JDS Sinhala

'රාජපක්‍ෂ පරාජය කිරීම සටනක පටන් ගැන්ම විතරයි' - ජෝසප් ස්ටාලින්

රගලකාරී ඉතිහාසයකට හිමිකම් කියන ලංකා ගුරු සංගමයේ, වත්මන් ප්‍රධාන ලේකම්වරයා වන ජෝසප් ස්ටාලින් වෘත්තීය සමිති සහ බහුජන ව්‍යාපාරයන් තුළ නියාමක වැඩ කොටසක් ඉටු කරයි. වෘත්තීය සටන් ක්‍රියාකාරීත්වයන් ඒකාබද්ධ කරනු වස් ගොඩනංවා ඇති රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකතුවේ සම කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන ඔහු බලයේ පැවති ආණ්ඩුව පරාජය කිරීම සඳහා දකුණේ කලා සංස්කෘතික ක්‍රියාධරයන්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකරාශී කොට තැනූ 'පුරවැසි බලය' සංවිධානයේ කැඳවුම් මණ්ඩලයද නියෝජනය කළේය.

'වෘත්තීය ඉල්ලීම් මුල්කොටගත් සටන් අරගල එදිනෙදා දේශපාලන අරගලවලින් වියෝ කොට ඉස්සරහට ගෙනියන්න බැහැ' ඔහු කියයි. 'වෘත්තීය අරගල මර්දනය සඳහා රජයක් ගන්නා තීන්දු දේශපාලනිකව ගණන් බලා ගන්නා පියවරයි. ඒ නිසා ඒවා පරාජය කරන්න සංවිධානය විය යුත්තේත් දේශපාලන දැක්මක් හා ගණන් බැලීමක් මතයි.'

ගතව ගිය හා එළඹෙන වකවානුව සම්බන්ධයෙන් සිය සංශයන් හා අපේක්‍ෂාවන් ගැන JDS හා කතාබහකට ස්ටාලින් එක්වූයේ, ඉකුත් දෙමස තුළ නැග ආ මැතිවරණ රළ වේගයන් බැස යන්නට පටන් ‍ගෙන ඇති මොහොතකදී ය.

සටහන: කිත්සිරි විජේසිංහ  |  සේයා රූ: කල්ප රාජපක්‍ෂ


මැතිවරණය විසින් ඇති කළ බව පෙනෙන්නට තිබුණු උද්වේගය ක්‍රමානුකූලව අඩු වෙමින් යන්නට පටන්ගෙන ඇති මේ මොහොතේ මැතිවරණ ප්‍රතිඵලය ගැන ඔබේ අදහස මොකක්ද?

ජෝසප් ස්ටාලින්: පළමුවෙනි කාරණාව තමයි ජනතා පීඩක පාලන තන්ත්‍රයක් විදියට රාජපක්‍ෂ ආණ්ඩුව ගැන ක්‍රමානුකූලව වර්ධනය වුණු සමාජ විරෝධාකල්පය තීරණාත්මක විදියට ජයග්‍රහණය කිරීමක් මේ සමස්ත ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරන බව. මර්දනය සහ සාමූහික භීතිය ඇති කිරීම හරහා ස්ථාවර කරගෙන යන්නට උත්සාහ කළ  පාලන යුගයක් අවසන් කරන්නට මහ ජනයා විසින් ප්‍රජාතන්ත්‍රිකව ගත් තීන්දුව වැදගත් එකක්. ඒ කර්තව්‍යයට පසුගිය කාලයේ ආණ්ඩුවේ ප්‍රහාරයට ලක් වූ විශේෂයෙන්ම නාගරික වැඩ කරන ජන කොටස් සැළකිය යුතු දායකත්වයක් දක්වා ඇති බව පැහැදිලියි.

නමුත් ඡන්ද ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරන වඩාත් වැදගත්ම ලක්‍ෂණය තමයි රාජපක්‍ෂගේ පාලනය සංඛ්‍යාත්මකව සුළු ජාතීන් ලෙස සැළකෙන ජාතික ප්‍රජාවන්ට කොයිතරම් පීඩක තන්ත්‍රයක් විදියට වැඩ කළා ද කියන එක. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනයා මෙන්ම රට මැද දෙමළ හා මුස්ලිම් ජනකොටස් රාජපක්‍ෂගේ පාලනය පෙරළා දමන්නට ඉටු කළ වැඩ කොටස නොවන්නට තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට පැහැදිලි ඉඩකඩක් තිබුණා. මම හිතන්නේ නැහැ රාජපක්‍ෂ විරෝධීව පාවිච්චි කරපු ඡන්දය මගින් විරුද්ධ පක්‍ෂය ගැන ඒ ජනතාව අතර ඇති ගැඹුරු විශ්වාසයක් හඟවනවා කියලා. ඒක තීරණය වෙන්නේ එළඹෙන කාලය තුළදී යි. වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට, එක් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට එරෙහිව අපි ගෙනගිය ක්‍රියාමාර්ග ජනවාරි 08 වෙනිදා නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලය හේතුවෙන් අවසන් නොවන බවත් අපි විශේෂයෙන්ම කිව යුතුයි.

ඔබේ පිළිතුර විසින්ම වැදගත් පරස්පරයක් මතු කරනවා. ඒ පරස්පරය මතුවෙන්නේ සංඛ්‍යාත්මකව සුළු ජාතීන්ගේ ඡන්ද මේ මැතිවරණයේදී ඉටු කළ තීරණාත්මක කාර්යභාරය ගැන ඔබ කියපු කාරණාව නිසායි. මෛත්‍රිපාල සිරිසේන පෙරටු කොටගත් මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨ මූලික වශයෙන් තෝරාගෙන තිබුණේ මුළුමණින්ම සිංහල ඡන්ද දායක පදනම් ආකර්ශනය කරගන්නයි. වෙනත් ජාතීන් - විශේෂයෙන්ම දෙමළ ජනයා - මුහුණ දීලා තිබුණ ගැඹුරු ගැටළුවලට අාමන්ත්‍රණය කරනවා වෙනුවට ඒ ජනයා මුහුණ දීලා තියෙන ප්‍රශ්න ගැන වචනයක්වත් විරුද්ධ පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිබුණේ නැහැ. නමුත් රාජපක්‍ෂ පාලනය පෙරළා දමන්න තීරණාත්මක දායකත්වය දැක්වූවේ දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඡන්දයයි. ඒ වගේම විපාක්‍ෂික මැතිවරණ ව්‍යාපාරය විසින් ඉලක්ක කරපු සිංහල ඡන්ද පදනම් තීරණාත්මකව රාජපක්‍ෂගෙන් කඩන්නත් හැකි වුණේ නැති බවයි පෙනෙන්න තිබුණේ.  මේ පරස්පරය ඉදිරි කාලයේදී මොනවගේ ප්‍රතිවිපාක ඇති කරයිද?

ස්ටාලින්: ඒ කතාවේ ඇත්තක් තියෙනවා. සිංහල නොවන ජනයාගේ ගැටළු ගැන විරුද්ධ පක්‍ෂයේ මැදිහත්වීමක් තිබුණේ නැහැ විතරක් නොවෙයි, බොහෝ අවස්ථාවල ඒ සටන් පාඨවල සුළු ජන විරෝධී හරයක් තිබුණු බවත් දකින්න පුළුවන්. පොදු වශයෙන් තිබුණු ආකල්පය තමයි, දෙමළ හා මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කතා කළොත් සිංහල ඡන්දදායක පදනම් විරුද්ධ පක්‍ෂ මැතිවරණ ව්‍යාපාරයට එරෙහිව යොමු කරවන්න  පැවැති ආණ්ඩුව කටයුතු කරාවි කියලා. එහෙම තිබියදීත්, රාජපක්‍ෂ පාලනය පරාජය කරන්න උතුරු නැගෙනහිර සහ කඳුරට ජනයා තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමෙන් පෙන්නුම් කරන්නේ රාජපක්‍ෂ පාලන තන්ත්‍රය විසින් පීඩිත ජාතීන්ට ඇති කරලා තිබුණු ජාතික පීඩනයේ තීව්‍රතාවයයි. ඒ නිසා විරුද්ධ පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුද, ඔහුගේ ප්‍රතිපත්ති මොනවාද කියන එකට වඩා තියෙන ආණ්ඩුව පරාජය කරන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පීඩිත ජාතීන් කටයුතු කළ බව පැහැදිලිවම පේන්න තියෙනවා.‍ ඉදිරි කාලය වඩා අභියෝගාත්මක කාලයක් වෙන්නේ ඒ නිසායි.

දෙමළ හා මුස්ලිම් ජනයා තවදුරටත් පීඩාවට පත්කරන, ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් නොසළකා හරින පිළිවෙතක් මේ ආණ්ඩුව අනුගමනය කරනවා නම්, ඊට විරුද්ධව හැකි උපරිමයෙන් කටයුතු කිරීමේ දේශපාලන හා සදාචාරාත්මක වගකීම දැන් පෙරටත් වඩා අපි සියල්ලන් මත පැටවෙනවා. විශේෂයෙන්ම විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සෘජුව හා වක්‍රව වැඩ කරපු වර්ගවාදයට, ආගම්වාදයට විරුද්ධ හැමෝටම දැන් පැහැර හරින්න බැරි වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව දෙමළ - මුස්ලිම් ජනයාගේ මූලික දේශපාලන ගැටළු සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ගැන අවධානයෙන් ඉන්නත්, ඒ වගේම අවශ්‍ය මොහොතේදි, අවශ්‍ය බලපෑම කරන්නත්. අනෙක් අතට, ඔබ මතුකරපු පරස්පරය මතුකරලා සිංහල ජනයා අතර වර්ගවාදය අවුස්සන්න දැනටමත් පරාජිත බලවේග උත්සාහ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. එහෙම ප්‍රවණතා ශක්තිමත් වීම වැළැක්වීමේ වගකීමකුත් අපි සියල්ලන්ට පැවරෙනවා.

උතුරු-දකුණු සහෙයා්ගීතාව

මැතිවරණයට පෙර වකවානුව ගැන අපි ටිකක් කතා කරමු. මැතිවරණ කේන්ද්‍රීයව විවිධ පෙරමුණු, සංවිධාන ගොඩනැගෙන්න කලින් වෘත්තීය සමිති ව්‍යාපාරය සහ බහුජන සංවිධාන හරහා වර්ධනය කරමින් තිබුණු ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගවල මූලික අරමුණ වුණේ මොකක්ද?

ස්ටාලින්: වෘත්තීය සමිති විදියට මූලිකවම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ වෘත්තීය සමිති අරගලය අඛණ්ඩව පෙරට ගෙන යෑම  අපේ ඉලක්කයක් බවට පත්ව තිබුණා . එසේම අනෙකුත් වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කර ගැනීමත්, ගිළිහී ගොස් ඇති ප්‍රජාතන්ත්‍රවාදය යළි ශක්තිමත් කර ගැනීම වෙනුවෙනුත් මතුවුණු අරගල එක්කත් අපිට පැහැදිලි සම්බන්ධයක් තිබුණා. ඒ ස‍ඳහා පෙළ ගැසෙන සියළු සමාජ  කණ්ඩායම් එක් බලවේගයක් ලෙස ගොනුකරගැනීමත් අපේ අනෙක් ඉලක්කය වුණු බව කියන්න පුළුවන්. අතුරුදහන්වූවන්‍ ගේ පවුල් සාමාජිකයින් ගෙන ගිය විරෝධතා, ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග ආදී විවිධ සටන් තුළ මූලික ඉලක්කය වුණේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තහවුරු කරන ඉඩකඩක් නිර්මාණය කරගැනීමයි.

නමුත් රජය අපගේ කිසිදු ඉල්ලීමක් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. රජය ඒ සෑම අවස්ථාවකදිම හැසිරුනේ ඉතාම මර්දනකාරී ආකාරයෙන්. මේ ක්‍රියාමාර්ග හුදෙක් තනි වෘත්තීය සමිතියක ඉල්ලීම් විදියට ඉදිරිපත් වුණු ඒවා නොවෙයි. රටේ බොහෝමයක් වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාරයන්, දේශපාලන පක්ෂ අදියෙන් සැදුණු පුළුල් ව්‍යාපාරයකින් පෙරට දමාපු ඉල්ලීම් මාලාවක්. රජයේ පිළිතුර වුණේ සැමවිටම බිය ගැන්වීම හෝ මර්දනයයි. ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ විවිධ පාර්ශවයන් විසින් වෘත්තීය සමිති ව්‍යාපාරය සහ එහි නායකත්වයන් අරබයා එල්ල කරන නොයෙක් අවලාද අපහාසාත්මක ප්‍රකාශයන් - තර්ජනයන් අපට නොසළකා හැරිය නොහැකියි. ආණ්ඩුව සෑම විටම උත්සාහ ගනු ලැබූයේ සටන්කාමී බලවේගයන් එකිනෙකාගෙන් වෙන් කොට කුමන්ත්‍රණකාරී ලෙස පරාජය කරන්න. නමුත් මේ සියල්ල හමුවේ  වැඩකරන ජනයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරත වෙන්නට අපිට හැකියාව ලැබුණා.

ඔබ කියන වෘත්තීය අරගලයන් හා පුළුල් බහුජන ක්‍රියාකාරීත්වයන් තුළ උතුරු නැගෙනහිර ජනතාව දැක් වූ දායකත්වය සහ සහභාගීත්වය මොන වගේද?

ස්ටාලින්: මම සිතන්නේ ලංකා ගුරු සංගමය විදියට කතා කරනවා නම් කියන්න අවශ්‍යයි, අපේ වැටුප් සම්බන්ධ අරගලය මුලින්ම සක්‍රීය ලෙස ආරම්භ කෙරුණෙත්, උතුරු පළාතෙන්. උදාහරණයක් විදියට ලෝක ගුරු දිනය යෙදුණු ඔක්තෝබර් හය වෙනි දා පවත්වනු ලැබු උද්ඝෝෂණය පවත්වනු ලැබුවේත් යාපනය නගරයේදි යි. අනෙක් කාරණාව තමයි, උතුරු නැගෙනහිර සංවිධානය කෙරුණු අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයින්ගේ උද්‍‍ඝෝෂණ, දේශපාලන සිරකරුවන්ගේ අයිතීන් මුල්කොටගත් ව්‍යාපාර, ඉඩම් අහිමි කළ ජනයාගේ විරෝධතා, මාධ්‍ය මර්දනයට විරුද්ධව කැඳවූ පිකටින් ව්‍යාපාර ආදී බොහෝමයක් ක්‍රියාකාරකම් වලට අපි වෘත්තීය සමිති නියෝජිතයින් විදියට අඛණ්ඩවම සම්බන්ධ වුණා.

ඉදිරි අභියෝග

නමුත් මැතිවරණයට දින නියම කිරිමත් සමගම පෙනෙන්නට තිබුණු දෙයක් තමයි කලින් තිබු ඔබ දැන් සඳහන් කළ ඒකාබද්ධ පුළුල් බහුජන න්‍යාය පත්‍රය, දේශපාලන පක්‍ෂ හා පෙරමුණුවල මැතිවරණ න්‍යාය පත්‍රවලට සරිලන විදියට යම් පමණකට කපා ගැනීමක්. ඒ වගේම මෙයට පෙර ගොඩනගාගෙන තිබුණු බහුජන සංවිධාන තුළ ඒකාබද්ධව සිටි බලවේගයන් - උදාහරණ විදියට ශිෂ්‍ය කොටස්, දෙමළ සහ මුස්ලිම් ජන නියෝජනය ආදිය -  සැළකිය යුතු තරමකින් අතහැර අත්හැර දමනු ලැබූ බවකුත් විද්‍යාමාන වුණා නේද?

ස්ටාලින්: ඒ අදහස මම පිළිගන්නවා. මැතිවරණයකදි ප්‍රමුඛ බලවේගය බවට පත්වන්නේ දේශපාලන පක්‍ෂ. කිසියම් ප්‍රමාණයකට පක්‍ෂ න්‍යාය පත්‍රයන් ඒ ක්‍රියාවලිය තුළ ආධිපත්‍යය තහවුරු කරගන්නවා. නමුත් දේශපාලන පක්‍ෂවලට පරිබාහිරව  නොයෙක් සිවිල් හා බහුජන ව්‍යාපාරයන් වෘත්තීය සමිති ආදිය මැතිවරණ ක්‍රියාදාමය තුළ යම් සක්‍රීය දායකත්වයක් සපයනවා. ඒ අදාළ මැතිවරණය ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් තුළ පැවැත්වෙන බවට සහතික කරගැනීමට අවශ්‍ය නිසායි.

පැවතුණ ජනාධිපතිවරණයේදී ප්‍රධාන වශයෙන් බලවේග දෙකක් තරග වැදුණා. එකක් මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ව්‍යාපාරය. අනෙක් පසින් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ගණනාවක එකඟතාවය සහිතව ඉදිරිපත්ව සිටින පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරය.  මීට අමතරව පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය, නව සම සමාජ පක්‍ෂය, එක්සත් සමාජවාදී පක්‍ෂය හා සමාජවාදී සමානාත්මතා පක්‍ෂය නියෝජනය කරමින් වාමාංශික අපේක්‍ෂකයින් කිහිප දෙනෙකුත් ජනපතිවරණයේදී තරඟ වැදුණා. කෙසේ නමුත් පසුගිය කාලය පුරා විවිධ සිවිල් හා බහුජන අරගලයන්හි නිරතව සිටි පාර්ශවයන් ගණනාවක් මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් ක්‍රියා කළා. නමුත් ඒ ව්‍යාපාරය තුළ  අපට දක්නට ලැබුණේ නැහැ උතුරේ දෙමළ ජනතාවගේ හෝ මුස්ලිම් ජනතාවගේ පුළුල් නියෝජනයක් හෝ ඔවුන් පෙලන ප්‍රශ්න පිළිබඳ බලවත් අවධානයක් ඇති බවක්. කොහොම වුණත්, මේ සමස්ත ක්‍රියාවලියට ඇතුල්වීමේදී  අපේ අරමුණ වුණේ තෝරාගත් එක් නිශ්චිත අපේක්‍ෂකයෙක් ජයග්‍රහණය කරවීම නෙවෙයි. අපිට අවශ්‍ය වුණේ ඉදිරි ක්‍රියාමාර්ග වලට වාසිදායක වන කොන්දේසි නිර්මාණය කරගන්න ඉවහල් වන යම් කිසි ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරවීමයි. විධායක ජනාධිපතිධුරය ඉවත් කිරීම, ඒ වගේම දේශපාලන බලපෑම්වලින් මුදවාගෙන රාජ්‍ය සේවයේ  සවාධීනත්වය ස්ථාපිත කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීම ආදී පියවර, අපි කල්පනා කළ විදියට ප්‍රජාතාන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන් පෙරට ගෙනයාමට අත්‍යවශ්‍ය දේවල්. ඒ සඳහා ප්‍රමාණවත් කරමින් පුළුල් සන්ධාන ගොඩ නැංවීමට අපි අසමත් වුණු බව ඇත්ත. ඒක බරපතල අඩුපාඩුවක්.

කොහොම වුණත්, පැවතුණු ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගුණු බහුජන ව්‍යාපාර වල ඉදිරි ඉරණම ගැන දැන් ප්‍රශ්නයක් තියෙනවා. එවැනි ව්‍යාපාරවලින් අරමුණු කළ මූලික වෙනස දැන් බැලූ බැල්මට සිද්ධ වී හමාරයි. මෙතැනින් එහාට මොකද වෙන්නේ?

ස්ටාලින්: මම හිතන්නේ මූලික අරමුණ වුණේ තිබුණු ආණ්ඩුව පෙරළා දැමීම නෙවෙයි. ඒක එක්තරා විදියක අතරමැදි අරමුණක්. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වශයෙන් අපි දකින විදියට මූලික අරමුණ වෙන්නේ වැඩකරන ජනයා සහ පීඩිත ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අහිමි කරන රාජ්‍ය පිළිවෙත් පරාජය කිරීමයි. තිබුණු ආණ්ඩුව පෙරළා දැමීම ඒකේදි අත්‍යවශ්‍ය ඉලක්කයක් වුණා මිසක් ඒක මූලික අරමුණ බවට පත්වෙන්න විදියක් නැහැ. විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් ජනයාට එරෙහි මර්දනකාරීත්වයන් පරාජය කිරීමත්, හමුදාකරණය, භීෂණය හා මැර බලයට පිටුබල දෙමින්, අධිකරණයේ ස්වාධීනත්වයට පහර එල්ල කරමින් ගෙනගිය පිළිවෙත් තීරණාත්මකව පරාජය කිරීමත් කියන අරමුණු තවමත් ඉටු වී නැහැ. ඒ නිසා ජනවාරි 08 වෙනිදා විසින් උදා කරනු ලැබුවේ මේ සටන නොනවත්වා ගෙනියන්න අවශ්‍ය අවකාශයයි. කිසියම් කෙනෙක් කල්පනා කරනවා නම් පැරණි ආණ්ඩුව පලවා හැරලා අලුත් ආණ්ඩුවක් බලයට ආ නිසා අපේ අභිලාෂය සාර්ථකයි කියලා, අපි මේ අරගලයට මැදිහත්වුණු අරමුණ ඒක නෙවෙයි කියලා මතක් කරන්න අපිට සිද්ධ වෙනවා.

රාජපක්‍ෂ ආණ්ඩුවේ පිළිවෙත් විසින් මතුකරන්නේ ව්‍යුහාත්මක ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම රාජපක්‍ෂගේ මර්දනකාරී පාලනය ඉවත් නොකර කරන්න බැරි තත්ත්වයක් තිබූ බව ඇත්ත. නමුත් රාජපක්‍ෂ ඉවත් කීරිම විසින් ඒ ව්‍යුහාත්මක ප්‍රශ්නවල නිමාවක් සළකුණු කරන්නේ නැහැ. වැඩ කරන ජනයා මුහුණ දෙන ප්‍රශ්න, පීඩිත ජාතීන් මුහුණ දෙන ගැටළු ආදි සියල්ලට පිළිතුරු සෙවීමේ භාරදූර කාර්යය ආරම්භ වෙන්නේ මෙතනින්. ඒක මගහැරලා ඉඳීමේ උවමනාව කාට තිබුණත්, වෘත්තීය සමිති ව්‍යාපාරයට එහෙම කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ජනවාරි 08 වෙනිදායින් සළකුණු කරන්නේ බැරෑරුම් අරගලයක අරම්භය බවයි.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.