුව තිබෙනවා. අපිට සීයට සීයක් විශ්වාසයි මහින්ද රාජපක්‍ෂ මේ සමාජය ඉතා සුළු වශයෙන්වත් යහපත් කරන්නෙ නැති බව. අනුප්‍රාප්තිකයො වුණත් ඒක කරයිද නැද්ද කියන එක ගැන අපිට බරපතල සැකයක් තියෙනවා. නමුත් මේ මොහොතෙ පවතින ඒකාධිපතිවාදය පරාජය කළ යුතුයි. එය පරාජය කරන්න ගොනු වෙන තැන අපි ගොනු වෙනවා. නමුත් මුහුණු වෙනස මඟින් ජනතාවට යහපතක් සිද්ධ නොවුණොත් අපි අඛන්ඩව අපේ විරෝධය දියත් කරනවා. ඒක ඉතාම පැහැදිලියි.

ඔබ හිතනවද වර්ථමාන තාක්‍ෂණික දියුණුවත් එක්ක, නව මාධ්‍යයන්ගේ නැඟීමත් එක්ක වීදියේ විරෝධය වැනි උපප්‍රම පල දරාවී කියා?

ජයතිලක: නවීන තාක්‍ෂණය අපි ප්‍රතික්‍ෂේප කළ යුතු නෑ. ඒ වගේම අපි එහි වහල් ගොදුරක් විය යුතු වන්නේත් නෑ. එහි සාධනීය දේ උකහා ගන්නවා වගේම ඊට සහමුලින් යටත් නොවීමට තරම් අපි සවිඥානික විය යුතුයි. අපේ කලා නිර්මාණ සමාජගත කිරීමට අපි නවීන තාක්‍ෂණය මෙන්ම නව මාධ්‍යයනුත් ඉවහල් කර ගත යුතුයි. ඒ වගේම විශාල පරාසයකට එක්වර සහ ක්‍ෂණිකව ඇමතීමට මේ අලුත් මාධ්‍යයන් භාවිතා කළ හැකියි. ෆේස් බුක් හෝ ට්විටර් වැනි සමාජ ජාලා භාවිතා නොකර ඉන්න ඕනි නෑ. නමුත් ඒවා භාවිතා කරන්නෙ කවර ස්වභාවයකින්ද, කවර අරමුණකින්ද කියන එක ගැන අපි වගකීමෙන් බැඳී සිටිය යුතුයි. 'යූ ටියුබ්' වැනි දේ වුණත් ඉතාම වැදගත්. නමුත් තවමත් වීදියේදී කෙරෙන ඍජු සන්නිවේදනය අහෝසි වෙලා නෑ. ඒක මා ලැබූ ප්‍රහාරවලින්ම වුණත් පැහැදිලි කරගන්න පුළුවන්. මිනිස්සු වෙනස් කරන්න කොයිතරම් බලපෑමක් වීදිය හරහා සිද්ධ වෙනවද කියන එක ඒ මගින් නැවත නැවතත් තහවුරු වෙනවා. අලුත් තාක්‍ෂණය හා මෙවලම් යාවත්කාලීන කර ගන්න පුළුවන් නම් අපිට මීට වඩා සජීවීව හා සක්‍රීයව වීදිය සටන් බිමක් කර ගන්න පුළුවන්. නමුත් අපිට තියෙන ප්‍රශ්නය අපි සතුව තාමත් තියෙන්නෙ ඉතාම දුප්පත් මෙවලම් වීමයි. අලුත් මෙවලම් සපුරා ගන්න අපිට මුල්‍යමය පදනමක් නෑ.  අපි සියලු දේ සපුරාගෙන මේ දේවල් කරන්න හිටියොත් අපිට කවදාවත් වැඩක් කරන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා තියෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වැඩිපුර මානව සම්පත භාවිතා කරලා උපරිම ලෙස අපේ යුතුකම ඉටු කරන්න අපි දරන උත්සාහයක් තමයි වීදියේ විරෝධය තුළ තියෙන්නෙ.

අලුත් පරම්පරාවල නිර්මාණකරුවො බිහිවෙලා සිටිනවා මේ වන විට. ඔවුන්ගේ නිර්මාණවල සහ සමස්ථ භාවිතය තුළ පවතින සාධනීය හා නිශේධනීය ලක්‍ෂණ විදිහට ඔබ දකින්නෙ මොනවාද?

ජයතිලක: තරුණ කලාකරුවො ගැන අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. අපි දන්නවා මේ මොහොතේ ඔවුනුත් බරපතල ලෙස පීඩාවට පත්වෙනවා කියලා. නිදහසේ නිර්මාණකරණයේ යෙදෙන්න වාතාවරණයක් සහ වටපිටාවක් අපේ රටේ නෑ.  මොකද ප්‍රවීන යැයි කියාගන්නා කලාකරුවන්ගෙ කුහකකම් සහ තක්කඩිකම් තමයි ඔවුන්ට දක්නට ලැබෙන්නෙ. නමුත් මේ සියල්ල අතරේත් නැඟීගෙන එන වටිනා අංකුර අපට පෙන්න තියෙනවා. ඔවුන් ක්‍රම විරෝධී, විකල්ප සංගීත භාවිතයකට අවතීර්ණ වෙමින් ඇති බවක් පෙනෙන්නට තියෙනවා. ඒක සතුටට කරුණක්. ඔවුන්ගේ කලා භාවිතාව කෙසේ විය යුතුද යන්න ගැන ආචාරධර්ම පැනවීමවත්, ඔවුන්ට උපදෙස් දීමවත් නෙවෙයි අවශ්‍ය වෙන්නෙ. කුහකකමෙන් තොර වීමත්, තක්කඩි වැඩවලින් ඈත්වීමත් තමයි ඔවුන්ට දිය හැකි මඟ ලකුණ. ආදරය ගැන භාවිතයෙන්ම කියාදීම තමයි නිර්මාණකරණය ගැන ඔවුන්ට දිය හැකි අනර්ඝතම ආදර්ශය. මං හිතනවා මං මගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දේ කරනවා කියලා.

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.