JDS Sinhala

මැතිවරණයෙන් පසු මන්නාරමේ ධීවරයින්ට යළිත් නාවික හමුදාවෙන් සීමා

සුගිය මැතිවරණ දින කිහිපය තුළ තාවකාලිකව නවතා දමා තිබූ නාවික හමුදා පරීක්‍ෂාවන් යළිත් ආරම්භ කිරීම නිසා මන්නාරමේ ධීවරයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. මන්නාරම ප්‍රධාන පාලම අසල පිහිටුවා ඇති නාවික හමුදා මුර පොලෙන් මෙන්ම අනෙකුත් සෝදිසි ස්ථාන වලදී  මුහුදු යන ධීවරයන් මෙන්ම ආපසු ගොඩ බිමට පැමිණෙන ධීවරයන් ද දැඩි පරීක්‍ෂාවට ලක් කෙරේ.

ධීවර කර්මාන්තයෙහි නියැළෙන්නන් මුහුද යාමට පෙර මෙම නාවික හමුදා මුරපල හි ලියාපදිංචි කිරීම දීර්ඝ කාලයක් තිස්සේ අනිවාර්ය වී තිබේ. මීට අමතරව ආත්තුවායි ප්‍රදේශය හරහා ගමන් කරන ධීවරයන්ට මුහුද මැද දී පවා නාවික හමුදා සෝදිසි කිරීම්වලට ලක්වීමට සිදු වී තිබේ. දශක තුනකට වැඩි කාලයක් මන්නාරම ඇතුළු උතුරු නැගෙනහිර ධීවරයන්ට තම එදිනෙද කටයුතු නිදහසේ කරගෙන යාමට නොලැබුණු බව පෙන්වාදෙන මන්නාරමේ ධීවර සංගම් මිට වසර දෙකකට පෙර 'ධීවර පාස් ක්‍රමය' නිල වශයෙන් අවසන් කළ ද පරීක්‍ෂාවන් අඛණ්ඩව සිදු කෙරෙන බව කියයි.

පොරොන්දු කඩකිරීම්

ජනගහණය 99,528 ක් වන මන්නාරමේ  ඉන් 40% ක් ධීවර කාර්මිකයන් වේ.  නාවික හමුදාවේ මෙවැනි සෝදිසි කිරීම්වලට  මන්නාරමේ සියලුම ධීවර ගම්මානවල සිටින ධීවරයන් දෛනිකව මුහුණ දෙන්නක් බව දෙමළ ඊළම් විමුක්ති සංවිධානයේ (TELO) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් JDS වෙත පැවසීය.

"විශේෂයෙන් උතුරේ ධීවරයන් මුහුණ දෙන මෙවන් ගැටළු ගැන අපි පසුගිය ආණ්ඩුව කාලේ ඉඳලම උද්ඝෝෂණය කරනවා. අළුත් ආරක්ෂක ලේකම්වරයා ධීවරයන්ට එරෙහිව කෙරෙන අවහිර හා හිරිහැර නවත්වන්නට පොරොන්දු දීමෙන් පසුවයි මේ අාකාරයට සෝදිසි කිරීම් වැඩි කරලා තියෙන්නේ," ප්‍රකාශ කළේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.