JDS Sinhala

ගං වතුරින් අනාථ වූ සියයට අසුවක්ම නැගෙනහිරින්

වැඩිම ජනගහනයක් ගංවතුරින් පිඩාවට පත් නැගෙනහිර පළාතේ ජනතාවට රජය නිසි සහන ලබා නොදීම ගැන දෙමළ දේශපාලන පක්ෂ අප්‍රසාදය පල කොට තිබේ.දෙමළ ජාතික සන්ධානයත්, දෙමළ ජාතික ජනතා පෙරමුණත් මාධ්‍ය නිවේදන මගින් උතුරු නැගෙනහිර ගංවතුර අනාථයන් වෙනුවෙන් රජයෙන් ඉල්ලා ඇත්තේ කඩිනමින් සහන සලසන ලෙස ය.

රජයේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දෙසැම්බර් 30 වැනිදා එලි දක්වන ලද සංඛ්‍යා ලේඛණ අනුව ගං වතුරින් මුළු රටේම පිඩාවට පත් වුවන් අතරින් සියයට අසූවකට වැඩි පිරිසක් ජිවත් වන්නේ නැගෙනහිර පළාතේ ය. එයින් අඩකට වැඩි සංඛ්‍යාව මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. මඩකලපුවේ ගංවතුරින් පීඩිත පන් ලක්ෂයකට ආසන්න ජනකායෙන් ආරක්‍ෂිත ස්ථානවල සිටින්නේ 226 දෙනෙකු පමණි. මඩකලපුව දස වසරකට පෙර සුනාමියෙන් මහත් සේ බැට  කෑ දිස්ත්‍රික්කයක් බවද දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනයෙන් සිහිපත් කරයි.

යුද අනාථයන්

එක් ලක්ෂ පනස් දහසකට ආසන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුර පීඩිතයන් අතර මුත්තුර් යුද අනාථ කඳවුරුවාසීන් ද  සිටින බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි. මෙම පිරිස 2006 වසරේ සිට සිය ගම් බිම් අහිමි කරනු ලැබ නැවත පදිංචියට ඉඩ නොලද සාම්පුර් වාසීන් බව එම පක්ෂය සදහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව දෙසැම්බර් 30 වැනිදා රාත්‍රිය වන විට දිවයින පුරා ගං වතුරෙන් ආපදාවට පත් වූ මුළු සංඛ්‍යාව 1,100,000 අධික ය. එයින් නව ලක්ෂයකට වැඩි පිරිසක් අනාථ වී සිටිනුයේ නැගෙනහිර පළාතෙනි. ඒ අතරින් ආරක්‍ෂිත ස්ථාන ලබාදී ඇත්තේ 35,000කට  මදක් වැඩි සංඛ්‍යාවකට පමණි. ඊ ළඟට පීඩාවට පත් වී සිටිනුයේ උතුරේ ජනතාව ය. ගං වතුරින් අනාථ  වූ  උතුරේ 94,000කට වැඩි පිරිස අතරින් දහසය දහසකට මදක් වැඩි සංඛ්‍යාවක් රක්ෂිත ස්ථානවල සිටිති.

කෙසේ වෙතත් ගං වතුරින් පීඩාවට පත් බස්නාහිර පළාතේ 2,160 දෙනා අතරින් 2,035 දෙනෙකු ද, 14,000 ආසන්න පිරිසක් ආපදාවට ලක් වූ ඌව පළාතේ  දස දහසකට කිට්ටු සංඛ්‍යාවක් ද ආරක්‍ෂිත ස්ථානවල සිටින බව ද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි . ඒ අනුව රක්‍ෂිත ස්ථානවල සිටින පුද්ගලයන්ට දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් පිසූ ආහාර ලබා දෙනු ඇත.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.