JDS Sinhala

කම්කරු අයිතීන් කප්පාදුව සඳහා යෝජිත පනතට එරෙහිව වෘත්තීය සමිති විරෝධතා

ඉෂංඛා සිංහආරච්චි විසිනි 


ම්කරු අයිතීන් තහවුරු කරමින් යම් සුරක්ෂිත බවක් ලබාදුන් කම්කරු නීති අණපනත් 53 ක් සංශෝධනය කිරීමේ රජයට සැළසුමට එරෙහිව අවශ්‍ය වෙතොත් සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිති ගණනාවක් තීරණය කොට තිබේ.

රජයේ හා පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුව විසින් නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට බදාදා (21) පවත්වන ලද ඒකාබද්ධ විරෝධතාවයේදී මෙම අදහස් ප්‍රකාශ කර සිටි වෘත්තීය සමිති නියෝජිතයෝ, යෝජිත සේවා නියුක්ති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවට කම්කරු ඇමති රවින්ද්‍ර සමරවීර විසින් ප්‍රකාශයට සිය විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියෝය. යෝජිත ඒකීය කම්කරු නීති පනතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොදෙන ලෙස සියළුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔව්හු කම්කරු ඇමතිවරයා වෙත සංදේශයක් බාර දෙමින් අදාළ පනත් කෙටුම් පත හකුලා ගන්නා ලෙස දැනුම් දුන්හ.

ලංකා වාණිජ හා කර්මාන්ත පොදු සේවකයින්ගේ සංගමය (CMU), වෙළඳ කළාප පොදු සේවක සංගමය, වාණිජ හා කාර්මික කම්කරු සංගමය හා ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයෝ උද්ඝෝෂණයට එක්ව සිටියහ.

USAID උපදෙස්

කම්කරු අණපනත් 53ක අඩංගු තෝරාගත් ඇතැම් වගන්ති පමණක් ඇතුළත් වන සේ එක් පනතක් කෙටුම් සකස් කිරීමට රජය දැනටමත් ක්‍රියාකරමින් ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍යංශය මේ පිළිබඳ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක චෙමොනික්ස් ජාත්‍යන්තර (Chemonics Intenational) සමාගම සමග සිව් වසරක ව්‍යාපෘතියක් සඳහා 2016 ඔක්තෝබරයේ දී ගිවිසුමකට එළඹුණි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (USAID) මුල්‍ය ප්‍රතිපාදන හා උපදෙස් මත ය. SAIL (Supporting Accelerated Investment in Srilanka) ව්‍යාපෘතිය ලෙස නම් කොට ඇති මෙහි මුලික අරමුණ බවට රජය ප්‍රකාශ කරනුයේ කර්මාන්ත හා සේවා ඇරඹීම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම ය.

ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් දේශීය හා විදේශීය ආයෝජනයන් සඳහා වත්කම්, ඉඩ ප්‍රස්ථා, හා අවහිරතා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුකරන බැව් ප්‍රකාශිත ය. 2017 වසරේදී කෙටුම් පත්කරනු ලැබූ නව කම්කරු පනත කම්කරු අමාත්‍යංශය වෙත “රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් අයිතිවාසිකම් පනත” නමින් මේ වනවිටත් අනුමැතිය සඳහා යොමුකර තිබේ.

මෙරට ක්‍රියාත්මක කම්කරු නීති හා රෙගුලාසි මගින් කම්කරුවන්ට අවධිමත් හා කෙටිකාලීන වාසි සහගත බවක් පෙන්නුම් කළ ද ඒවා රැකියා සම්පාදන ආයතනවලට හානිකර බව පනත මගින් පෙන්වා දී තිබේ. පවතින නීති රෙගුලාසි හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන්ට හානිකර බැවින් ආයෝජනයන්ගේ තත්ත්වය බරපතල අවදානමකට ලක්වී ඇති බවත්, විවිධ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රයන්හි භාවිත නීති හා රෙගුලාසි සමග කම්කරුවන්ට අදාළ නීති රෙගුලාසි අතර ගැටුම් මතුවන බවත්, ස්ත්‍රී පුරුෂභාවය හා වාර්ගික පදනම මත වෙනස් කොට සැළකීමෙන් ආරක්ෂාව සඳහා අනෙකුත් රටවල කම්කරුවන්ට ලබා දී ඇති බොහෝ රැකවරණ ශ්‍රී ලංකාවේ නොමැති බවත්, ඒ හේතුවෙන් නව පනතක අවශ්‍ය බැව් රජය හා ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර ඒජන්සිය පෙන්වා දී තිබේ.‍

කෙසේවුවද, වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ, මෙම නව කම්කරු පනත මගින් වෘත්තීය සමිති ව්‍යාපාරය මගින් සටන් කොට දිනා ගත්, මෙතෙක් කම්කරුවන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් යම් හෝ ආවරණයක් ලබා දුන් නීතිමය රැකවරණ අහෝසි කර දමා ඇති බව ය.

පඩි පාලක සභා සහ පැය අටේ වැඩ දිනය

නව කම්කරු පනත බලාත්මක වීම තුළ විශේෂයෙන් තිස්පන් ලක්ෂයක් පමණ වන පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතභාවයට අදාළ කොන්දේසි ඇතුලත් වන පඩි පාලක සභා පනත, කාර්යාල හා සාප්පු පනත යනාදිය අහෝසි කිරීමට නියමිත ය. බදාදා දිනයේ පැවති උද්ඝෝෂණයට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටින්නේ කෙතරම් සීමාවන් තිබුණ ද නොයෙකුත් කර්මාන්ත හා සේවා වෙනුවෙන් පඩි පාලක සභා 44ක් යටතේ කම්කරුවන්ට යම්කිසි රැකවරණයක් ලබා දී ඇති බව ය. වැටුප් ගණනයේදීත්, පත්වීම් ලබා දීමේ මුලික හා අවම කොන්දේසි නිර්ණය කිරීමේදීත්, වැඩ කරනු ලබන සති හා පැය ගණන තීරණය කිරීමේදීත්, කම්කරුවන්ට හිමිවන නිවාඩු ගණනය කිරීමේදීත්, පෞද්ගලික අංශයට අයත් වෙළඳ නිවාඩු දින ගැසට් කිරීමේදීත්, මෙකී පඩි පාලක සභා සතු වගකීම මහත් වැදගත් බැව් ඔවුහු පෙන්වා දෙති.

යෝජිත නව පනත මගින් පෞද්ගලික අංශ කම්කරුවන්ට පෝය නිවාඩුව පමණක් හිමි වන අතර අවුරුදු හා නත්තල් නිවාඩු ලබා දෙන්නේ ද නැද්ද යන්න තීරණය හිමිවනු ඇත්තේ හාම්පුතුන්ට ය.

මීට අමතරව කාර්මික ආරවුල් පනත, සේවය අවසන් කිරීමේ පනත, ආදී කම්කරුවන්ට වැදගත් වන්නා වූ පනත් ද යෝජිත නව පනත මගින් බල රහිත කිරීමට නියමිත අතර කාර්මික ආරවුල් නිරාකරණයේදී කම්කරුවන්ට අගතියක් නොවන සේ පියවර ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට හිමිව තිබු නීතිමය ප්‍රතිපාදනයන් ද මේ මගින් අහෝසි වේ.

කිසියම් අයෙක් රැකියාවක් බාර ගැනීමේදී හාම්පුතා සමඟ ඇති කරගන්නා වූ එකඟත්වය ඔහුගේ හෝ ඇයගේ රැකියාවේ කොන්දේසි තීරණය කෙරෙන අතර අනොන්‍ය එකඟත්වය මත සිදු කෙරෙන්නක් බැවින් එය නීතිමය වශයෙන් වලංගු විය යුතු බව මේ මගින් මුලිකව පෙන්වා දී තිබේ. වසරක කාලයකට අදාළව බලපැවැත්වෙන මෙකී කොන්දේසි පසුව අවශ්‍ය අයුරින් සංශෝධනය කළ හැකි ය. එහෙත් වෘත්තීය සමිති පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකාව වැනි රටක පවතින රැකියා වියුක්තිය යටතේ ඕනෑම වැඩ කොන්දේසියකට යටත්ව රැකියාවක් ලබා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙන බව ය.

ජාත්‍යන්තරව සම්මතය වූ පැය අටේ වැඩ දිනය ද මෙම නව පනත මගින් අහෝසි කිරීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. දැනට කිසියම් කම්කරුවෙකු පැය අට ඉක්මවා වැඩ කරන්නේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා අතිකාල දීමනා හිමි වේ. එහෙත් නව පනත් බලාත්මක වූ පසු කිසිදු අතිකාල දීමනාවක් නොමැතිව “ලිහිල් වැඩ පැය” නම් ප්‍රතිපාදනයක් මගින් පැය 12ක සේවා මුරයක් දක්වා වැඩ දිනය දිගු කර ඇති අතර සතියකට වැඩ කරන පැය ගණන පැය 45කට නොවැඩි විය යුතු බවද නව පනතේ සඳහන් ය.

'වැඩි නිවාඩු තුනකින් හානිය සඟවලා'

පැය දෙක බැගින් වැඩ කිරීමේ අර්ධ කාලීන රැකියා හා “මෑන් පවර්” වැනි කොන්ත්‍රාත් ක්‍රමයට කම්කරුවන් සපයන ඒජන්සිකරුවන්ගේ කාර්යය ද නව පනත මගින් නීතිගත කර ඇති අතර “මෑන් පවර්” කම්කරුවන්ගේ සේවා කාලය තුළ ඔවුන් පිළිබඳ වගකීමෙන් හාම්පුතුන් සපුරා නිදහස් කර තිබේ.

වැඩ කරන කම්කරුවන්ට පාරිතෝෂික දීමනා ලබා දී මේදී මෙතෙක් බල පැවැත්වූ, සේවා කාලයේ සීමාවක් නොමැති වූ අතර සේවය කළ යුතු උපරිම කම්කරු සංඛ්‍යාව 15කි. එහෙත් නව පනත හරහා උපරිම කම්කරු සංඛ්‍යාව 50ක් හෝ ඊට වැඩි විය යුතු අතර සේවා කාලය උපරිම වසර 20කට ගණන් බලා පාරිතෝෂික ලබා දීමට නිර්දේශිත ය.

නව පනත විසින් යෝජිත බරපතල සංශෝධනයන්ට කම්කරුවන්ගෙන් එල්ල විය හැකි විරෝධය යම් පමණකට හෝ සමනය කරනු පිණිස දින තුනක සාමන්‍ය නිවාඩු දින තුනකින් ද, අසනීප නිවාඩු දින පහකින් ද වැඩිකර දින 84ක මාතෘ නිවාඩුවක් යෝජනා කර ඇති බවත්, එවැනි සංශෝධන ඉස්මතු කර පෙන්වීම මගින් වඩා විශාල හානිකර කොන්දේසි සැඟවීමට රජය උත්සාහ කරන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.☐

© JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.