JDS Sinhala

වතු සමාගම් වතු 'ලොක්වඩුන්' කර කම්කරුවන්ගෙන් වැඩ ගනියි

 

අතුල විතානගේ විසිනි


ඳුකරයේ වතු ආශ්‍රිතව කොවිඩ් 19 ආසාධිතයන් හමුවීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතුයායන් කීපයක් හුදකලා කිරීමට තීරණය කර තිබුණද බොහෝ වතු සමාගම් විසින් කම්කරුවන් අඛණ්ඩව සේවයේ යොදාගනිමින් ඇති බව වෘත්තීය සමිති චෝදනා කරති.

ජූනි මාසයේ 8 වැනිදා වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති සමස්ත කොව්ඩි ආසාදිතයන්ගේ නිල සංඛ්‍යාව 5,214ක් වූ අතර අදාළ දිනය තුළ පමණක් වාර්තා වූ සංඛ්‍යාව 128ක් ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරීන්ගේ වාර්තා විසින් පෙන්වා දී තිබේ.

“හැටන් වැලිමඩ වත්ත, වටවල ලොනාක් වත්ත, දික්ඔය සාන්චිමලේ වතු කීපයක් සහ බොගවන්තලාව සම්පූර්ණයෙන්මත්, තේ පර්යේෂණාගාරය තියෙන තලවකැලේ ශාන්ත කූම්බ්ස් වත්තත් ලොක් ඩවුන් කළ බව කිව්වත් ඒවායේ කම්කරුවන් තවදුරටත් වැඩවල යොදවනවා"යි සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සංවිධායිකා කලෛසෙල්වි ක්‍රිෂ්ණන් ජේඩීඑස් වෙත කියා සිටියාය.

'ප්‍රතිකාර නැහැ'

"පී.සී.ආර්. පරීක්ෂණ නිසි විදිහට කෙරෙන්නේ නැහැ. එන්නත් ලබාදීමටත් කිසිදු වැඩපිළිවෙලක් ඇත්තෙත් නැහැ. දැනටමත් කොව්ඩ් වැළඳීමෙන් සිදුවුණ කම්කරු මරණ ගැන වාර්තා වෙලා තියෙනවා"යි ඇය වැඩි දුරටත් කීය.

ජූනි 8 වැනිදා වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් 19ට ගොදුරුවූවන්ගේ සමස්ත මරණ සංඛ්‍යාව 75ක් බව දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය අනාවරණය කර තිබුණි. කොවිඩ් 19 ආසාධිත කම්කරු මරණ රාගල දී 2ක්ද, කඳපොල 3ක් ද, නානුඔය 2ක්ද, බොගවන්තලාවේ කිහිප දෙනකුද වශයෙන් නිල වශයෙන් වාර්තා වී ඇති බව පෙන්වා දෙන කලෛසෙල්වි ක්‍රිෂ්ණන් පෙන්වාදෙන්නේ සැබෑ සංඛ්‍යාවන් මීට වැඩි වීමට ඉඩ ඇති බව ය.

"කොවිඩ් වැළඳුනු බව තහවුරු වූ කම්කරුවන්ට වැඩ නොදී ගෙදර යවනවා හැරෙන්න කිසිදු ප්‍රතිකාරයක් ලබාදීමට බොහෝ වතු පාලකයන් කටයුතු කරන්නේ නැහැ. අනික් කම්කරුවන් සුපුරුදු විදියට වැඩට වාර්තා කරන්න ඕනි"යි ඇය ප්‍රකාශ කළාය.

වතු සමාගම් ලාභ ඉහළට

කොවිඩ් 19 වසංගතයේ තර්ජන තිබියදීත් මේ වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව තේ අපනයනවලින් රුපියල් බිලියන 19.2ක ආදායමක් ඉපයූ බව වාර්තා කරන ආසියා සියක තේ තැරැව්කාර සමාගම විසින් පෙන්වා දෙන්නේ එය ඉකුත් වසරේ එම කාලය තුළ ලැබූ ආදායමට වඩා 6%ක වැඩිවීමක් බව ය. ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අනුව, 2020 ජනවාරි මාසයේදී තේ කිලෝ මිලියන 21.9ක් වූ නිෂ්පාදනය 2021 ජනවාරි මාසයේදී මිලියන 23ක් දක්වා ඉහළ නැග තිබේ.

මෙම ආදායම් මාර්තු මාසය වනවිටත් නොවෙනස්ව වර්ධනය වූ බව තේ මණ්ඩලයේ මෑතකාලීන වාර්තා විසින් පෙන්නුම් කරයි. අදාළ වාර්තා අනුව පසුගිය වසරේ ජනවාරි මාසවලදී ඉපැයූ රුපියල් බිලියන 38ක අපනයන ආදායම මෙම වසරේ එම කාලය තුළදී රුපියල් බිලියන 41ක් දක්වා ඉහළ නැග තිබේ.

කෙසේවුවද, කොරෝනා රෝගය පැතිරයාම හේතුවෙන් ඊට ගොදුරුවන වතු කම්කරුවන් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන වතු සමාගම් සිය ලාභය උපරිම කරගැනීම වෙනුවෙන් රත්නපුර, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියළු වතුවල කම්කරුවන් සේවයෙහි යොදවා තිබේ. දෛනික වැටුප් ලබන කම්කරුවන් කවර දුෂ්කර තත්ත්වයන් යටතේ හෝ සේවයට වාර්තා කිරීම අනිවාර්ය වී තිබේ.

ලක්ෂ 15ක ජනයා වෙසෙන ශ්‍රී ලංකාවේ වතු අතරින් 449ක්ම පාලනය වන්නේ පෞද්ගලික වැවිලි සමාගම් යටතේ වන අතර රජය යටතේ පාලනය වන්නේ වතු 21කි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.