JDS Sinhala

'දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා' - ජයන්ත සෙනෙවිරත්න

කැලණිය සරසවියේ දර්ශන විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න සාමය ගොඩනැංවීම සහ ප්‍රතිසන්ධානය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්නේ 2003 වසරේ සිට ය. යුද්ධය තීව්‍රව ඇවිල ගිය 2009 මාර්තු මාසයේ දී 'රාවය' පත්‍රයට ඔහු මෙසේ ලීවේය:

"....සාමාන්‍යයෙන් අප දන්නා පරිදි රාජ්‍යයයක් විසින් කිසියම් ජාතියක් හෝ ජනවර්ගයක් සමස්ත වසයෙන් හෝ කොටසක් වසයෙන් විනාශකර දැමීම සමූල ඝාතනය (genocide) ලෙස සැලකේ. එසේම කිසියම් දේශපාලන මතවාදයක් දරනා ජන කණ්ඩායමක් විනාශයට පත්කිරීම නැතහොත් නිරුද්ධ කිරීම දේශපාලන සමූල ඝාතනය හෙවත් දේශපාලන සංහාරයක්  (politicide) ලෙස සැලකේ. අද ශී‍්‍ර ලංකාව දෙස බැලූ විට දෙමළ ජනතාව මේ දෙයාකාර තත්ත්වයටම මුහුණ දී ඇති තත්ත්වයක් දැකිය හැකිය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් බිහිසුණු යුද්ධයක නිරතවුණු එල්ටීටීඊ සාමාජිකයන් සමූල ඝාතනය කිරීම මෙන්ම, 1976 සුප‍්‍රසිද්ධ වඩුකෝට්ටෙයි සම්මේලනයේදී වෙනම රාජ්‍යයක් සඳහා දේශපාලන අනුමැතිය ලබාදුන්  දෙමළ ජනතාවගේ ජාතිකවාදී අභිලාස පරාජයට පත්කිරීමද යන කරුණු දෙකම ගත්විට සමූල ඝාතන කාසියේ දෙපැත්තම අපට දැක ගත හැකි වේ."

දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සංහාරය වූ මොහොතක පළකළ ඒ  අනුමානයට දැන් හය අවුරුද්දකි. ඒ යුද්ධයේ සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මේ ජනවාරියේදී මැතිවරණ පරාජයත් රැගෙන ජනාධිපතිධූරයෙන් ඉවත්ව ගියේය. ඔහු පරාජය කිරීමේ අරමුණ මුදුන්පත් කරගනු පිණිස ගොඩනැගුණු පුරවැසි සංවිධාන හා විද්වත් සාමූහිකයන් තුළ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළ මහාචාර්ය සෙනෙවිරත්න, ඇති වූ ආණ්ඩු වෙනස ගැන කතා කරන්නේ ප්‍රසාදයෙනි.

"මේ මැතිවරණයේදි පැහැදිලිවම දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහයෝගය ප්‍රකාශ කෙරුණා. නමුත් ඔවුන් මොනම අවස්ථාවකදිවත් ඉල්ලා සිටියේ නැහැ බලය බෙදාහැරීම වැනි කාරණාවන් මැතිවරණයට සහයෝගය පළකිරීම වෙනුවෙන් සාකච්ඡාවට ගතයුතු බවට. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත්කරනු ලැබූ ඉල්ලීම් පහ තුළත් බලය බෙදාහැරීම පිළිබඳ කිසිම සඳහනක් කෙරෙන්නේ නැහැ"යි ඔහු කියයි.

"දෙමළ ජාතික සංධානය, මුස්ලිම් ක්‍රොංගසය, ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙහි කොටස් කරුවන් බවට පත්ව සිටිනවා. මේ නිසාම දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා."

පූර්ව මැතිවරණ වකවානුව ගැන මෙන්ම එළඹෙන කාලය පිළිබඳ සිය අපේක්‍ෂාවන් ගැනද මහාචාර්ය සෙනෙවිරත්න JDS හා කතා කළේය.

සටහන: කිත්සිරි විජේසිංහ


සුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම සිවිල් සමාජය නියෝජනය කරන ඔබ වැනි පිරිස්, විශේෂයෙන්ම වෘත්තීයවේදීන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වැනි අය නොයෙක් ආකාරයේ සන්ධානයන් හා සංවිධාන ගොඩනගමින් ජනාධිපතිවරණයට සක්‍රීය ලෙස දායකවන අයුරු අපි දුටුවා. එවැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට එළඹිය යුතුයැයි ඔබ තීරණය කළේ කවර හේතු නිසාද?

පසුගිය කාලය පුරාම රටේ ප්‍රජාතන්ත්‍රවාදි හර පද්ධතින් විනාශ වී ගිය ආකාරය පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. දේශපාලන බලය විසින් රාජ්‍යය ග්‍රහණයට ගෙන එය තමන්ට අවැසි පරිදි හසුරවමින් ඒ ඔස්සේ සමාජයට කරන ලද දැවැන්ත විනාශය , බලපෑම කෙබඳුදැයි අපි දුටුවා.රාජ්‍යයක තිබිය යුතු සියලුම හර පද්ධතීන්, වටිනාකම් ඉතා දරුණු ලෙස පිරිහුණු යුගයකයි පසුගිය කාල වකවානුයේ අපි ජීවත් වුණේ. ගෙවුණු කාලයේදි රාජ්‍ය පාලනයේ ස්වභාවය පෙන්නුම් කරුණු ලැබුවේ අන්ත ෆැසිස්ට්වාදි ගති ලක්ෂණයන්. ඒ යුගය කෙතරම් බිහිසුණු, දුර්දාන්ත සහ දේශපාලන වශයෙන් පිරිහුණු යුගයක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ .ඒ පිළිබඳ අපි හැමෝටම අත්දැකීම් තිබෙනවා. ඒ යුගය රටේ පුරවැසියන් නාමික තත්ත්වයට පත් කරණු ලැබු යුගයක්. පුරවැසියන්ට රාජ්‍යය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කේවල් කිරීමක යෙදීමට අයිතියක් නොතිබුණ යුගයක්. සිවිල්, දේශපාලන සහ මානව අයිතිවාසිකම් අහිමි කෙරූ යුගයක්. නීතියේ ආධිපත්‍යය ඉතා දරුණු ලෙස රාජ්‍ය පාලකයාගේ අභිමතය පරිදි හසුරවනු ලැබු යුගයක්. ඒ වගේ යුගයක් තමයි අප විසින් පසුකරනු  ලැබුවේ. පරාජයට පත්කරනු ලැබුවේ.

පසුගිය කාලයේදී අපේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්න හැකියාවක් නිදහසක් අපිට තිබුණේ නැහැ. සිවිල් සමාජ ක්‍රියාකාරීන්ව, ජනමාධ්‍යවේදීන්ව නොයෙක් ආකාරයේ හිංසාවන්ට පීඩාවන්ට ලක්කරණු ලැබුවා. නිදහස් මතධාරීන්ට, කලාකරුවන්ට, නිර්මාණ ශිල්පීන්ට තමන්ගේ අභිමතය පරිදි නිර්මාණකරණයේ යෙදෙන්නට, රාජ්‍යය විවේචනය කරන්නට අවසරයක් නිදහසක් තිබුණේ නැහැ. රාජ්‍ය ක්‍රියාකාරකම්, ප්‍රතිපත්තීන් සහ දේශපාලන බල අධිකාරිත්වයන් ප්‍රශ්න කිරීම අපරාධයක් ලෙස අර්ථ දක්වමින් ඒවාට දඬුවම් පමුණුවන් ලැබුණා. ඒවා උල්ලංඝනය කරන්නන් අපරාධකරුවන් හා දේශද්‍රෝහීන් විදියට හංවඩු ගැහුවා. රජයට අවනත නොවන ජනමාධ්‍ය ආයතනයන්ට, ජනමාධ්‍යවේදීන්ට පහර දුන්නා. ඇතැමුන්ව මරා දැමු බවත් අපි දන්නවා. ඇතැම් ජනමාධ්‍යවේදීන්ට සිදුවූ දෙයක් අදවන තුරුත් සොයා ගන්නට නැහැ. පුරවැසියන් සතු තොරතුරු දැන ගැනිමේ අයිතිය සම්පුර්ණයෙන්ම අහුරා දැමුවා. වංචා දුෂණ මහා පරිමාණයෙන් ඉහළ ගියා. රාජ්‍ය සම්පත් එක් පුද්ගලයෙකුගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් යොදාගනු ලැබුවා. සමස්තයක් ලෙස ගත් විට මුළු රටම මහා විනාශයක් කරා තල්ලු වී ගියා.

මෙවන් වටපිටාවක් තමයි  පුරවැසියන් ලෙස නැවත අපවම අපගේ වගකීම් සම්බන්ධව  සිතන්නට පොළඹවන්නේ. මා මෙය සමාන කරන්නේ චිලියේ පැවති තත්ත්වයටයි. 1973 වසරේදී චිලියේ එතෙක් පාලන බලය හෙබවු සැල්වදෝර් අයියන්දේගේ පාලනය පෙරලා දමමින් ජෙනරාල්  පිනොචේ පාලන බලය සියතට ගන්නවා. මුල් අවදියේදී පැවති ව්‍යවස්ථාව මත හිඳිමින් රට පාලනය කරන ඔහු, කෙටි කාලයකින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නට උත්සුක වනවා. එය ජනමත විචාරණයක් ඔස්සේ සිදුකිරිමට පිනොචේ කටයුතු කරන්නේ එයට නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් සහ මහජන කැමැත්තක් ඇතැයි පෙන්වීමටයි. නමුත් එයට එරෙහිව  දැඩි මහජන විරෝධයක් එල්ලවෙනවා. රටේ ජනතාව තීන්දු කරනවා නැවත වතාවක් ඒකාධිපති පාලකයෙකුට රටේ පාලන බලය හිමිකර නොදිය යුතු බව. එහිදි ජනතාවගේ හඬ නියෝජනය කරන්නේ ඒ රටේ කලාකරුවන්, බුද්ධිමතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන්, පුජකවරුන් වගේ පිරිස් . ඔවුන් පිනොචේ පරාජය කිරිම සඳහා එක වේදිකාවකට එනවා. ඒ "NO" යන සටන් පාඨය ඔස්සේ. අවසානයේ 'NO' ව්‍යාපාරය ජයග්‍රහණය කරමින් පිනොචේ රාජ්‍ය පාලකත්වයෙන් පලවා හරිනවා. ඒ ආකාරයටම තමයි අපේ රටේ සියලු ප්‍රගතශිලි කණ්ඩායම්, සමාජ බලවේගයන් , කලාකරුවන් ආදින් එක පෙළකට ඇවිත් මහින්ද රාජපක්‍ෂගේ ෆැසිස්ට් පාලනය අවසන් කරනු ලැබුවේ. මං හිතන විදියට නම් එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.

විකෘති රාජ්‍යයක්

ඔබේ මතයට අනුව රාජ්‍යය වඩාත් ශිෂ්ට සම්පන්න සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රටාවකට පරිවර්තනය කරගැනීමේ අරගලය හැම විටම ක්‍රියාත්මක ‍වන්නේ දකුණේ ප්‍රමුඛතා කේන්ද්‍ර කොට ගනිමින්. පසුගිය මැතිවරණය ඉලක්ක කොට ගනිමින් ගොඩ නැගුණු පුරවැසි හා විද්වත් සංවිධානවල සටන් පාඨයන් බවට පත්ව තිබුණු යහපාලනය, නීතියේ ආධිපත්‍ය සහතික කිරිම, පවුල් පාලනය අවසන් කිරිම, වංචා දුෂණ සෙවිම ආදිය මගින් පෙන්නුම් කෙරෙන්නේ දකුණේ වැසියන්ගේ සාමූහික දේශපාලන අරමුණුවල සීමා මායිමයි. මේ න්‍යාය පත්‍ර තුළ උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ඉල්ලීම් සහ අභිලාෂවලට තැනක් හිමි ‍නොවුනේ ඇයි?

ලංකාවේ බොහෝ දෙනෙක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවේදී සහ විවෘත මනසකින් නොමැති බව මම පිළිගන්නවා.  ජාතික ප්‍රශ්නය නොසලකා හැර සෙසු අර්බුදයන්ට පමණක් විසඳුම් සෙවිය හැකිය කියා මා විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ තීරණාත්මක අවස්ථාවේදී අපට යම් තරමකින් හෝ උපක්‍රමිකව කටයුතු කරන්නට සිදුවුණා. අපි දන්නවා 2009 මැයි මාසයේදී ශ්‍රි ලංකා රජය එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු රටේ බහුතරයක් විශ්වාස කළා රජය ප්‍රජාතන්ත්‍රීයව කටයුතු කරාවි කියා. එල්ටීටීඊ පරාජය කිරිමෙන් පසු රජයට හිමිවු අතිවිශාල පිළිගැනිම සහ ජනතා කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යොදා ගනු වෙනුවට රජය උත්සාහ කළේ ලැබුණා වු ඒ පිළිගැනීම සහ බලය ඔස්සේ දකුණ දේශපාලනිකව සිරකර තබා ගැනීමටයි. අපි විශ්වාස කළා, යුදමය ජයග්‍රහණය ඔස්සේ හිමිකරගත් ජනතා කැමැත්ත උපයෝගි කරගෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණයන්ට ගමන් කරාවි, ඒ වගේම බලය බෙදා හැරිම පිළිබඳ කතිකාව ඉදිරියට රැගෙන ඒවි කියා. නමුත් එවැනි කිසිදු වෙනසක් හෝ ක්‍රියාමාර්ගයක් ඇති කෙරුනේ නැහැ. ඒ වෙනුවට දෙමළ ජනතාව ඉලක්ක කරමින් තවදුරටත් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ භීෂණය මුදා හරිනු ලැබුවා. යුද්ධයෙන්  අහිමි කළ ඔවුන්ගේ ජිවිතවල වටිනාකම් රජය අවතක්සෙරු කරනු ලැබුවා. එය යහපත් හෝ අනුමත කළ හැකි තත්ත්වයෙහි එකක් නොවෙයි. ඔවුන්ට තම අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට හෝ පෙනී සිටිමට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂගේ රජය කටයුතු කළේ  ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සමග නොවෙයි. රාජ්‍යයක පැවතිය යුතු හර පද්ධතීන් වෙනුවට ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉතාම අශිෂ්ඨ අශීලාචාර ක්‍රමවේදයන්. ඒ නිසාමයි බොදුබල සේනා, රාවණා බලය වැනි අන්තවාදී සංවිධානවලට රැකවරණය, රාජ්‍ය ආරක්‍ෂාව සපයමින් පෝෂණය කරමින් ඔවුන් අනෙකුත් ජනවර්ගයන්ට එරෙහිව යොදාගනු ලැබුවේ. ඇත්තෙන්ම අනෙකුත් ජාතීන්ට එරෙහිව පසුගිය කාලයේ එල්ල කෙරුණු වෛරී සහගත ක්‍රියාවන්, ප්‍රහාරයන් හුදෙක් එම සංවිධානවල තනි උවමනාව මත සිදුවු එවා නොවෙයි . එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිවල පිළිබිඹුවක්. උතුරු නැගෙනහිර දමිළ ජනතාව සමුල ඝාතනය කරලා ඔවුන්ගේ අයිතීන්වලින් පලවා හැරලා අවසානයේ මුස්ලිම් ජනතාව දෙසට එය හරවනු ලැබුවා. මම හිතන්නේ මෙය රාජ්‍යයේ විකෘති බව පෙනවන කදිම සාධකයක්.

පෙර මැතිවරණයන්වල මෙන්ම මෙවර මැතිවරණයේදීත් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඉතා තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබුණා. නමුත් දකුණේ සිංහල ඡන්ද පදනම අහිමිවේය කියන බිය නිසා ඔවුන්ගේ ඉල්ලීම් හෝ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකර ඉන්නට දකුණේ අපේක්ෂකයන් සැළකිලිමත් වුවා. ඔබේ මතයට අනුව මේ නොසලකා හැරීම හෝ යම් අර්ථයකින් රැවටීම, ඔබ කියන නව දේශපාලන සංස්කෘතියක් හා ගැළපෙන්නේ කොහොමද?

මේ මැතිවරණයේදි  ඉතා පැහැදිලිවම දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහයෝගය ප්‍රකාශ කෙරුණා. නමුත් ඔවුන් මොනම අවස්ථාවකදිවත් ඉල්ලා සිටියේ නැහැ බලය බෙදාහැරීම වැනි කාරණාවන් මැතිවරණයට සහයෝගය පළකිරීම වෙනුවෙන් සාකච්ඡාවට ගතයුතු බවට. ඔවුන්ගේ ඉල්ලීම වුණේ රාජ්‍යය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යොමුකරන්න කියන එක. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත්කරනු ලැබූ ඉල්ලීම් පහ තුළත් බලය බෙදාහැරීම පිළිබඳ කිසිම සඳහනක් කෙරෙන්නේ නැහැ. නමුත් ඒ සම්බන්ධව අප සංවාද කළ යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම් නොතකා හරින්න අපට බැහැ. ඒවා අවතක්සේරු කරන්න බැහැ. එයින් සිදුවන්නේ මේ අර්බුදයන් තව දුරටත් සංකීර්ණ සහ ව්‍යාකූලත්වයට පත්වීමයි. සියලු ජාතීන්ගෙන්, කණ්ඩායම්වලින් සමන්විත කැබිනට් මණ්ඩලයක් දැන් අපට තිබෙනවා. දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙහි කොටස් කරුවන්, හවුල්කරුවන් බවට පත්ව සිටිනවා. මේ නිසාම දැන් අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි වැඩ කිරීමට හැකි, උවමනා  අයට ඒ සඳහා නිදහසක් හිමිවීම. ඒ සඳහා අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වී තිබීම. ඒ නිදහස වෙනුවෙනුයි අප මෙතරම් කාලයක් බලා සිටියේ. මම හිතනවා මේ මොහොතේ අපේ වගකීමක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන්, ආගමික අන්තවාදය සම්බන්ධයෙන්, යම් සංවාදයක් මතුකර ගැනීම කියලා.

සිංහල අාකල්ප

නමුත් දෙමළ ජාතික සංධානය ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්නේ අවම වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් වෙනුවෙන් විය හැකිය කියන එක සරල දේශපාලන අනුමානයක් වශයෙන් වුණත් කිව හැකියි.  ඒ වගේම දකුණේ ඇතැම් පාර්ශවයන්ගේ මතය වෙලා තිබුණේත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් වන බවයි. ඔබේ විග්‍රහයට අනුව මේ මොහොතේ ඒ  සම්බන්ධව රජය තුළ ගොඩනැගෙමින් පවතින්නා කතිකාව මොන වගේද?

දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් වෙනුවෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ එයින් ඔබ්බට ගිය විසඳුමක් අවශ්‍ය බවයි මම විශ්වාස කරන්නේත්. ඉදිරියේදි හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ ද්‍රවිඩ ජාතික සංධානය සමග සෘජු සංවාදයක්  ගොඩනගා ගනීවි. එය අත්‍යාවශ්‍ය සාධකයක්. මේ තාක් එකිනෙකා අතර පැවති සැකය සහ බිය අතහැරදමලා සැබෑ විසඳුමක් වෙනුවෙන් සංවාදයකට ප්‍රවේශවීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක්. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දකුණේ සිංහල ජනතාවගේ ආකල්පයන් වෙනස් විය යුතුයි. ඇත්තෙන්ම මම විශ්වාස කරනවා ගොඩනැගෙමින් තිබෙන නව දේශපාලන සංස්කෘතිය තුළ ඉතිහාසයේ පැවති අශීලාචාරකම් ඉවත් විය යුතුයි කියා. නොඑසේනම් සිදුවන්නේ මේ අර්බුදයන් තව තවත් එක තැන පල්වීම විතරයි.

අපි පිළිගත යුතුයි ලංකාවේ දෙමළ ජනතාව කියන්නේ අත පල්ලෙන් වැටුනු ජාතියක් නොවන බව. ඔවුන් ශත වර්ෂ ගණනාවක දීර්ඝ කාලීන ගෞරවනීය ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්. ඇත්තෙන්ම මම කැමති නැහැ ඔවුන් සුළු ජාතියක්  ලෙස හැඳින්වීමට. ඒ නිසා ජාතියක් වශයෙන් ඔවුන්ට කරන නොසළකා හැරිම්, අවමන් සහගත සැළකීම් නතර කළ යුතුයි. අනෙක් කාරණාව තමයි ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ මේ ප්‍රශ්නය ගැන මෙයට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුයි. මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලය තුළ ජාතිවාදය, ආගම්වාදය, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැංවු බව අපි දන්නවා. ඒ නිසා හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂවල වගකීමක් මේ මොහොතින් පසුව ඔවුන්ගේ පැරණි මතවාදයන් ඉවත ලා නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් එකට එකතුව කටයුතු කිරීම. පසුගිය කාලය පුරාම අප ශිෂ්ට ලෝකය ඉදිරියේ හුදකලා රාජ්‍යයක් බවට පත් වුණා‍. ඒ සියල්ලට හේතු වුණේ ජාතිවාදී, ආගම්වාදී රාජ්‍ය ප්‍රතිපත්තීන් බව අපි අමතක නොකළ යුතුයි.

නව රජයේ ප්‍රධානතම පාර්ශවකරුවකු වන ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක පුවත් පතකට කියා තිබුණා ඔවුනට අවශ්‍ය වන්නේ රට නැවත වතාවක් 2005 වර්ෂයට රැගෙන යාමට බව. එනම් සිංහල බෞද්ධකම මත පදනම් වු ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බව. ඒ වගේම ඔහු කියා සිටියා දෙමළ ජනතාව යුදමය වශයෙන් පරාජය කිරීමට අවශ්‍ය ශක්තිය සහ ජවය මහින්ද රාජපක්‍ෂට ලබා දුන්නේ තම පක්‍ෂය විසින් බව. මේ තකාරණාවම ජනතා විමුක්ති පෙරමුණත් පුන පුනා කියන ලද දෙයක්. යථාර්ථවාදීව කල්පනා කර බැලුවොත්, මේවා විසින් පෙන්නුම් කරන්නේ දෙමළ ජන අයිතීන් සහතික කිරීම අරභයා වත්මන් රජයට යා හැකි දුර සීමාවද? ඔබ විසින් අර්ථ දක්වන ශිෂ්ඨත්වය හා මේ ප්‍රායෝගික දේශපාලනය අතර පරස්පරයක් තිබෙනවා නේද?

ඇත්තෙන්ම මැතිවරණ ජයග්‍රහණය ඉතාම අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබුණා. සිංහල බෞද්ධ ඡන්ද පදනම ඉලක්ක කරමින් මහින්ද රාජපක්‍ෂ විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන ගියා. සිංහල බෞද්ධ ඡන්ද පදනම නියෝජනය කරන සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂික ඡන්ද දායකයන් එක් වරම මෛත්‍රිපාල සිරිසේනට සහය දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා සිංහල බෞද්ධ ඡන්ද පදනම ආරක්‍ෂාකර ගැනීම මේ මැතිවරණයේදි ඉතාම තීරණාත්මක සාධකයක් බවට පත්වුණා. මෙහිදී ජාතික හෙළ උරුමය ඉටු කරණු ලැබුවේ එක්තරා විදිහක තීරණාත්මක කාර්යභාර්යක්. ඔවුනට උවමනා වුණේ මහින්ද රාජපක්‍ෂ ගේ ෆැසිස්ට්වාදී ගමන නතර කිරීමටයි. ඒ නිසා හෙළ උරුමය කරනු ලැබුවේ එක්තරා විදිහක රඟපෑමක්. ඔවුනට අවශ්‍ය වුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මෛත්‍රීපාල සිරිසේනට ආරක්‍ෂා කර දෙන්නයි.

යුද්ධය ඉතාම බලවත්ව ඇවිළ ගිය වකවානුවේදී ඔබ වරක් ලියා තිබුණා දෙමළ ජනතාවට එරෙහිව මුදා හැරුණු යුද්ධය  වර්ග සංහාරයක් (genocide) පමණක් නොවෙයි එය, දේශපාලන සංහාරයක් (politicide)ද වන බව. මේ මොහොතේදී ඔබේ ඒ ප්‍රකාශය ගැන නැවත හැරී බැලීමේදී ඔබේ තක්සේරුව සහ විග්‍රහය මොකක්ද?

ඔය ප්‍රකාශය මම කරනු ලැබුවේ 2005 වර්ෂයේදි විතර බවයි මගේ මතකය. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආණ්ඩු දෙමළ ජනතාව මර්දනය කරනු ලැබුවේ යුදමය වශයෙන් විතරක් නොවෙයි. ඒ කියන්නේ  ශාරිරිකව විනාශ කරමින් පමණක් නොවෙයි. ඔවුන්ගේ දේශපාලන අභිලාශ, අරමුණු සහ ජාතිකත්වය පවා විනාශ කර දැමුවා. මා දේශපාලන සංහාරයක් ලෙස හඳුන්වනු ලැබුවේ එයයි. එය ජාතියක් ලෙස ඔවුන් මුහුණ දුන් ඛේදනීය තත්ත්වයක්. අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක සියළු හර පද්ධතීන් විනාශ කරන්නට  දකුණේ ආණ්ඩුවලට උවමනා වුණා. නමුත් මේ තත්ත්වය නිවරදිව තේරුම් ගෙන කටයුතු කිරීම නව රජයේ වගකීමක් හා යුතුකමක්. නැවත ඒ විනාශයන් සිදුවන්නට ඉඩහැර බලා සිටීම යහපත් එකක් නොවෙයි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.