JDS Sinhala

ජාතිවාදී කණ්ඩායම් තහනමට පාර්ලිමේන්තුවට නව පනතක්

ශ්‍රී ලංකාව තුළ  ආගම් හා ජාතිවාදය වපුරවන කල්ලි කණ්ඩායම් තහනම් කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ආණ්ඩුව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකට ප්‍රතිඥා දී තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර පැවැත් වූ සාකච්ඡාවක දී මේ පිළිබඳව ප්‍රකාශ කර තිබේ.

මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ වාර්ගික හා ආගමික ගැටුම් පිලිබඳව අවධානය යොමු කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඉකුත් වසරේ අලුත්ගම  ඇතිවූ සිද්ධීන් ගැන නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී  විදේශ අමාත්‍යවරයා අදාළ පනත පිලිබඳ අනාවරණය කර ඇත.

බොදු බලය හා හෙළ උරුමය

මුස්ලිම් විරෝධී වෛරී ව්‍යාපාරයක් මගින් අලුත්ගම හිංසන ක්‍රියා ඇති කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ රාජපක්‍ෂ ආණ්ඩුවේ විවෘත රැකවරණය ලද බොදු බල සේනා සංවිධානයට ය. කලින් පැවති හා වර්තමාන ආණ්ඩුවේද ඇමති තනතුරු උසුළන ජාතික හෙළ උරුමය අලුත්ගම සිදුවීම් සම්බන්ධයෙන් කියා සිටියේ ඊට වගකිව යුත්තේ 'අංකුර ජිහාඩ් කල්ලි' බව ය.

කෙසේ වුවද වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන රවුෆ් හකීම් විසින් අන්තවාදී සිංහල - බෞද්ධ සංවිධාන වලට චෝදනා කරමින් පිටු 50 කින් යුත් ලියැවිල්ලක්  ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය වසරේදී යොමු කරනු ලැබුණි. අදාළ වාර්තාව මගින් චෝදනා එල්ලවූවන් අතර වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වන චම්පික රණවකගේ නම ද සඳහන්ව තිබිණ.

'යුක්තිය ඉටු වූයේ නැහැ'

ගැටුම්වලින් අලුත්ගම ප්‍රදේශයේ  අලාභානි වූ නිවාස, කඩ සාප්පු  ඇතුළු අනෙකුත් දේපළවලින්  සියයට 75 ක් පමණ ප්‍රති සංස්කරණය කර ඇති බව මුස්ලිම් සාම මණ්ඩල නියෝජිතයෙකු JDS වෙත පැවසිය. “ ගැටුම් වලින් පිඩාවට පත් වුනු ජනතාවට යුක්තිය ඉටුවෙලා නැහැ , වන්දි මුදලක් නැහැ . ඒ වගේම ජනතාව අතර ප්‍රතිසංධානය ඇති කරන එක , විශ්වාසය ගොඩනගන දේවල් මුළුමනින්ම අත් හැරලා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින 50 ක් ගත වන්නට පෙර  අල් කයිඩා හා තලේබාන්  ඉස්ලාමීය අන්තවාදී සංවිධාන රට තුළ තහනම් කෙරෙන යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. විදේශ අමාත්‍යංශය මගින් ඉදිරිපත් කරනු ලැබූ අදාළ යෝජනාව මගින් ඉල්ලා සිටියේ  ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වලට ආධාර හා අනුබල දෙන පුද්ගලයින් හා සංවිධාන තහනම් කර ඔවුන් සතු දේපල රාජසන්තක කරමින් නීති සම්පාදනය කළ යුතු බව ය.

මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධය

මේ අතර පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් තිදෙනෙකු විසින් ලංකාවේ සුළුතර ආගමික ප්‍රජාවන්ට එල්ලවන ප්‍රචණ්ඩ ක්‍රියා වළකන ලෙස ඉල්ලා ඒකාබද්ධව නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව 2012 - 2014 කාලය තුළ අන්තවාදී  සිංහල- බෞද්ධ කණ්ඩායම් විසින්  මුස්ලිම් ජනයා ඉලක්ක කොට ප්‍රහාර 350 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, ක්‍රිස්තියානි ජනයාට එරෙහි හිංසන ක්‍රියා 150 කට වැඩි ප්‍රමාණයක් දියත් කර තිබේ.

2014 වර්ෂය ආවරණය වන පරිදි බ්‍රිතාන්‍ය රජය විසින් ඉකුත් මාර්තු 12 වැනිදා නිකුත් කරන ලද මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වාර්තාව මගින් ද, ශ්‍රී ලංකාවේ වෙසෙන ඉස්ලාම් හා ක්‍රිස්තියානි භක්තික ජන කොටස්වලට එරෙහිව හිංසන ක්‍රියා ඉහළ යාම පිළිබඳ වි‍ශේෂ අවධානයක් යොමුකොට තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.