JDS Sinhala

එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට එරෙහි ‘ලිංගික අපහරණ’ චෝදනා තහවුරු කෙරෙයි

ක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් කාන්තාවන් සහ බාල දරුවන් ‘භාණ්ඩ හුවමාරුවෙන්’ ලිංගික සූරා කෑමට හා අපහරණයට ලක් කොට ඇති බව එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණ අලුත්ම වාර්තාවකින් හෙළි වෙයි.

සඳුදා (15) නිකුත් වීමට නියමිත වාර්තාව සඳහන් කරන පරිදි වැඩිම චෝදනා එල්ලවී ඇත්තේ සාම සාධක කටයුතු වල යොදවා සිටි සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව වන අතර සන්නද්ධ නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්හට සුළු ප්‍රමාණයක් චෝදනා එල්ල වී තිබේ. JDS වෙත ලැබී ඇති පිටපතට අනුව, වාර්තාව සම්පාදනය කළ එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර දෝෂ සොයා බැලීමේ කාර්යාංශය (Office of Internal Oversight Services – OIOS)  පවසන්නේ හයිටියේ කාන්තාවන් 231 දෙනකු ලබා දුන් තොරතුරු තම විමර්ශනයට පාදක වූ බවයි.

අභ්‍යන්තර පරීක්‍ෂණ

හයිටියේ සාම සාධක හමුදාවේ කටයුතු කළ ශ්‍රී ලංකාවේ යුද භටයන් පිරිසක් 2007 දී එරටින් පිටමං කරන ලද්දේ බාල ළමුන් සහ කාන්තාවන් ලිංගික වශයෙන් දුෂණය කිරීම සම්බන්ධයෙනි. ඒ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකා මිෂෙල් මොන්ටාස් (Michele Montas) කියා සිටියේ පරීක්ෂණ පවත්වා දඬුවම් කිරීමේ වගකීම ශ්‍රී ලංකාවට පැවරෙන බව ය. කෙසේ වෙතත්, අභ්‍යන්තර ප්‍රමාද දෝෂ සොයා බැලීමේ කාර්යාංශය සිය නවතම වාර්තාවේ සඳහන් කරන්නේ හමුදා භටයන් සපයන රටවල් විසින් පවත්වනු ලබන පරීක්‍ෂණ විශ්වසනීය නොවන බවයි.

චුදිත සෙබළුන් 108 දෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණ පවත්වා පියවර ගත් බවක් පිටු 53කින් සමන්විත එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී නැතත් ශ්‍රී ලංකා යුද හමුදාව 2013 ඔක්තෝබරයේදී කියා සිටියේ ‘හයිටි කාන්තාවකට අපචාර කිරීමට දැරූ උත්සාහයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට’ පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කරන ලද බවයි. එවක හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක විසින් පත් කරන ලද පරීක්‍ෂණ මණ්ඩලයේ නායකත්වය ගත්තේ වර්තමාන යුද හමුදා මාණ්ඩලික සේවා ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස් ය. යුද හමුදා නිලධාරීන් තිදෙනකු පරීක්‍ෂණ සඳහා හයිටිය බලා පිටත්ව ගිය බවද ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළත්, එකී පරීක්ෂණයේ ප්‍රගතිය මේ තාක් ප්‍රකාශයට පත් කොට නැත.

'හුවමාරු භාණ්ඩ'

එක්සත් ජාතීන්ගේ වාර්තාව හෙළි කරන පරිදි දුගී බව ඇතුළු විවිධ හේතු නිසා කාන්තාවන්ට හා දරුවන්ට සාම සාධක හමුදා නිලධාරීන් සමග ලිංගික සබඳතා පවත්වන්නට බල කෙරී තිබේ. ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම සහ දරුවන් දිගටම පාසල් යවා ගැනීම ඒ අතර ප්‍රධාන වෙයි. ලිංගික අපහරණයට ලක්වී ඇති අය අතරින් තුනෙන් පංගුවක්ම වයස අවුරුදු 18ට අඩු යයි.

සාම සාධක භටයන් බොහෝ අවස්ථාවල තම ලිංගික අවශ්‍යතා සපුරා ගෙන ඇත්තේ ආභරණ, ‘පල්ලි යාමට පළඳින’ සපත්තු, ඇඳුම්, විසිතුරු යට ඇඳුම්, සුවඳ විලවුන්, ජංගම දුරකථන, ගුවන් විදුලි යන්ත්‍ර හා  රුපවාහිනි යන්ත්‍ර ආදිය ලබා දීමෙනි. මුදල් නොලැබුණු එක් අවස්ථාවකදී ලිංගික සූරා කෑමට ලක්වූ කාන්තාවක් කර ඇත්තේ සාම සාධක භටයන්ගේ නිල පදක්කම් රඳවාගෙන ඒවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කරන බවට අනතුරු ඇඟවීමයි.

එජා සංවිධානයට දොස්

සාම සාධක භටයන් කරන්නේ තහනම් කටයුත්තක් බව දැන සිටියේ සාක්‍ෂි දීමට ඉදිරිපත්වූ 230 ට වැඩි  පිරිසෙන්  හත් දෙනකු පමණකැයි සඳහන් කරන එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර දෝෂ සොයා බැලීමේ කාර්යාංශය  කියා සිටින්නේ පැමිණිලි කරන ආකාරය ඒ කිසිවකු දැන සිට නැති බවයි. පැමිණිලි සම්බන්ධයෙන්  එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා පියවරද වාර්තාවේ විවේචනයට ලක් වී තිබේ.  සංකීර්ණ ක්‍රමවේදය සහ දිග්ගැසුණු ප්‍රමාදවීම් ලිංගික සුරා කෑමට එරෙහි පියවර ක්‍රියාත්මක කිරීම ට බාධා වී ඇති බව එය පවසයි. පීඩාවට පත් වුවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහන ලබා දී ඇත්තේ ඉතාමත් මද වශයෙන් බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

හයිටියේ සාම සාධනයට ශ්‍රී ලංකාව  යුද, ගුවන් හා නාවික  හමුදාවලත්, පොලිසියේත්  නිලධාරීන් හා සෙබළුන් යැවීම ආරම්භ කර ඇත්තේ 2004දී ය. ඉන් අනතුරුව බටහිර සහරාව, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලයිබීරියාව, සුඩානය සහ බටහිර තිමෝරයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට තම භටයන් යවා සිටින බව ශ්‍රී ලංකාවේ රජය පවසයි. නිත්‍ය හමුදාවක් නැති එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට බැඳී ලොව පුරා විසිරී සිටින පිරිස එක් ලක්ෂ විසිපන්දහසකට අධික වේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.