'වැදගත් වෙන්නේ තීරණාත්මක මොහොතක ඇති කරගත් සමගියයි.' - ජයම්පති වික්‍රමරත්න
- Post 07 January 2015
ලංකා සම සමාජ පක්‍ෂයේ ජෙයෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම ව්‍යවස්ථා විශාරදයෙකු ලෙස සැළකෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස පත් කෙරුණේ 1996දී ය. 2008 මාර්තු මාසය වනතෙක් වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන්ද හෙතෙම ක්‍රියා කළේය. නමුත් 2008 මාර්තුවේදී, 'වත්මන් පාර්ලිමේන්තුවට ජාතික ගැටළුව විසඳීමට කිසිදු ශක්‍යතාවක් නැතැයි' ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඔහු සිය තනතුරින් ඉල්ලා අස් විය.
"ජනතා විමුක්ති පෙරමුණට, ජාතික හෙළ උරුමයට සහ මහජන එක්සත් පෙරමුණට ඇති සැබෑ ජන පදනම්වලට අනුපාතික නොවන ලෙස ඔවුන්ට හිමිව ඇති පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය සහ පාර්ලිමේන්තුවේ දේශපාලන සංයුතිය සැළකූ විට මේ පාර්ලිමේන්තුව හරහා එතරම් දෙයක් සිදුවෙතැයි මම විශ්වාස කරන්නේ නැතැ'යි ඔහු ඒ වසරේ මාර්තුවේදී බීබීසී ගුවන් විදුලියට ප්‍රකාශ කළේය.
2012 ජූනි මාසයේදී JDS ඉංග්‍රීසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක් වූ ආචාර්ය වික්‍රමරත්න දෙමළ ජනයාගේ දීර්ඝ කාලීන දුක් ගැනවිලි සළකා බැලීමේදී අවශ්‍යව ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යා හැකි විසඳුමක් බව යළිත් අවධාරණය කළේය. 'සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුවේ බහුතර වාර්තාවට අත්සන් තැබූ කෙනෙක් වශයෙන් මගේ ආකල්පය අවංක බල බෙදා හැරීමකින් තොරව මේ ගැටළුව කිසිසේත්ම විසඳාගත නොහැකි බව'යැයි ඔහු කීය.
එයින් දෑවුරුද්දකට පසු, දැන් එළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාකාරී ලෙස දායක වී සිටින අාචාර්ය වික්‍රමරත්න, ගොඩනැගී ඇති විපක්‍ෂ සන්ධානය පිළිබඳ JDS හා කෙටි සංවාදයක නියැලිණ.
සටහන: කිත්සිරි විජේසිංහ
ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයයි. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්‍ෂයේ පක්‍ෂ ගණනාවක් එක්ව අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කොට තිබෙනවා. ඒ වෙනුවෙන් ගොඩ නැගී තිබෙන සංධානයේ දේශපාලනික අරමුණු ඇති පොදු හරය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න: අද මූලිකවම අපට අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩ නැංවීමේ කාර්යය ඇරඹීමටයි. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රට තුළ ස්ථාපිත නොකොට වෙන කිසිවක් සිදුකළ නොහැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු පාලන ක්‍රමයට යළි ප්‍රවිශ්ඨවීමත්, එයින් පසු ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමත් අප මුළින්ම කළ යුතුව තිබෙනවා. මේ වෙනස්කම් නොකොට රටක් ලෙස අපට ඉදිරියට යා නොහැකියි. නොයෙක් වෙනස්කම් සහිත විවිධ වු මතවාදයන් සහිත දේශපාලන පක්‍ෂ, පුද්ගලයන් අද මේ පොදු අරමුණ වෙනුවෙන් ඒකරාශී වී සිටිනවා. මා සිතන්නේ එය ඉතා යහපත් තත්ත්වයක්. විවිධ වෙනස්කම් සහ මතවාදයන් සහිත දේශපාලන පක්‍ෂ එකඟව සිටිනවා මා මුලින් කියු පොදු අරමුණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්.
දැන් ඔබ සඳහන් කරනා අකාරයට මේ විපක්‍ෂ සන්ධානය ගොඩනැගෙන්නේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමේ අරමුණු සහිතවයි. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලනයේ පළමු අදියරේ සිටම සිදුකළ බරපතල ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියා සහ මානව අයිතිවාසිකම් අහිමි කිරීම් සිදුවුනේ මෙම සන්ධානයේ බහුතරයක් දෙනාගේ අනුමැතිය සහ ක්‍රියාකාරී දායකත්වය සහිතව නේද?
ජවි: දේශපාලනමය වශයෙන් එකිනෙකාට වෙනස් මත දැරිය හැකියි. නමුත් මේ පොදු සංධානය ගොඩනැගී තිබෙන්නේ දැනට පවතින දේශපාලනය වෙනස් කිරීමේ අරමුණ සහිතව සහ මැතිවරණය ඉලක්ක කරගෙන පමණයි. මෙයට මාස කිහිපයකට පෙර එක්සත් ජාතික පක්ෂයටයි, ජාතික හෙළ උරුමයටයි දේශපාලන වශයෙන් එකඟ විය නොහැකි තත්ත්වයක් මතුව තිබුණා. නමුත් මැතිවරණයකදි එම මැතිවරණය ඉලක්ක කොට ගෙන යම් දේශපාලන වෙනසක් ඇති කිරීම වෙනුවෙනුත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙනුත් එකට එකතු විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. කිසිවකුත් අරමුණකින් තොරව එකතු වන්නේ නැහැ. බොහෝ විට එවැනි එකතු වීමක් සිදුවන්නේ යම් කිසි පොදු ක්‍රියාවලියක් වෙනුවෙන් විතරයි. විරුද්ධ මත දරමින් විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ට මැතිවරණයක් ඉලක්ක කරමින් පොදු සංධානයකට හෝ පෙරමුණකට එකතු විය හැකියි. එය පුදුමයට කරුණක් නොවෙයිනේ? සාමාන්‍යයෙන් මැතිවරණයන් ඉලක්ක කරමින් එවැනි සංධානයන් ගොඩනැගෙනවා. යම් වෙනසක් ඇති කිරීමට අවස්ථාවක් ලැබුණු පසුවයි එවැනි සංධාන ගොඩනැගෙන්නේ. 2010 දී එවැනි අවස්ථාවක් මතු වූයේ නැහැ. නමුත් මේ වෙනුවෙන් මැදිහත් විය යුතු සෑම පාර්ශවයකම දායකත්වය දැන් ලැබී තිබෙනවා.
‘ඇයි එදා පැවති තත්ත්වය වෙනස් කිරීමට සන්ධානගත නොවුනේ’ ආදී තර්ක - විතර්ක පදනම් කරගෙන ඕනෑනම් අපට මේ සම්බන්ධව වාද කළ හැකියි. නමුත් මා නම් සිතන්නේ අපි සතුටු විය යුතුයි මේ අවස්ථාවේ හෝ විවිධ මතවාදයන් සහිත පුද්ගලයන් කණ්ඩායම් එක පෙරමුණකට එකතු වීම ගැන. එසේම වඩා වැදගත් වෙන්නේ එදා එකතු වුණාද - නොවුණාද කියන එක නොවෙයි, මේ තීරණාත්මක අවස්ථාවේ කෙසේ හෝ ගොඩනගාගත් සමගියයි.
නව සන්ධානයේ පාර්ශවකරුවන් ලෙස ක්‍රියා කරන ඇතැම් දේශපාලන පක්‍ෂවල මෑතකාලීන ක්‍රියාකාරිත්වයන් සැළකා බැලූ විට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මේ සන්ධානය ගොඩනැගී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කේන්ද්‍රීය ගැටළු........
ජවි: නැහැ. මේ එවැනි ලොකු වැඩකට එකතු වුණ දෙයක් නොවෙයි. රාජ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳව නිර්මාණය කරන හෝ එවැන්නක් පිළිබඳව සාකච්ඡා කරන තැනක් නොවෙයි මේක. මේක ඉතාම සීමාසහිත කරුණූ කිහිපයක් පිළිබදව සංවාදයට බඳුන් කොට ඒ සම්බන්ධව යම් කිසි පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ගොඩනැගු එකතුවක් විතරයි. ඒ තමයි, මුලිකවම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයක් ගොඩනගන්නේ කෙසේද කියන කාරණය. එයට පමණක් සීමා වු මුලික කරුණු හතරක් - එනම් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම, 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම, කෙටි කාලීන වශයෙන් ජනතාවට සහන ලබා දීම සහ හැකිනම් අවම වශයෙන් දෙවසරක කාල සීමාවකට හෝ සර්ව පාක්‍ෂික රජයක් ඇති කිරීම - තමයි මෙහි පදනම. කෙසේ නමුත් එයින් ඔබ්බට ගිය යම් විසඳුමකට හෝ ක්‍රියාදාමයකට ගමන් කිරීමට අපට හැකි වේවි. ඇතැම් විට නොහැකි වේවි. අද අපට කළ හැකි දේ තමයි මේ.
ඇත්තෙන්ම මට මතුකරන්න අවශ්‍ය වුණු ප්‍රශ්නය අවසන් කිරිමට අවස්ථාවක් ලැබුණේ නැහැ..මට අහන්න අවශ්‍ය වුණේ.....
ජවි: ඔබ අහන්නේ හරස් ප්‍රශ්න නේ. උසාවියක වගේ මෙතන හරස් ප්‍රශ්න අහන්න බැහැ. මේක දේශපාලන කාරණයක්. අපි කරන්නේ දේශපාලන මැදිහත් වීමක්. මේක උසාවියක් නොවෙයි. අහන එකක් කෙටියෙන් අහන්ඩ, මෙතන අපි පණ එපා කියලා මේ වැඩේ වෙනුවෙන් නැහෙනවා. ලොකු දේශපාලන කතාවල් අවශ්‍ය නැහැනේ. දැනට ගොඩනැගිලා තියෙන වැඩේ ගැන අහන්න. අපි බොහෝම පීඩනයෙන් වැඩ කරන්නේ. මට ලොකු සංකීර්ණ දේවලා ගැන කතා කර කර ඉන්න වේලාවක් නැහැ. ඔබට අවශ්‍ය කරන පිළිතුර ලැබෙනකම් ඔබ මගෙන් ප්‍රශ්න අහන්ඩ එපා. මම ඉන්නේ කාර්ය බහුල තත්ත්වයක.
කරුණාකර වරදවා තේරුම් ගන්න එපා. ජනමාධ්‍යකරුවෙකු විදියට මේ මොහොතේ මට අහන්නට ඇති ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරනවා හැර වෙන සැළැස්මක් මට අවශ්‍ය නැහැ. මම ඔබෙන් විමසන්නේ මෙම සංධානයේ පාර්ශවකරුවන් බවට පත් වී තියෙන ඇතැම් කොටස්කරුවන්ගේ පෙර ක්‍රියාකාරිත්වයන් විසින් ඉතුරු කොට ඇති යුක්ති සහගත ප්‍රශ්න. උදාහරණයක් වශයෙන්, මෙයට පෙර ඔබ අපත් සමග අපේ ඉංග්‍රීසි වෙබ් අඩවියට කළ සාකච්ඡාවකදි ඉතා පැහැදිළිවම ප්‍රකාශ කර සිටියා ජාතික ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවා අදට වලංගු නොවන බවත්, ඉන් ඔබ්බට ගිය විසඳුමක් වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්. මගේ පඅද ප්‍රශ්නවල පදනම ඔබ විසින් එදා පැහැදිලි කළ ස්ථාවරයයි. අවම හෝ බලය බෙදා හැරිමකට එක හෙළා විරුද්ධ, සිංහල බෞද්ධ නොවන ජනයාගේ අයිතින් රාජ්‍ය බලයෙන් මර්දනය කළ යුතු බවට තර්ක කරන ජාතික හෙළ උරුමය වැනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණයට හෝ යහපාලනය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික භාවිතාවක් පෙන්නුම් කරලා තියෙනවාද?
ජවි: ඇත්ත. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ අවස්ථාවේදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ නැහැ. එසේ කතා නොකිරීමට සියලූ පාර්ශවයන් එකඟ වී තිබෙනවා. විවිධ දේශපාලන මතවාදයන් දරන්නන්ට පවා එකඟ විය හැකි අකාරයෙනුයි අපේ මැතිවරණ ප්‍රකාශනය සැකසී ඇත්තේ. මේ එකතුවේ සිටින සියලූ දේශපාලන පක්ෂ සහ පුද්ගල කණඩායම් සමග වෙන් වෙන්ව දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසු ඇති කරගත් එකඟතාවයකින් අනතුරුවයි මේ මැතිවරණ ප්‍රකාශණය ඉදිරිපත් කර තියෙන්නේ. එය කියවු පසු ඔබට අවබෝධ වේවි කුමන කරුණක් අරබයාද මේ පොදු එකතුව එකඟ වී තිබෙන්නේ කියා.
නමුත් ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන සහ ජාතික හෙළ උරුමය අතර ඇති කරගත් ගිවිසුමට අනුව ඔවුන් දෙපාර්ශ්වය එකඟතාව ගොඩනැංවී ඇත්තේ, රාජ්‍යයේ ඒකීය ස්වභාවය සහ සිංහල බෞද්ධ කේන්ද්‍රීයතාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටයි. සංයුක්ත තත්ත්වයන් සහමුලින් නොසළකා ඇතිකරගත් එවැනි වියුක්ත කොන්දේසි මේ සන්ධානයේ ඉදිරි ක්‍රියාකාරීත්ය සීමා කරන විලංගුවක් නෙවෙයිද?
ජවි: මෙහෙමයි - මට ඒ ගිවිසුම ආරක්ෂා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නමුත් නිශ්චිත කරුණක් ලෙස ගත් විට ඔය කියන වගන්තිය මේ සන්ධානය ගොඩනැගී තියෙන එකඟතාවන්ගේ පදනමට සාපේක්‍ෂව හරයෙන් නිවැරදියි. මම එහෙම කියන්නේ දැනට යෝජිත ව්‍යවස්ථාව හරහා රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් හෝ බුද්ධාගමට දී ඇති තත්ත්වය පිළිබඳ තීන්දු ගැනීමේ පදනමකින් නෙවෙයි මේ සන්ධානය ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා ඔබ කියන වගන්තිය මගින් දැනට අපි ඇති කරගෙන තිබෙන මූලික එකඟතාවන් උල්ලංඝණය කිරීමක් කරන්නේ නැහැ.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් සහ 17 වන සංශෝධනය නැවත බලාත්මක කිරීමෙන් ඒකීයභාවය ආරක්ෂා කිරීම සහ බුද්ධාගම ආරක්ෂා කිරීම කියන වගන්තීන් වලට කිසිදු බලපෑමක් එල්ල කෙරෙන්නේ නැහැ. නමුත් එය අනවශ්‍ය සඳහන් කිරීමක්. ඒ නිසා අපි එළි දක්වා තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එවැන්නක් කිසිදු තැනක සඳහන් කෙරෙන්නේ නැහැ. අප සියල්ලන්ම මේ පොදු සන්ධානය වටා එකතුව සිටින්නේ ඉතාම සීමා සහිත වු කාරණාවන් මත පමණයි. ඒ සඳහා කිසිවකුගෙන් කිසිදු බලපෑමක් එල්ල කෙරී නැති බවට මා සහතික වශයෙන්ම කියා සිටිනවා. නමුත් බලය බෙදා හැරීම ගැන මේ අවස්ථාවේදි සාකච්ඡා කරන්නේ නැහැ. එය සිදු කළ යුත්තේ නව පාර්ලිමේන්තුවක් හරහා පමණක් යැයි අප සියලූ දෙනාම පිළිගෙන තිබෙනවා. එදාට අප අතර නොයෙක් වෙනස් කම් ඇතිවිය හැකියි. නමුත් මේ නිශ්චිත මොහොතේ දී එවැනි ගැටලූවක් මතුවන්නේ නැහැ.☐
© JDS