JDS Sinhala

දාවිත් සහ ගොලායත්: නාවුක හමුදා ඉඩම් කොල්ලයට එරෙහි ඉරණතීවු සංග්‍රාමය

න්නාරමට ඔබ්බෙන් මුහුදේ නාච්ච්කුඩා වෙරළට කිලෝමීටර් 22 ක් දුරින් කුඩා දුපත් දෙකක් එක්ව සැදුනු ඉරණතීව් ශතවර්ෂ හතරක පමණ කලක සිට ජනාවාස වූ දූපතකි. 'එන්ක්හවුෂන්' (Enkhuizen) නමින් ඉරණතීව් උතුරු දූව ද 'හෝර්න්' (Hoorn) නමින් ඉරණතීව් දකුණු දූව ද හදුන්වන ලද්දේ ලන්දේසි පාලකයන් විසිනි. වර්ග කිලෝමීටර් 6 ක් පුරා විහිදුනු මෙම දුපතේ උතුරු කොටස වර්ග කිලෝමීටර් 4.22 කින් ද දකුණු කොටස වර්ග කිලෝමීටර 1.71 කින්ද යුත් වපසරියකි. සෙම්බල් මාතා කතෝලික  දේවස්ථානය, හැරුනු කොට  සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වූ  රෝමානු කතෝලික දෙමළ පාසල, ග්‍රාමීය රෝහල, මාතෘ සායනය, තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ධීවර සමිති කාර්යාලය, පෙර පාසල් සහ ප්‍රජා ශාලා මේ වන විට ඇත්තේ නටබුන් බවට පත් වෙමිනි. ඉරණතීව් වැසියන්ගේ නිවාස වලින් සියයට අසුවක පමණ සොයා ගත හැක්කේ පාදම පමණි. දූපත වෙනම ග්‍රාම සේවක වසමක් ලෙස ක්‍රියාත්මක වුවද, ප්‍රධාන ගොඩබිම හා ගමනාගමන සේවාවක් සැපයීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කර නොකළ ද මගී බෝට්ටු සේවාවක් පවත් ගෙන යනු ලැබුයේ ඉරණතිව් වැසියන්ගේ දිරියෙනි.

1992 දී යුදගැටුම් උත්සන්න වත්ම දුපත් වැසියෝ සියල්ල අත්හැර ආරක්ෂාව පතා මුලන්ගාවිල් වෙත පැමිණෙන්නට වූහ. ඉරණතිව් ජන ශූන්‍ය විය. කලක් දෙමළ ඊළම්  විමුක්ති කොටි සංවිධානයේ මුහුදු කොටි බලකාය දුපත් අවට ස්ථානගත වුවද  ධීවරයන්ට සිය  කටයුතු කර ගෙන යෑමේ ගැටළුවක් නොවිනි. ගැටළු පැන නගින්නට වුයේ නාවික හමුදාව ඉරණතිව් දූපත අත්පත් කර ගැනීමත් සමග ය.

මුලන්ගාවිල් පැමිණි පවුල් 500 කට අයත් 2,400  ක් දෙනා වෙරල ආසන්නයේ එලිපෙහෙලි කරගනිමින් තාවකාලිකව ලැගුම් ගත් අතර තවත් පිරිස් ඕලයිත්තුඩුවායි සහ තේවන්පින්ඩි (මන්නාරම) තාවකාලික වාසස්ථාන කර ගත්හ. තවත් බොහෝ දෙනෙක් ඉතාමත් දුෂ්කර මුහුදු ගමන් ඔස්සේ තමිල් නාඩුවේ සරණාගත කඳවුරු වෙත ළඟා වූහ.

රාජපක්ෂ ආණ්ඩුවේ ජන සංහාරක යුද ක්‍රියාමාර්ග ඇරඹීමත් සමග බොහෝ තැන්වල තාවකාලිකව ලැගුම් ගෙන සිටි ඉරණතීව්  වැසියන් ද අවතැන් වෙමින්, මුල්ලිවයික්කාල් දක්වාම ගමන් කරන්නට විය. පසුව වව්නියාවේ සුභ සාධක මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන ගිය එළිමහන් සිර කඳවුරු වල සැලකිය යුතු කාලයක් ගෙවා දමා, යළි පදිංචි කිරීමේ නාමයෙන් මුලන්ගාවිල් වෙරලටම යළි ගාල් කෙරිනි. ඒ ඉරණමාතා නගර් නමින් ය. ඉරණතීව් වැසියන් තිස් පස් දෙනකු රජයේ හමුදා ප්‍රහාර වල ගොදුරු බවට පත් වූ  අතර දහයකට වැඩි කාන්තාවන් පිරිසක් වැන්දඹු භාවයට ඇද දමා තිබිනි. මව් රැකවරණයෙන් දිවි ගැටගහ ගන්නා පවුල් සංඛ්‍යාව හැටකට වැඩි ය.

යුද ගැටුම් අවසන් වීමෙන් පසු, ඉරණතිව් වැසියන් අපේක්ෂා කළේ  සිය ගම් බිම් වල යලි පදිංචි වීමට ය. මුලන්ගාවිල්, නාච්චිකුඩා සිට ඉරණතීව් වෙත ධීවර රස්සාවට යෑම බොහෝ වෙහෙසකර මෙන්ම දැරිය යුතු පිරිවැය ද අධික ය. දුපතේ නවාතැන් ගැනීම, ඊට ඇතුල් වීම මෙන්ම ඒ අවට ධීවර රස්සාව කිරීම ද නාවික හමුදාවේ අවසරය හා අධීක්ෂණය යටතේ වීම ඔවුනට මහත් හිසරදයක් විය. 2013 වසරේ සිටම දෙමළ ජාතික සන්ධාන නායකයන් හා ප්‍රදේශයේ තමිල් අරසු කච්චි නියෝජනය කරන මන්ත්‍රීවරුන් හරහා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සිය දුපත නාවික හමුදාවෙන් නිදහස් කර දෙන මෙන් ය. එහෙත්, නාවික හමුදාව මෙන්ම රාජපක්ෂ ආණ්ඩුව ද ඔවුන්ගේ ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමට තරම් අකාරුණික විය.

ජවිපෙන් ජාතික ආරක්ෂාවට මුල්තැන

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව, සිය ගම් බිම් බලා යාමට හැකි වෙතැයි ඉරණතීව් වැසියෝ අපේක්ෂා සහගත වුහ. 2016 ඔක්තෝම්බර් 21 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සිය පක්ෂ සගයන්, ප්‍රදේශයේ රාජ්‍ය හා නාවික හමුදා නිලධාරින් කැටුව ඉරණතීව් වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ මේ අතර ය. දින කිහිපයකින් අනතුරුව ගලප්පත්ති මන්ත්‍රීවරයා ඉරණතීව් වැසියන්ගේ ගැටලුව ගැන 2016 නොවැම්බර් 30 වැනිදා සභාව කල් තබන අවස්ථාවේ පාර්ලිමේන්තුව හමුවේ යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහුගේ නිරීක්ෂණ හා යෝජනා ගෙනහැර දැක්වුවේය. ඉරණතීව් දුපතේ බලහත්කාරයෙන් තව දුරටත් වාඩිලා සිටි නාවික හමුදාව ඉන් ඉවත් කිරීම පිළිබඳ කිසිවක් සඳහන් නොකළ ගලප්පත්ති මන්ත්‍රීවරයා අපූර්ව යෝජනාවක් කළේය.


“ඒ අය ඈතින් පදිංචි කළාට පස්සේ නාවික හමුදාවට නිරීක්ෂණයට යන්න තියෙන තත්ත්වයටත් අර්බුද මතු වෙනවා. ඒ නිසා නාවික හමුදා කඳවුර ලඟින්ම තාවකාලිකව පදිංචි කර ගත්තා නම්, ඒ අය කරන්නේ මොනවා ද කියලා සොයා බලන්නත් පුළුවන්. එතකොට කිසිම ගැටළුවක් නැහැ. ජාතික ආරක්ෂාව මුල් තැන තියලා, අපි මේ සම්බන්ධයෙන් නාවික හමුදාපති තුමා දැනුවත් කරලා 2016/11/19 වැනි දින ලිපියක් යැව්වා.” 

නාවික හමුදාව ද ස්ථිර ගොඩනැගිලි ඉදිකරමින් ඉරණතීව් දූපත තුල සිය බලය තහවුරු කරන්නට විය. දුපතේ පාලන කටයුතු කෙරුණේ ඊට නාවික සැතපුම් හයක එපිටින් පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුවනෙක මධස්ථානය මගිනි. ඉරණතීව් පිහිටි උපාය මාර්ගික වැදගත්කම හේතුවෙන් නාවික හමුදාව දුපත අත් හරින්නට කිසි සේත්ම අපේක්ෂා නොකළේය. ඔවුහු තව දුරටත් එහි  ස්ථාවර වන්නට වූහ. එවකට උතුරු මැද නාවික අඥාපති  රියර් අද්මිරාල් රොහාන් අමරසිංහගේ මැදිහත් වීමෙන් රේඩාර් මධ්‍යස්ථානයක් ද මෙහි ස්ථාපිත කෙරිණි. එය ජන ජීවිතයට අහිතකර බව ආණ්ඩුවම පසුව පිළිගත්තේය.

ඉරණතීව් වැසියෝ ද සිය අයිතීන් ඉල්ලා ගෙන යමින් සිටි අරගලය අත් නොහළහ. ඔව්හු තම ගැටලුව විසඳීමට ආණ්ඩුවට බල කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමසාරිස්, යුරෝපා කොමිසම සහ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත ද අභියාචනා ඉදිරිපත් කරන්නට වූහ. යුරෝපා සංගමය විසින් මේ ගැන පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ ද ඉරණතීව් වැසියන්ට අදාළව නම් කිසිදු සාධනීය ක්‍රියාමාර්ගයක් නොවිනි. යළිත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණි. 2017 පෙබරවාරි 8 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පැනයක් යොමු කරමින් තමිල් අරසු කච්චි මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඉරණතීව් වැසියන්ගේ ගැටලුව මතු කළේය.

'නාවික හමුදාවට දූපත අවශ්‍යයි'

ඊට ප්‍රතිචාර දැක් වූ අගමැති වික්‍රමසිංහගේ පිළිතුර මෙසේය.

“එදා පැවති යුද්ධය නිසා ඉරණතීව් දුපත අත්හැර ගොස් තිබුනා. දැනට සියලු දෙනාටම ඉරණමාතා නගර්, නාච්චිකුඩා, අම්බපාපුරම්, ගම්මාන වල විකල්ප ඉඩම් ලබා දී තිබෙනවා. මේ ප්‍රදේශය අත්පත් කරගත්තේ එදා LTTE ය නීති විරෝධීව ගෙන එන අවි ආයුධ පාලනය කරන්නයි. දැනට මේ ප්‍රදේශය නාවික හමුදාවට මූලෝපායික වැදගත්කම් දෙකක් තියෙනවා. නීති විරෝධීව දකුණු ඉන්දියාවෙන් එන ධීවරයන් පාලනය කරන්න හා මුහුදේ සිදුවෙන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කරන්නත් මේ දුපත උවමනායි. නාවික හමුදාව එහි රේඩාර් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනවා. ඒ නිසා මේ දුපත මේ මට්ටමින් තබා ගැනීමට උවමනා කියලයි දැනට නාවික හමුදාව වාර්තා කරලා තියෙන්නේ. එහෙත් ධීවර ජනතාවට හා අනෙකුත් සිවිල් වැසියන්ට ධීවර කරමාන්තය කිසිදු බාධාවකින් තොරව කරගෙන යන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තා නාවික හමුදාවෙන් සලසා දී තිබෙනවා. ඉරණතීව් දුපත ආශ්‍රිතව මසුන් ඇල්ලීම කරන ධිවරයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, තම දැල් වේලා ගැනීමටත් අවශ්‍ය තාවකාලික නිවාස ලබා දී ධීවර කර්මාන්තයට අවශ්‍ය  පහසුකම් සලසා දී තිබෙනවා. මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදෙන්න පුළුවන්. එහි දැනට ප්‍රශ්නයක්  නැහැ. ධීවර කර්මාන්තය ගැන ප්‍රශ්නයක් නැහැ. අක්කර 10 ක පොල් ඉඩම් තියෙනවා. හිමිකරුවන්ට තාවකාලිකව රැඳී සිට අවශ්‍ය දේවල් කළ හැකියි. ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථානයක් වන "සෙම්බල් මාතා” දේවස්ථානය මේ දුපතේ පිහිටා තිබෙනවා. එහි දේව මෙහෙය සිදු කිරීමට කිසිදු තහංචියක් දමා නැහැ. සියලු පහසුකම් දේවස්ථානයේ පියතුමන්ලාගේ උපදෙස් පරිදි නාවික හමුදාව මගින් සිදුකරනවා.”  

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී මෙසේ කීවද ඉරණතීව් යථාර්ථය ඊට හාත්පසින් වෙනස් ය. 2016 අප්‍රේල් වන තෙක් ධීවර කර්මාන්තයේ යෙදෙන්නට දුපතේ දකුණු කොටස ආසන්නයේ ඉඩ සලසා තිබුනේ ද නාවික හමුදා සෙබළුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ය. පසුව එයද නාවික හමුදාවේ තහනමට ලක්විය. ඉරණතිව් වැසියන් පවසන පරිදි මාර්තු මාසයේ පළමු සිකුරාදා දිනයේ දී පමණක් දේව මෙහෙය පැවැත් වේ. එයද නාවික හමුදාවේ මැදිහත් වීම හා අධීක්ෂණය යටතේ ය. එම දවස්වල පවා සවස 4 න් පසු කිසිවකුටත්  දූපතේ රැඳී සිටිය නොහැක. කිසිවකු හෝ එසේ රැඳී සිටියහොත් නාවික හමුදාව මගින් ඔහු හෝ ඇය අත් අඩංගුවට ගනු ලැබේ.


රේඩාර් අවදානම

අවසානයේ ඉරණතිව් වැසියෝ  සිය දුපත ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයකට අවතීර්ණ වන්නට තීරණය කළහ. 2017 මැයි පළමු වැනිදා ලෝක කම්කරු දිනයේදී ඇරඹි උද්ඝෝෂණය තවමත් අඛණ්ඩව පැවැත් වේ. ඉරණතීව් වැසියන් පවසන්නේ තමන්ගේ දුපත ලබා දෙන තෙක් උද්ඝෝෂණය කරන බව ය. නාවික හමුදාව ඉරණතීව් දුපතෙන් ඉවත් කර එය නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කළ උද්ඝෝෂණයක්  2017 ජුනි 24 වැනිදා මන්නාරම - පුනරින් A 32 මාර්ගය අවහිර කරමින් පැවැත්විණි. ඉන්පසු 2017 අගෝස්තු 10 වැනිදා  ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ සහයෝගයෙන් කොළඹ කොටුවට පැමිණි ඉරණතීව් වැසියෝ  උද්ඝෝෂණයක නිරත වූහ. පසුව ඉල්ලීම් නවයක් රැගත් සන්දේශයක්, පා ගමනින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දුනි. ඒ වන විට ඉරණතීව් වැසියන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයට දින 101ක් ගත වී හමාර ය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ද ජනාධිපති, අගමැති ඇතුළු යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ  පවුල් 600 ක් වන පාරම්පරික ඉරණතීව් වැසියන් වෙනුවෙන් ඉරණතිව් දුපත නිදහස් කරන ලෙස ය.

“ප්‍රදේශයේ සිටින ජනතාව එතැනට ගෙනාවොත්, ඒ රේඩාර් සිස්ටම් එකෙන් එන ධාරා ඒ අයට බලපාන්න පුළුවන්. එකෙන් ජනතාවට අවදානමක් කියා තමයි නාවික හමුදාපති තුමාත් පැහැදිලිව කියන්නේ.” නියෝජ්‍ය ආරක්ෂක ඇමැති රුවන් විජේවර්ධන  මෙවන් විහිලු සහගත ප්‍රකාශයක් කියා සිටියේ,  යළිත් මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරුනු මොහොතක ය. ඒ ඉරණතීව් වැසියන් සිය උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර දින පහක් ගත වීමෙන් අනතුරුව ය. පසුව ඒ පිළිබඳ නැවතත් සාකච්ජාවක් 2017 අගෝස්තු 31 වැනිදා නියෝජ්‍ය ඇමැති විජේවර්ධන, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, නැවත පදිංචි කිරීමේ ඇමැති ස්වාමිනාදන් හා නාවික හමුදාපති ඇතුළු සෙසු නිලයන් අතර පැවැත්විනි. එහි දී ද නාවික හමුදාව දැඩිව කියා සිටියේ ඉරණතීව් දුපත කිසිසේත්ම අත් හළ නොහැකි බව ය. රේඩාර් පද්ධතිය පිහිටා ඇති බැවින් ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් විය යුතු බවත්, යම් හෙයකින් තමන් දුපත අත් හළහොත් එය අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මධ්‍යස්ථානයක් වනවාට සැකයක් නොමැති බව නාවික හමුදාව මෙහිදී කරුණු දැක්විය. ඊට අමතරව ධීවරයන් වෙනුවෙන් ඉරණතිව් ධීවර ජැටිය ද නිදහස් කිරීමට ඔව්හු එකඟ නොවූහ. සාකච්ඡාව අවසානයේ ඇමැතිවරුන් ඇතුළු පිරිස හෙලිකොප්ටර් මගින් ඉරණතීව් නිරීක්ෂණය කරද්දී මුලන්ගාවිල් වෙරළේ ඉරණමාතා නගර හි සිට ඉරණතීව් වැසියෝ සිය උද්ඝෝෂණය ඉදිරියට ගෙනයමින් සිටියහ.

නාවික හමුදා කොල්ලය

දිනෙන් දින ඉරණතිව් හි තහවුරු වෙමින් සිටින නාවික හමුදාව වැසියන් සතුව තුබූ දේ කොල්ල කන්නට විය. යුද්ධයෙන් විනාස නොවූ සියලුම නිවාසවල නාවුක සෙබළු වාඩිලා සිටිති. දුපතේ පොල් සහ අනෙකුත් භෝග ඵලදාව නාවික හමුදාවේ බුක්තියට කැපව තිබේ. ඉරණතීව් වැසියන්  පවසන පරිදි දැනටමත් ඉතිරිව සිටින 1500 ක් පමණ වන ගව සම්පත නාවික භටයන්ගේ මස් පිණිස වන අතර ඇතැම් විට ඒවා පිටස්තර පුද්ගලයන්ට මුදලට ද විකිණෙයි. ඉරණතීව් වැසියන්ට ධීවර කටයුතු සඳහා අවසර නොමැති වුවද, වෙනත් ප්‍රදේශවල ධීවරයන්ට නාවික හමුදා අවසරය ලැබෙනුයේ මාළු අස්වැන්නෙන් කොටසක් නාවික හමුදාව වෙත ලබා දීමේ කොන්දේසියට යටත්ව ය. සෙසු ජලජ සම්පත් ද ගොදුරුව ඇත්තේ මෙවැනි ම තත්ත්වයකට බව සිය ආදායම් මාර්ග අහිමිව නාච්චිකුඩා හා මුලන්ගාවිල් වෙරළේ සිට සුසුම්ලන ඉරණතීව් වැසියෝ පවසති.

සශ්‍රීක දිවයිනක් වූ ඉරණතීව් මුහුදේ හා ගොඩබිමේ පරිසරයට සහ සොබා දහමට අනුව රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම නොකළ යුතු ක්‍රියාවක් බවත් එසේ කිරීම මගින් ආණ්ඩුවත් නාවික හමුදාවත් ඉරණතීව් ජනයාගේ ජිවිතයට බලපෑම් කරමින්  හා සාම්ප්‍රදායික ජන උරුමයන් විනාශ කරමින් සිටින බවත්  ඉරණතීව් ශාන්ත මරියා ධීවර සමූපකාර සමිතිය බලධාරීන්ට දන්වා ඇත.

“රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක වීමේදී  මිනිසාට පමණක් නොව මුහුදු ජීවීන්ට, ජලජ ශාක වලට, සාගර සම්පත් වලට විශාල හානියක් කරනු නියත ය. අනාදිමත් කලක පටන්  මිනිස් වාසයක්වූ ඉරණතීව් හි මෙවැනි රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම මගින් පෙනී යන්නේ නාවික හමුදාව මෙන්ම ආණ්ඩුව ද  පරිසරය, සොබා දහම හා මනුෂත්වය කෙරෙහිවත් සංවේදී නොවන බවයැ”යි ඔවුහු කයති.

ශාන්ත මරියා ධීවර සමූපකාර සමිතිය ආණ්ඩුවට හා නාවික හමුදාවට යෝජනා කරනුයේ  රේඩාර් පද්ධතිය සමඟ නාවික හමුදා බල ඇණි හකුලා ගෙන ඒ අසල මුහුදේ ඇති ජනාවාස නොවූ  දුපතක් කෙරෙහි ගෙනයන ලෙස ය. පාලෛතීව්, කට්කාඩතීව්, ඉරුමෛතීව්, කච්චතීව් හා කාක්කයිතීව් වැනි ජන ශුන්‍ය කුඩා දුපත් ඔවුන් විසින් නම් කර ඇත.

"අනාදිමත් කාලයක සිට අපගේ සංස්කෘතික උරුමයන්ගෙන් පිරි මේ අම්මෛතීව්, කුරුදීපම් නැතහොත් ඉරණතීව් මාතාව අපට කිසිසේත් අත්හැර දැමිය නොහැක. ඉරණතීව් මාතාව නිදහස් කරනු! ”

ඒ ඔවුන්ගේ ඒකායන ඉල්ලීම ය.☐

අතුල විතානගේ


© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.