JDS Sinhala

රජයේ හමුදා බුද්ධි අංශයෙන් චුන්ඩිකුලි ධීවරයන්ට ප්‍රහාරයක්

ජයේ හමුදා බුද්ධි අංශ සෙබළුන් විසින් වඩමාරච්චි, චුන්ඩිකුලම් දෙමළ ධීවරයන් වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගිය සති අන්තයේදී එල්ල වූ මේ ප්‍රහාරය ගැන චුන්ඩිකුලම් ධීවරයන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් කිරීමට චුන්ඩිකුලම් පොලිසිය කටයුතු කර නොමැති බව උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ පවසති.

මෙම ප්‍රහාරයට හේතු වී ඇත්තේ දැනට මාස කිහිපයක සිට චුන්ඩිකුලම් මුහුදේ මසුන් මැරීමට  දකුණේ සිට පැමිණෙන සිංහල ධීවරයන් සමග පැවති නිහඬ ආරවුලකි. මත්ස්‍ය සම්පත බහුල චුන්ඩිකුලම් මුහුද පසුගිය දශක ගණනාවක්ම ධීවරයන්ට තහනම් කලාපයක්ව තිබුණි. මුහුදු අධි ආරක්‍ෂක කලාපයක් ලෙස පැවති උතුරේ බොහෝ මුහුදු තීරයන් මෙන් චුන්ඩිකුලම් මුහුදු තීරයද ධීවර කටයුතු වෙනුවෙන් මුදා හැරුණේ මැතකදී ය. ඒ සමගම දකුණේ සිට පැමිණෙන ධීවරයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිව ඇති බව පවසන ප්‍රදේශයේ ධීවර ඒ සම්බන්ධයෙන් දකුණේ සිංහල ධීවරයන් සමග විටින් විට ආරවුල් ඇති වූ බවද පවසයි. කිහිප අවස්ථාවකදීම සිංහල ධීවර පිරිස් රජයේ හමුදා සෙබළුන් හරහා චුන්ඩිකුලම් ධීවරයන් වෙත තර්ජනය කරමින් බියවැද්දීමට කළ බව උතුරේ ධීවර සංගම් නියෝජිතයෝ පවසති.

බියගැන්වීම්

සිද්ධිය පිලිබඳ නිවේදනයක් නිකුත් කරන දෙමළ ඊලාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් පවසන්නේ  හමුදාවේ සහයෝගයෙන් දකුණේ සිට පැමිණෙන සිංහල ධීවරයන් බලහත්කාරයෙන්, දෙමළ ධීවරයන් බියගන්වා  උතුරු මුහුදේ ධීවර කටයුතු වල යෙදෙන බව ය.

දෙමළ ජනයාගේ ගැටලුවලට මෙන්ම උතුරේ ධිවර ප්‍රජාවගේ එදිනෙදා ගැටළු වලට කිසිදු විසදුමක් ලබා දී නොමැති බව පවසන මන්ත්‍රීවරයා ඔවුන් නාවික හමුදාවේ පරීක්ෂාවන්ට දිගින් දිගටම භාජනය වන අතර පනවා ඇති තහංචි වලට ද යටත් විය යුතු යැයි ද පෙන්වා දෙයි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.