JDS Sinhala

'ජනවර්ගවලට එරෙහි අපරාධකරුවන් ලංකාවේදි සලකන්නේ වීරයෝ වගේ' - ජාවිඩ් යූසුෆ්

නීතීඥ ජාවිඩ් යූසුෆ් රාජ්‍ය තාන්ත්‍රික දූත සේවයේ මෙන්ම මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. 2004 දෙසැම්බරයේදී පිහිටුවන ලද මුස්ලිම් සාම ලේකම් කාර්යාංශයේ ආරම්භක මහ ලේකම්වරයා ලෙස ක්‍රියාකළ හේ, 1997 සිට 2000 දක්වා ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිසමේ කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කළේය. 2003 ඔක්තෝබරයේදී ස්ථාපිත කළ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සාමාජිකයෙකු වශයෙන් මේ දක්වා ක්‍රියාකරන නීතීඥ යූසුෆ්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වර්තමාන පාලක මණ්ඩල සාමාජිකයෙක් ලෙස වගකීම් දරයි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සිවිල් සමාජ නායකයකු වශයෙන්, කලින් කල තීව්‍රවෙමින් මතුවන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය හා එහි දේශපාලන පසුබිම පිළිබඳව ඔහු ජේඩීඑස් හා කතා කළේය.

සටහන: කිත්සිරි විජේසිංහ / සේයා රූ: ලක්‍ෂ්මන් වර්ණකුලසූරිය


ති කිහිපයකට පෙර  මුස්ලිම් ජනයාට එල්ල වූ ප්‍රහාර පිටුපස දේශපාලන බලාධිකාරය හිමි පිරිස් ඉන්නා බවටත් ඒ නිසාම එවැනි හිංසා වළක්වන්නට ඒ මොහොතේදී කාර්යක්ෂමව නීතිය ක්‍රියාත්මක නොවුනු බවටත් දැන් චෝදනා නැගෙනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

නීතිඥ ජාවිඩ් යූසුෆ්: මම ඒ අදහසට එකඟයි. මේ සිද්ධි වළක්වන්න පොලීසිය මැදිහත් වුණේ බොහෝම හෙමින්. තැන් තැන්වල පොඩි පොඩි සිදුවීම් වෙනකොට  මිනිස්සු  කතා කරලා  කියලා තිබුනත් ඒ දේවල් ගැන පරික්ෂා කරලා බලන්න පොලීසිය කිසිම උනන්දුවක් දක්වලා තිබුණෙ නැහැ.  ඊට කළින් අම්පාරෙත් සිදුවීමක් වෙලා තිබුන නිසා මිනිස්සුන්ගේ පැමිණිලි ගැන සැළකිල්ලක් දැක්විය යුතුව තිබුණත් මොකක් හරි හේතුවක් නිසා  එහෙම වෙලා නෑ. ඒ හින්දයි මම කියන්නේ පොලීසිය ඒ දේවල් වළක්වන්න කිසිම උත්සාහයක් ගත්තේ නෑ කියලා. ලොකු විනාශයක් වුණාට පස්සේ තමයි පොලීසියයි හමුදාවයි එන්නේ. ඊට පසුව යම් මට්ටමකින්  තත්ත්වය පාලනය කෙරුවා වෙන්න පුලුවන්. ඒක හොඳයි. නමුත් ඒ පාලනය කළින් කෙරුවා නම් මේ විනාශය යම් තරමකින් හරි අඩුකර ගන්න තිබ්බා. අනෙක රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් කියනවනේ මේ ප්‍රහාරවලට මහනුවර සමහර දේශපාලනඥයන් සම්බන්ධ බවට සැක කරනවා කියලා. නමුත් අපි දන්නේ නෑ පොලීසිය මේ වෙනකම් ඔය කියන දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශයක්වත් අරන් තියනවද කියලා. සමහර  මාධ්‍ය වාර්තාවල නම් තියනවා නුවර පැත්තේ ප්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙක්ව අත්අඩංගුවට අරන් තියන බව.

ඔබ සඳහන් කළා ප්‍රහාර නවත්වන්නට මුල් අවස්ථාවේ ම පොලීසිය කටයුතු නොකළ බව. ඒ හා සමාන චෝදනාවක්  නියෝජ්‍ය අමාත්‍ය එම් එච් ඒ හලීම් ද මාධ්‍ය හමුවක් පවත්වමින්  එල්ල කළා. ඒ, මුස්ලිම් ජනයාට නිදහසේ පහර දීමට පොලිසිය සහ ආරක්ෂක අංශ, ප්‍රහාරකයන්ට පැයක, දෙකක කාලයක් ලබා දී ඇති බවට. බේරුවල ප්‍රහාරයේදීත් මෙවැනිම චෝදනාවක් ආරක්ෂක අංශවලට එරෙහිව එල්ල වුණා. මෙවැනි ප්‍රහාර එල්ල කෙරෙනුයේ සංවිධානාත්මකව සහ රාජ්‍ය අනුග්‍රහය සහිතව බවට මෙයින් පෙන්නුම් කෙරෙනවා නොවෙයිද?

යූසුෆ්: එහෙම චෝදනාවක් තියනවා. ඒක ඇත්ත. දිගන විතරක් නෙමෙයි, තෙල්දෙණිය සහ මහනුවර අවටත් ගොඩක් තැන්වල මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න ආපු කට්ටියට පොලීසිය කිසිම බාධාවක් කරලා නැති බවයි දැනගන්නට ලැබිලා තියෙන්නේ. පොලීසිය විතරක් නෙමෙයි එස් ටී එෆ් එකේ අය පවා එක්කෝ මුකුත් කරන්නේ නැතුව බලාගෙන හිටියා, නැත්නම් සමහර අය ඒ කෝලාහළවලට සම්බන්ධ වුණාය කියලා දැඩි චෝදනා එල්ල වෙලා තියනවා. ඒ ගැන පරික්ෂණ කරනවා කියලා ආණ්ඩුව කියන එකෙන් පේන්නේ ඒ චෝදනාවලට පදනමක් තියෙනවයි කියන එක. ආණ්ඩුව ඒ ගැන පරික්ෂණ කරනවා කිවුවත් තවමත් සෑහීමකට පත් වෙන්න පුලුවන් විදිහේ ප්‍රතිපලයක් නම් දකින්න නෑ.

පසුගිය දශක කිහිපයම ලංකාවේ රාජ්‍ය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් සිදු වී නැහැ. විශේෂයෙන්ම යුද්ධ කාලයේ සිදුවූ සිදුවීම් ගැන පවා ආණ්ඩුව අනුගමනය කරන්නේ චූදිතයන්ට 'දණ්ඩ මුක්තිය'  ලබාදෙන පිළිවෙතක් බවට ජාත්‍යන්තරවත් චෝදනා නැගෙනවා. මේ වගේ අපරාධ සිදුවුණාම බලයේ ඉන්න ආණ්ඩු විසින් මේ ආකාරයේ දණ්ඩ මුක්තිය ප්‍රදානය කිරීමේ පිළිවෙතක් අනුගමනය කිරීම මහනුවර සිදු වූ ආකාරයේ වාර්ගික හිංසන ක්‍රියාවලට පිටුබලයක් සපයනවාද?

යූසුෆ්: ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේක ‍එක ප්‍රශ්නෙකට සීමා වුණු දෙයක් විදිහට නෙමෙයි. මේක රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තියන ආයතන පද්ධතියම ගැන තියන ප්‍රශ්නයක්. අද වෙන කොට නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න හැම ආයතනයක්ම පිරිහීමට ලක්වෙලයි තියෙන්නේ. යුද්ධයක් තිබුනා කියන එක, එක ප්‍රශ්නයක්. මේ රට කොච්චර කාලයක් හදිසි නීතිය වගේ මර්දන නීති යටතේ පාලනය කෙරුනාද කියන එක අමතක කරන්න හොඳ නෑ. අනෙක දේශපාලන බලපෑම්. නීතිය හරියට ක්‍රියාත්මක නොවීමට බලපාන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. ඔබ අහපු ප්‍රශ්නයටත් උත්තරය ඒකම තමයි. වරදකරුවන්ට දණ්ඩ මුක්තිය ලැබෙන්නේ පොලීසියෙන් හරි වෙන කාගෙන්වත් නෙමෙයි, දේශපාලන බලවතුන්ගෙන්. එතකොට මේ වගේ ජාතිවාදි ගැටුම් පාලනය කරන්නවත් මර්දනය කරන්නවත් පොලීසිය හෝ ආරක්ෂක අංශ කිසිම උත්සාහයක් ගන්නේ නෑ. ඒ ගැන තමන්ට යම් චෝදනාවක් එල්ල කෙරුනොත් ඒ අය දන්නව තමන්ව ආරක්ෂා කරගන්න ඉහළ දේශපාලන බලවතුන් පිරිසක් ඉන්න බව. මේක ඉතාම නරක පූර්වාදර්ශයක්. ජාතිවාදි ගැටුම්වලදි දේශපාලන පක්ෂවලින්, විශේෂයෙන්ම ආණ්ඩුවෙන්, පොලීසියටත් ආරක්ෂක අංශවලටත් ලැබෙන සංඥා නිසා ඒ අය ටිකක් කල්පනාකාරි වෙනවා වැරදිකරුවන්ට විරුද්ධව සාක්ෂි එකතු කරන්න හෝ පරික්ෂණ පවත්වන්න. බොහෝ වෙලාවට ආණ්ඩුවෙන්  එන සංඥා එන්නේ තමන්ගේ හිතවතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්.

මානව හිමිකම් උල්ලංඝණ පිළිබඳව හෝ ඒ හා සමාන අපරාධ චෝදනා එල්ල වෙන හමුදා සාමාජිකයන්ට දේශපාලන රැකවරණය ලැබිලා ඒ අය තවදුරටත් කිසිම දණ්ඩනයකට යටත් නොකර ඉන්නවා නම්  අනෙක් අයටත් හිතෙන්න පුලුවන් 'අපි මොන දේ කෙරුවත් ආණ්ඩුව අපිව ආරක්ෂා කර ගන්නවනේ කියා'. ඒක හොඳ දෙයක් නෙමෙයි.

සමූහ හිංසන සහ වාර්ගික අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට අදාළව  අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා අපි දැක නැහැ. 1983 සහ ඊට කලින් ඇති වූ දෙමළ විරෝධී හිංසන ක්‍රියා ගැනත්, පසුගිය අවුරුදු 15 තුළ වරින් වර ඇති වූ මුස්ලිම් විරෝධී හිංසන ක්‍රියා ගැනත් සළකා බැලුවම මේ බව දැකිය හැකියි. මේකට හේතුව සහ විසඳුම කුමක්ද?

යූසුෆ්: මෙවැනි හිංසනවලට ගොදුරු වෙන්නේ  මුස්ලිම් අය වෙන්න පුලුවන්, දෙමළ අය වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් සිංහල අය වෙන්නත් පුලුවන්. නමුත් කරන්න ඕනේ දේ තමයි එහෙම සිදුවීමක් වුණාම ඒකට වගකිව යුතු අයගේ තරාතිරම නොබලා දඬුවම් පමුණුවන එක. අපේ රටේ නීති පද්ධතියේ මේ වගේ වැරදිවලට දඬුවම් දෙන්න තරම් නීති රීති තියනවා. ඒ වුණත් ඒ නීති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති එක තමයි තියන ප්‍රශ්නේ. පහුගිය ආණ්ඩුව කාලේ බොදුබල සේනා සංවිධානය, සිංහල රාවය වගේ ඒවා කිසිම බයක් සැකක් නැතුව  ජාතිවාදි  ස්වරූපයෙන්  තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. මේ ආණ්ඩු කාලේ තමයි මහසෝන් බලකාය, සිංහල ජාතික එකතුව වගේ සංවිධාන ඇති වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අනිසි විදිහට පාවිච්චි කරනවා නම් ඒකට විසඳුමක් තියෙන්න ඕනේ. රජයකට වගකීමක් තියනවා මේ ගැන මීට වඩා හොයලා බලන්න. මොකද ජනවර්ගයකට එරෙහි  යම් මතවාදයක් දරණ සංවිධානයක් හෝ ව්‍යාපාරයක් බිහිවෙන්නෙත්  වැඩ කටයුතු කරගෙන යන්නෙත් පවතින රජය යටතේ. මේක  ඉතිහාසය පුරාම සිදුවුණු - තවමත් සිදුවෙමින් තියන දෙයක්.

ඉතිහාසය පුරාම අපේ රටේ ජනවර්ගයක් ඉලක්ක කර ගනිමින් සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුතු කාටවත් නිසි දඬුවමක් ලැබිලා නෑ. සමාජය එහෙම පුද්ගලයන්ට සළකන්නේ වීරයෝ විදිහට. දේශපාලනඥයෝ  එවැනි අය තමන්ගේ උපදේශකයෝ විදිහටත් තියාගෙන ඉන්නවා. තමන්ගේ ජාතියේ එහෙමත් නැත්නම් රටේ ගැලවුම්කරුවෝ විදිහට තමයි ඒ අයට සළකන්නේ. ඒ ඒ කාලවලට බලයට පත්වෙන පාලකයෝ විතරක් නෙමෙයි නීතිය ක්‍රියාත්මක කරන අයත් නීතිය ක්‍රියාත්මක කරන්න තියන  ආයතනත් ගොඩක්  වෙලාවට එහෙමයි. පසුගිය දශක කීපය තුළ මේ රටේ කොච්චර ආගමික ස්ථානවලට පහර දීලා කඩා බිඳ දලා විනාශ කරලා තියනවද?  2001 වර්ෂයේදි විතර මාවනැල්ලේ ඉතාම දරුණු සිදුවිම් කිහිපයක් වුණා. මුස්ලිම් දේවස්ථාන ගිනි තියලා දැම්මා. වෙළෙඳ  සල්වලට,ගෙවල්වලට පහර දුන්නා. මෑත කාලයේ ඒවා ගත්තම බේරුවල කොච්චර ලොකු විනාශයක්ද කෙරුවේ. ඒ අතරවාරයේ රටේ තැන් තැන්වල මුස්ලිම් ව්‍යාපාර කීයකට පහරදීලා අලාභ හානි කරලා තියෙනවද? දිගන සිද්ධියේත් මුස්ලිම් පල්ලි කිහිපයක්ම ගිනි තියලා විනාශ කරලා තියනවා. මේවට යුක්තිය ඉටුවෙලා නෑ. එහෙම වෙයි කියලා හිතන්න පුලුවන් දේශපාලන වටපිටාවකුත් නෑ. සමහර වෙලාවට පරික්ෂණ පවත්වන නිලධාරින් බය ඇති හරියට පරික්ෂණ කරලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ගියොත් පවතින රජයෙන් තමන්ට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මෙතන තියෙන්නේ මුස්ලිම් ආගම අදහන හෝ බෞද්ධ ආගම අදහන හෝ සිංහල හා මුස්ලිම් ජනවර්ගයන් දෙපිරිස අතර ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරට ගිය සංවිධානාත්මකව වැඩ කරන ජාතිවාදි ව්‍යාපාරයක්. අනෙක මේ ගොඩක් සංවිධාන එහෙමත් නැත්නම් ඔය කියන ව්‍යාපාර වැඩ කරන්නේ දේශපාලන අරමුණක් එක්ක. පසුගිය කාලය පුරාම මේ අය, රට බෙදන්න යනවා කියමින් සාමාන්‍ය සිංහල මිනිස්සුන්ව කුලප්පු කෙරුවා, බය කෙරුවා.

බේරුවලත්, මහනුවරත් ඇතුළු මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදු වූ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට බෞද්ධ භික්ෂූන් විවිධ මට්ටම්වලින් සම්බන්ධ වූ බවට ඕනෑවටත් වඩා සාක්ෂි තිබෙනවා. නමුත් ආගමික ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් මැදිහත්වීමක් හෝ ඒවැනි සිදුවීම් වැළැක්වීමට මූලිකත්වය ගන්නා බවක් පෙනෙන්නේ නැහැ. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?

යූසුෆ්: ඒක ඇත්ත. ආගමික නායකයන් විතරක් නෙමෙයි පොලීසිය පවා ටිකක් පහු බහිනවා එහෙම වෙලාවට නීතිය ක්‍රියාත්මක කරන්න. ජාතිවාදී වෛරය පතුරන සමහර හාමුදුරවරු කතා කරන්නේ  ආගමික නායකයකුට ගැලපෙන විදිහට නෙමෙයි. එවැනි කතා  අපි ඕන තරම් අහලා තියනවා. එක මහානායක ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහෝම කළකිරීමෙන් මාත් එක්ක පුද්ගලිකවම කිවුවා මේ විදහට වෛරය පතුරවමින් ජාතිවාදීව හැසිරෙන  ප්‍රසිද්ධ හාමුදුරු නමක් දෙවතාවක්ම ගෙන්නලා ‍එහෙම හැසිරෙන්න එපා කියලා අවවාද කළත් ඒ හාමුදුරුවෝ ඒ ගැන කිසිම තැකීමක් කළේ නැති බව.  සමහර විට ඒ හාමුදුරුවෝ හිතන්න ඇති තමන්ගේ නායක හාමුදුරුවන්ට වඩා තමන් වටේ ඉන්න පිරිස් බලයයි,දේශපාලන බලයයි වැදගත් බව.

කලින් කල ඇති වූ දෙමළ විරෝධී හිංසන ක්‍රියාවල බලපෑම හේතුවෙන් දෙමළ ජනයා තමන්ගේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතා කිසියම් ප්‍රමාණයකට යටපත් කරගෙන ජීවත් වූ බවක් පෙනෙන්නට තිබුණා. මුස්ලිම් විරෝධී ප්‍රහාර විසිනුත් මුස්ලිම් ජනයාට එවැනි බලපෑමක් ඇතිකර තියෙනවාද? ඒ බලපෑම මොන වගේද?

යූසුෆ්: ඇත්තෙන්ම මුස්ලිම් අය දැන් ජීවත් වෙන්නේ ලොකු බයකින්. සමහර  පොඩි දරුවෝ ඉන්නවා  හැම වෙලේම ගැස්සිලා බය වෙන. අපි ඉස්සර කියන්නේ බිල්ලන්ට බය වෙනවා කියලා. ලංකාවේ මුස්ලිම් අයටත් දැන් වෙලා තියෙන්නේ ඒ දේ. මේක ‍අවුරුදු කිහිපයකට සැරයක් සිද්ධ වෙන මොකක් හරි සුළු  සිදුවීමක් නෙමෙයි දැන් මාස කිහිපයකට සැරයක් වෙන දෙයක්.ඔබ හිතන්න, එක වරම සිය දහස් ගණනක් මිනිස්සු ගම්මානයකට කඩා පැනලා ඒ ගමේ පදිංචි අයට පහර දිලා මරණීය තර්ජන කරන කොට, ගෙවල් දොරවල් ව්‍යාපාරික ස්ථාන විතරක් නෙමෙයි ආගමික ස්ථාන පවා කඩලා විනාශ කරලා දාන කොට ඒකට මුහුණ දෙන අයට ඇති වෙන හැඟීම මොකක් වෙයිද කියලා. ඊයේ රටේ එක තැනක, අද වෙන තැනක හෙට තවත් තැනක අඛණ්ඩව මේ දේවල්  වෙන කොට මිනිස්සු බය වෙනවා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඔවුන්ට දැනෙන හැඟිම තමයි මේ හැමෝම එකතුවෙලයි අපට හිරිහැර කෙරුවේ කියන එක. ඒ හැඟිම වැරදියි කියන්න පිටින් ඉඳලා බලන අයට පුලුවන් කමක් නෑ. ගුටිකාපු අයයි ඒකේ වේදනාව දන්නේ.

රජය, මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීම නමින් පනතක් හඳුන්වාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිපත් කොට තිබේනවා. ඒ මෙවැනි අපරාධ මර්දනය කිරීම සඳහා නව නීති රෙගුලාසි හඳුන්වා දීමට යැයි පවසමින්. නමුත් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ජනාධිපතිවරයා වෙත යවනු ලැබු ලිපියක සඳහන් වන්නේ මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ICCPR කියන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංගහයත් ප්‍රමාණවත් වන බවයි. සිවිල් සමාජ ක්‍රියාධරයකු ලෙසත් නිතිඥවරයකු ලෙසත් මේ සම්බන්ධව ඔබගේ මතය කුමක්ද?

යූසුෆ්: ඇත්තටම ඔය කියන පනත් කෙටුම්පත පිළිබඳව මම දැනුවත් නෑ. ඒ කොහොම වුණත් ශ්‍රි ලකා මානව හිමිකම් කොමිසමේ මතයත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. මොකද ICCPR එකත්, ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයත් හොඳටම ප්‍රමාණවත් මේ වගේ අපරාධවලට දඬුවම් පමුණුවන්න. ඒ නීතිවල යම් අඩුපාඩුවක් තියනවානම් අලුත් නීති ගෙනාවට කමක් නෑ. හැබැයි ඒක වෙන්න ඕනේ මානව අයිතිවාසිකම්වලටවත්, ප්‍රජාතන්ත්‍රවාදයටවත් හානියක් නොවන විදිහටයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.