JDS Sinhala

උතුරු - නැගෙනහිර ඉඩම් මුදාහැරීම හමුදා අභිමතයට

රක්ෂක අංශ විසින් අත්පත් කරගෙන සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත මුදා හරිමින් සිටින්නේ යැයි ආණ්ඩුව පැවසුව ද, අදාළ ඉඩම් මුදාහැරීම හෝ මුදාහරින ලද ඉඩම්වල ජනාතාවට ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දෙන්නේ ද යන්න පිළිබඳව හෝ තීන්දු ගැනීමේ බලය ඇත්තේ එම පළාත්වල ආරක්ෂක අංශ ප්‍රධානීන් සතුව යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල විශාල ඉඩම් ප්‍රමාණයක් ආරක්‍ෂක හුදාවන් විසින් වාඩි ලා සිටීම පිළිබඳ අදහස් පළ කරමින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් හර්මන් කුමාර කියා සිටින්නේ ආණ්ඩුව සහ ආරක්ෂක හමුදාවන් එකතුව ජනතා‍වගේ පාරම්පරික ඉඩකඩම් පළමුව ජාතික ආරක්ෂාවට මුවාවෙමින් අත්පත් කරගත් බවත්, දෙවනුව එම ඉඩම් සංචාරක ව්‍යාපාරයන්ට සුදුසු නමුත් ජනාවාසයන්ට නුසුදුසු ඒවා බවට පවසමින් නැවත අත්පත්කර ගනිමින් සිටින බවත් ය.

බොරු පොරොන්දු

''ඉඩම් නැවත ලබාදීම සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව වගේම මේ ආණ්ඩුව කියන්නෙත් බොරු. ජාත්‍යන්තරයට කියනවා අපි මේ තරම් ඉඩම් ප්‍රමාණයක් මුල් හිමිකරුවන්ට මුදාහැර අවසන් කියලා. නමුත් ඉඩමේ හිමිකරුවන් ඉඩමේ පදිංචියට හරි වෙනත් කටයුත්තකට හරි ගියාම ප්‍රාදේශීය පරිපාලන බලධාරින් හරි ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානින් හරි කියන්නේ තවම ඉඩම් මුදාහැරලා නෑ කියලායි. අනෙක  ඉඩම් මුදාහරිනවාය කියලා ආණ්ඩුව කිවුවට ඇත්තටම ආණ්ඩුව එහෙම කරන්න පැකිළෙන්නේ දකුණේ සිංහල ජනතාව සතුටු කරන්නයි, හමුදාව තරහා නොකරගෙන ඉන්නයි විතරයි'' ඔහු ජේඩීඑස් හා කියා සිටියේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ පාරම්පරික ඉඩම් අක්කර දහස් ගණනක් තවමත් අත්පත්කරගෙන සිටින්නේ  හමුදාව විසින්  බවත්, ඇතැම් ඉඩම් අත්පත් කරගෙන දශක දෙකකට වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇති බවත් පවසන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම්වරයා යාපනය වළිකාමම් ප්‍රදේශයේ ධීවර පවුල් සිය ගණනක් 1990 සිට සිටින්නේ අවතැන් කඳවුරුවල  බව ද ප්‍රකාශ කළේය.

'ජාතික ආරක්ෂාව' වෙනුවෙන් ඉඩම් කොල්ලය

නැගෙනහිර, සාම්පුර් ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයද ඒ හා සමාන බව පවසන හෙතෙම, සාම්පූර් බලාගාරය අවට සියළු පවුල් සිය ඉඩම්වලින් ඉවත් විය යුතු බවට හමුදාව නියෝග කර ඇති බව ද පෙන්වා දෙන ඔහු වැඩි දරුටත් කියා සිටියේ සංචාරක ව්‍යාපාරයට උතුරු නැගෙනහිර ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම ඒ ඒ ප්‍රදේශවල හමුදා කඳවුරු විසිනුත්, පළාත් දේශපාලන බලධාරින් විසිනුත් සිදුකරනු ලබන බව ය.

''මේ ඉඩම් අල්ලගන්න මුලින්ම පාවිච්චි කරන සටන් පාඨය තමයි 'ජාතික ආරක්ෂාව'. දෙවනුව කියනවා මේ ඉඩම් සුදුසු සමාන්‍ය ජනාවාසවලට නෙමෙයි සංචාරක ව්‍යාපාරවලට කියලා. උදාහරණයක් වශයෙන් බලන්න, සිංහල ජනතාව ජීවත්වන පානම ඉඩම්වලට මොකද්ද වුණේ? ඒ ඉඩම් ජනතාවට මුදාහරින්න කියලා අධිකරණ නියෝගයක් තියෙද්දිත් මුදා හරින්නේ නෑ. 2015 පෙබරවාරි 11 වැනිදා කැබිනට් මණ්ඩලය තීන්දු කළා ඉඩම් නිදහස් කරන්න - ඒක වුණෙත් නෑ. අපි ඒ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුවාම ලාහුගල ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. ලියනාරච්චි කියනවා නඩුව ඉල්ලා අස්කර ගන්නකම් කිසිම දෙයක් කරන්නේ නෑ කියලා. අපිට දැනට තියෙන ආරංචි විදිහට පානම ඉඩම් ටික සංචාරක ව්‍යාපාරයට ගන්න යන්නේ දයා ගමගේ ඇමතිවරයායි. මේක හැම තැනකටම පොදු දෙයක්. පළාත් දේශපාලනඥයෝ සහ හමුදාව තමයි හැමදේම තීන්දු කරන්නේ''.

උතුරු නැගෙනහිර ජනතාවට තම ඉඩම් අහිමි වීම පමණක් නොව, ධීවර කටයුතු කර ගැනීමට පවා කිසිදු අවසරයක්, නිදහසක් නැති බව පවසන ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ලේකම්වරයා ඒ තත්ත්වය ඇතිවීමට ආරක්ෂක හමුදාවන් මෙන්ම දකුණේ ඇතැම් සිංහල ධීවරයන්ද වගකිව යුතු බවට චෝදනා කර සිටියි.

ධීවර අක්‍රමණය

''සාම්පූර් සන්තෝෂපුරම්වල මුල් පදිංචිකාර ධීවර ජනතාවගේ අක්කර 500 ක් මේ වන විටත් හමුදාව පවරගෙන අවසන්. එතැන නාවික පුහුණු කඳවුරක් දාන්න යනවා කියලයි හමුදාව කියන්නේ. අද මේ ධීවරයන්ට තමන්ගේ වෘත්තිය කරගන්න කිසිම අවසරයක් නෑ. යාපනයේ, මයිලඩි ඉතාම දියුණු ධීවර වරායක් තියනවා. නමුත් ධීවරයන්ට එහි ධීවර කටයුතු කරන්න කිසිම අවසරයක් නෑ. ඒ අතරවාරයේ, දකුණේ සමහර සිංහල ධීවරයෝ උතුරු නැගෙනහිර මුහුදු තීරය ආක්‍රමණය කරනවා. එහෙම කරන්නේ සංක්‍රමණික ධීවරයෝ පමණක් නෙමෙයි. ඉතාම සංවිධානාත්මකව, හමුදාවේ ආරක්ෂාව සහ රැකවරණය ඇතුව මසුන් අල්ලන්න දකුණෙන් යන ධීවරයොත් ඉන්නවා. උතුරු නැගෙනහිර ධීවරයන්ට තහනම් බොහෝ දේ දකුණේ ධීවරයන්ට තහනම් නෑ. මුහුදු කූඩැල්ලන් අල්ලන්න උතුරේ ධීවරයෝ මුහුදේ කිහිප වරක් කිමිදෙනවා. නමුත් දකුණෙන් යන සිංහල ධීවරයෝ ගෑස් සිලින්ඩර අරන් ගිහින් එක වරම විශාල ප්‍රමාණයක් අල්ලනවා. ඒ විදියට ගෑස් සිලින්ඩර භාවිතා කිරීම උතුරු නැගෙනහිර ධීවරයන්ට හමුදාවෙන් සම්පුර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. නමුත් හමුදා ආරක්‍ෂාව ලබන දකුණෙන් යන ධීවරයන්ට එවැනි තහනමක් නැහැ''

කෙසේ නමුත් හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින තම ඉඩම් යළි තමන් වෙත මුදා හරිනැයි ඉල්ලමින් එම ඉඩම් හිමිකරුවන් පසුගිය මාස කිහිපය පුරාම අඛණ්ඩ විරෝධතාවන්හි නියැළුණු  අතර එම උද්ඝෝෂණයන්ට විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම එම ප්‍රදේශවල පාසැල් සිසු සිසුවියන් ද එක්ව සිටිනු දක්නට ලැබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.