JDS Sinhala

ග්‍රාමාරක්‍ෂකයන් ඉඩම් අල්ලා ගැනීමට එරෙහිව මුත්තූර්හි විරෝධතා

ජයේ ග්‍රාමාරක්ෂක සේවයේ නිරතවුවන්ගේ පවුල් විසින් මුත්තුර් ප්‍රදේශයේ  දෙමළ ජනයා සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව ගම්වැසියන්ගේ විරෝධය පළ වෙමින් තිබේ.  2009 දී යුද ගැටුම් අවසන් වීමෙන් පසු මුත්තුර් කන්ගුවේලි ග්‍රාමයේ පවුල් 40 කට අයත් කුඹුරු හා ගොඩ ඉඩම් අක්කර 70 මෙසේ  අත්පත් කරගෙන ඇති බව පෙන්වාදෙමින් ප්‍රදේශවාසීහු පසුගිය සිකුරාදා (24) උද්ඝෝෂණයේ නිරත වූහ

නීත්‍යනුකූල ඔප්පු

මුත්තුර් නගරයේ සිට කිලෝ මීටර් 10ක දුරින් ඇති කන්ගුවේලි ගම් සීමාවේ ඇති මුදලෙයිමඩු සහ පඩුකාට්ටුවෙට්ටෛ ප්‍රදේශවල මේ වගා බිම් පිහිටා තිබේ. ඉඩම් අයිතිය තහවුරු කරමින් 1970 සහ 1985 නිකුත් කරන ලද නීත්‍යානුකූල ඔප්පු දෙමළ ජනයා සතුව තිබුණද, ඉඩම් අත්පත් කරගැනීම සිදුව ඇත්තේ ඒ කිසිත් නොතකා හරිමිනි. සිංහල ග්‍රාමාරක්‍ෂකයන්ගේ පවුල් විසින් අත්පත් කරගත් මේ සශ්‍රීක වගා බිම් පිළිබඳව ප්‍රදේශීය ලේකම්, දිසා ලේකම් සහ මැති ඇමති වරුන්ට දැන්වීමෙන් නොනැවතී, ජනාධිපතිවරයාට ද පැමිණිලි කර ඇති මුත් මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දීමට කටයුතු කර නොමැති බව උද්ඝෝෂණයේ යෙදුණු පවුල් පවසති. සාධාරණ විසඳුමක් අපේක්‍ෂාවෙන් කන්දවේලි ගම්වාසීන් මුත්තූර් අධිකරණයේ පිහිට පැතුව ද එමගින් ද සහනයක් නොලැබුණු බැවින් උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

දෙමළ ජනයා බහුතරයක් වෙසෙන සම්ප්‍රදායික දෙමළ ගම්මානයක් වන කන්ගුවේලි ග්‍රාමය, හින්දු සමයාශ්‍රිත ඉතිහාසයේ පූජනීය චරිතයක් ලෙස සැළකෙන අගත්තියර් (අගස්ති) මුනිවරයා  හා සම්බන්ධ ප්‍රදේශයක් ලෙස විශ්වාස කෙරෙයි. ඔහු විසින් ආරම්භ කරන ලදැයි විශ්වාස කරන 'අගත්තියර් තාපනම්' නමින් හැඳින්වෙන ඉපැරණි සිව කෝවිල පිහිටා ඇත්තේ ද මෙහි ය. වාර්ෂිකව ජූලි සහ අගෝස්තු මාසවල හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 'ආදී අමාවාසෛ' පූජෝත්සවය මෙම කෝවිල කේන්ද්‍ර ‍කරගනිමින් පැවැති අතර 2009න් පසු හමුදා අණින් මෙකී පූජෝත්සවය පැවැත්වීම වළකනු ලැබ තිබේ.

විනාශ කළ කෝවිල

කන්ගුවේලි දෙමළ ගම්වාසීන් සහ යාබද නීලපොල සිංහල ගම්මනයේ ගම්වාසීන් අතර  සමීප සබඳතා දීර්ඝ කාලයක් තිස්සේ පැවති නමුත් 2009 වසරේදී නීලපොල හමුදා කඳවුරක් පිහිටුවීමෙන් පසු බැහැරින් එන සිංහල අන්තවාදීන් දිරි ගැන්වීමක් සිදු වූ බවට ගම්වාසීන් ප්‍රකාශ කරයි.

කෝවිලේ පුද පූජාවන්ට පාත්‍ර සිව ලිංගය, 2009 දෙමළ මහා විරු දිනය යෙදුණු නොවැම්බර් 27 වැනිදා විනාශ කරන ලද අතර 2014 මාර්තු මාසයේදී ප්‍රදේශයෙන් බැහැර සිංහලයන් 15 දෙනෙකු පමණ කැටුව පැමිණි බෞද්ධ භික්‍ෂුවක් විසින් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු බලහත්කාරයෙන් නවතා කෝවිල් භූමිය අත්පත් කරගෙන සිටින්නේ ග්‍රාමාරක්ෂක සේවයේ හා රජයේ හමුදාවන්ගේ රැකවරණය ලබමිනි.

මේ වන විට එම පැරණි සිව කෝවිල  සතු ඉතිහාසමය සාක්‍ෂි මකා දමමින්  එය බෞද්ධ විහාරයක් බවට පරිවර්තනය කර ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.