JDS Sinhala

'සංචාරක කර්මාන්තය මානව හිමිකම් උල්ලංඝනයට මඟ පාදනවා' - නව වාර්තාවක් හෙළිකරයි

ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය ක‍්‍රමානුකූල මානව හිමිකම් උල්ලංඝනයන්ට මඟපාදන්නේ කෙසේදැයි පෙන්වා දෙන නව වාර්තාවක් ස්විට්සර්ලන්තය පදනම් කරගත් මානව හිමිකම් ආයතනයක් විසින් එළිදක්වා තිබේ.

අලූතෙන් සංවර්ධනය කැරුණු කුච්චවේලි, පාසිකුඩා සහ කල්පිටිය යන සංචාරක කලාප තුනෙහි පවුල් 1,200කට අධික සංඛ්‍යාවක් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය නිසා බරපතල ලෙස පීඩාවට පත්ව ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

ඉඩම් පැහැරගැනීම

ප‍්‍රදේශයේ ධීවරයන්ට මුහුදු යාමට ඇති ඉඩකඩ නිරන්තරයෙන් අවහිර කරමින් මෙම ප‍්‍රදේශවල ඉදිකැරී ඇති සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන නිසා ඔවුන්ගේ ජීවන මාර්ග ඇහිරී ඇති බවත්, එසේම ප‍්‍රදේශවාසීන්ගේ ඉඩම් භුක්තිය පැහැරගැනීමේ අවස්ථා ඇති බවත් එහි සඳහන් ය. සංචාරක ව්‍යාපෘති සැළසුම් පිළිබඳව ප‍්‍රදේශයේ ජනතාව ප‍්‍රමාණවත් පරිදි දැනුවත් කිරීමක් සිදුවී නැති හෙයින්, අදාළ ප‍්‍රදේශවල ජනතාව අතරින් ඉතා සුළු කොටසක් පමණක් සංචාරක කර්මාන්තයෙන් ප‍්‍රතිලාභ ලැබීමට සමත්වන බව වාර්තාව පවසයි.

එබැවින් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ සංචාරක කර්මාන්ත මෙහෙයවන්නන් නැවත සලකා බැලිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සිය වගකීම ගැන දැනුවත් වියයුතු බවත් වාර්තාව පෙන්වා දෙයි.

ස්විට්සර්ලන්තයේ තර්ජිත ජනතාවන් සඳහා වූ සංගමය (The Society for Threatened Peoples Switzerland - STP) නම් ආයතනය මඟින් එළිදක්වා ඇති මෙම වාර්තාව ‘හිරු දිලෙන පාරාදීසය මත අඳුරු වළා - ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා මානව හිමිකම්’ ලෙස නම්කර තිබේ.

අන්ධකාර පැතිමානයන්

‘‘ශ‍්‍රී ලංකාව යනු හුදෙක් හිරු එළිය සොයා යන්නන්ට කදිම සංචාරක ගමනාන්තයක් පමණක් නොවේ. එය වගවීමකට යටත් නොවුණු අපරාධ සහිත 26 වසරක සිවිල් යුද්ධයක්ද, තැතිගන්වන සුළු මානව හිමිකම් වාර්තාවක්ද ඇතුළත් බොහෝ අන්ධකාර පැතිමානයන් සහිත රටකි. වාර්ගික හා ආගමික සුළුතරයන් පීඩනයට පත්කිරීම යුද අවසානයෙන් ඔබ්බටද සිදුවෙමින් පවතී’’ වාර්තාව පවසයි.

සිවිල් යුද්ධයෙන් පසුව රටේ ආර්ථිකය වර්ධනය කිරීමේ ප‍්‍රධාන ක්‍ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය දුටු පසුගිය ආණ්ඩුව එහි ප‍්‍රතිලාභ ජනතාව අතරට යා යුතුයයි කියා සිටි අතර, නව සංචාරක පහසුකම් ඇතිකිරීමේ දී බලපවත්නා නීතිරීති හා ප‍්‍රමිතීන් ගණනාවක් හඳුන්වා දෙන ලදී. එහෙත් යථාර්ථයේ දී මෙම ප‍්‍රමිතීන් ආණ්ඩුව, ආයෝජකයන් හෝ හමුදාව විසින් සැඵකිල්ලට ගනුලැබ ඇත්තේ කලාතුරකින් බව වාර්තාව කියයි. ව්‍යවස්ථාපිත මානව හිමිකම්වලටද අත්වී ඇත්තේ ඒ ඉරණමම බවත් එහි සඳහන් ය.

ආරක්ෂක වියදම සංචාරක ප‍්‍රවර්ධනයට

‘‘2015 වසරේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම යුරෝ බිලියන 1.9ක් බව කියැවෙන අතර, එය අපේක්ෂිත දළ ජාතික නිශ්පාදිතයෙන් 16.6%කි. පාබල, නාවික හා ගුවන් හමුදා ඔස්සේ රට පුරා සංචාරක හෝටල් විවෘත කරමින්ද, සංචාරක කි‍්‍රයාකාරකම් ඉදිරිපත් කරමින්ද හමුදාව ආරක්ෂාවට වෙන්වූ මෙම මුදල් වැඩි වශයෙන් සංචාරක කර්මාන්තයෙහි යොදවමින් සිටී. හමුදාව විසින් සංචාරක සේවා සැපයීම ගැටලූ සහගත වන්නේ ඉන් අදාළ ප‍්‍රදේශවල ජනයාට වැදගත් ආදායම් මූලාශ‍්‍රයක් ඇහිරීමෙන් පමණක් නොවේ. සංචාරක සේවාවන්හි යෙදී සිටින හමුදා අංශ සාමාජිකයින් සිය වේතන ලබන්නේ ඍජුවම ආරක්ෂක අමාත්‍යාංශයෙනි. සැබෑවටම නම් හමුදා අංශ සංචාරක කර්මාන්තයෙන් වාසිදායක අමතර ආදායමක් උපයන අතර එබැවින් අනෙකුත් පෞද්ගලික අංශයට වඩා ලාභදායක ලෙස සංචාරක පැකේජ ලබාදීමට ඊට හැකිය. හමුදා සංචාරක සේවයේ සේවකයෝ හමුදා සාමාජිකයන් ලෙස විවෘතව පෙනී සිටින අතර, ඇතැම් විට නිල ඇඳුම් පවා ඇඳ සිටිති. විනිවිද භාවය පිළිබඳ කාරණා හේතුවෙන් හමුදාව සංචාරක කර්මාන්තයෙන් උපයන ලාභ සම්බන්ධයෙන්ද ගැටලූ පැනනැඟී තිබේ,’’ යි වාර්තාව වැඩිදුරටත් පවසයි.

දූෂණ පිටුදැකීම, මානව හිමිකම් සුරැකීම, නීතියේ ආධිපත්‍යය හා ප‍්‍රජාතාන්තී‍්‍රය මූලධර්ම යළි පිහිටුවීම, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු වැදගත් පොරොන්දු, නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ලබාදී ඇති බවත්, ඒ මත පිහිටා ස්ථිර වැඩපිළිවෙලක් දින 100ක් තුළ ස්ථාපිත කිරීමට ප‍්‍රතිඥා දී ඇති බවත් පවසන වාර්තාව වැඩිදුරටත් කියා සිටින්නේ මෙය ධනාත්මක ආරම්භයක් සේ පෙනුණත්, සියලූ පාර්ශවයන් විසින් සිදුකරන ලද යුද අපරාධ සොයාබැලීමට ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සේම, සුළුතරයන්ගේ අයිතිවාසිකම් වර්ධනය කිරීමට සිරිසේනගේ වැඩපිළිවෙලේ ප‍්‍රමුඛත්වයක් දී නොමැති බව ය. ‘‘මේ කාරණා දෙක ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් මුළුමනින් හැලී ඇති අතර එය පුදුමයක් නොවන්නේ ඔහු හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආණ්ඩුවේ වැදගත් අමාත්‍ය තනතුරක් ලබා සිටීම සලකා බැලීමේදී ය. එසේම ඔහු සිවිල් යුද්ධය පැවැති සමයේ වරින් වර ආරක්ෂක ඇමැති ධූරයේද කටයුතු කර තිබේ.’’

දීප්තිමත් ප‍්‍රචාරයන්

මේ නරක මානව හිමිකම් වාර්තාව එසේම තිබියදී, රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති එකක් ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුව හඳුන්වාදෙයි. සාමකාමී හා සමෘද්ධිමත් නිවාඩු ගමනාන්තයක් ලෙස වන මේ ප‍්‍රතිරූපය බටහිර යුරෝපය තුළ ආක‍්‍රමණශීලී ලෙස අලෙවි කැරෙමින් තිබේ. කෙසේ වෙතත් මේ දීප්තිමත් ප‍්‍රචාරයන් පසුපස සැඟව ඇති යථා ස්වභාවය සිය වාර්තාව මගින් පැහැදිළිව පෙන්වා දෙන්නේයයි STP පවසයි.

ගැටලූකාරී මානව හිමිකම් වාර්තාව නොසලකා, නිරීක්‍ෂණයට ලක්වූ කලාපවල හෝටල් පහසුකම් සපයන සංචාරක ඒජන්සි අවම වශයෙන් ජර්මනියේ 49කුත්, ස්විට්සර්ලන්තයේ 21කුත් තිබෙන බව පවසන වාර්තාව, ඇතැම් සංචාරක පහසුකම් සපයන්නන් මානව හිමිකම් සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන්ම සැලකිලිමත් වනබව තමන් දන්නා නමුත් එය ප‍්‍රමාණවත් නොවන බව අවධාරණය කරයි.

එබැවින් සංචාරක පහසුකම් සලසන්නන් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්වල හෝ ධීවර රැකියාවට බාධාකරන පරිදි ගොඩනැගූ, කාන්තාවන්ට හෝ සුළුතරයන්ට වෙනස්කම් කරන හෝ සිය සේවකයන්ට වෘත්තීය සමිතිවලට බැඳෙන්නට ඉඩ නොදෙන හෝටල්වලට සිය ගැනුම්කරුවන් යොමු නොකළ යුතු බවත් වාර්තාව සංචාරක ඒජන්සිවලට නිර්දේශ කර සිටියි. එමෙන්ම අවශේෂ නිර්දේශ අතර අනීතික අත්කරගැනීමක් හෝ වෙනත් මානව හිමිකම් උල්ලංඝනයක් නොමැති බවට සහතික කරගත හැකිනම් මිස හමුදා විසින් පවත්වාගෙන යන හෝටල් හෝ සංචාරක කි‍්‍රයාකාරකම් නොසැපයිය යුතු බවත්, මානව හිමිකම් ප‍්‍රතිපාදන සමස්ත කි‍්‍රයාවලිය තුළම සුරැකෙන්නේද යන්න නිරන්තරයෙන් සොයාබැලිය යුතු බවත්, අගතියට පත්වූවනට පැමිණිලි ගොනුකිරීමට අවස්ථා හඳුන්වා දියයුතු අතර ඔනෑම ආකාරයක හානියක් සඳහා හානිපූර්ණය කළයුතුය බවත් පෙන්වා දී තිබේ.

උපායමාර්ගවල ප‍්‍රතිශෝධනයක්

පවත්නා නීති හා විධි විධානයන් බලාත්මක වන පරිදි හා සුළුතරයන් ඇතුළු සියලූ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාවන පරිදි සිය සංචාරක උපායමාර්ග යළි ප‍්‍රතිශෝධනයකට ලක්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින STP, ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සංචාරක කර්මාන්තය මත රඳාපවතින්නේ වුව, ඒ වෙනුවෙන් මානව හිමිකම් උල්ලංඝනයන්, බලහත්කාරී ඉඩම් අත්පත්කරගැනීම් හෝ බලහත්කාරී පලවාහැරීම් සාධාරණීකරණය කළ නොහැකි බව අවධාරණය කරයි.

පසුගිය වසරේ සංචාරකයන් මිලියන 1.5කට අධික පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ බව වාර්තා වේ. බටහිර යුරෝපයෙන් මෙහි පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව වන 144, 168 බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වූ අතර සංචාකයන් 102, 977 ක් වාර්තා වූ ජර්මනිය දෙවැනි තැනටත් සංචාරකයන් 20, 097ක් වාර්තාවූ ස්විට්සර්ලන්තය පස්වැනි තැනටත් පැමිණියේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.