JDS Sinhala

මුස්ලිම් නීතිඥයාට එරෙහිව 'ත්‍රස්ත සාක්කි' ගෙතූ රහස් පොලිසියට විනිසුරු විරෝධය

කිත්සිරි විජේසිංහ විසිනි


පා

ස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබු මුස්ලිම් ජාතික නීතිඥවරයකුට එරෙහිව ව්‍යාජ සාක්ෂි ගෙතීමට රහස් පොලිසිය විසින් දරණ ලද උත්සාහයක් විනිසුරුවරයකුගේ මැදිහත්වීම නිසා ව්‍යර්ථ වී තිබේ.

නීතිඥ හිජාස් ඕමර් හිස්බුල්ලාහ් රඳවා තබා ගෙන දෙමාසයකට වැඩි කලක් ගතවී ඇතත් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනතුරුත් අසමත්ව සිටී.

කොළඹ - කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ පසුගිය 19 වැනි දින, නීතිඥ හිස්බුල්ලාහ් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රහස් පොලිසියේ නිලධාරියකු පවසා ඇත්තේ නීතිඥ හිස්බුල්ලාහ් ට එරෙහිව “තවමත් නිසි පරිදි චෝදනා ගොනු කොට නැති” බව ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටියද නීතිඥ හිස්බුල්ලාහ් තවමත් සැකකරුවකු ලෙස හෝ නම් කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි එම නිලධාරියාට සිදුවිය.

රහස් පොලිසියේ කුමන්ත්‍රණ

චෝදනා නොමැතිව අත්අඩංගුවට ගත් නීතිඥවරයාට එරෙහිව චෝදනා නිර්මාණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරූ අතර, පසුගිය 24 දින කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් ප්‍රකාශ කරනු ලැබුවේ එදිනට නියමිතව තිබුණු හඳුනා ගැනීමේ පෙරට්ටුවට පෙර රහස් පොලිස් නිලධාරින් විසින් පෙරට්ටුවේ සාක්ෂිකරුවන් ලෙස සහභාගිවීමට නියමිතව සිටි පුත්තලම මද්‍රසා පාසැලක ළමුන්ට නීතිඥ හිස්බුල්ලාහ්ගේ ඡායාරූප පෙන්වමින් ඔහු හඳුනා ගන්නා ලෙස බලකරනු දුටු තමන් විසින් එම නිලධාරීන් හඳුනා ගැනීමේ පෙරට්ටුව පවත්වන්නට නියමිතව සිටි ස්ථානයෙන් ඉවත් කළ බව ය.

"මේ තත්ත්වය හෙළිදරව් කිරීමට මට අවශ්‍යයි. රහස් පොලිස් නිලධාරින් ළමුන්ට ඡායාරූප පෙන්වීමට වෑයම් කළා. ඒ නිසා මට එම නිලධාරින්ව අධිකරණයෙන් පිට කිරීමට සිදුවුණා" යැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පවසා තිබුණි.

රහස් පොලිස් නිලධාරින් නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරමින් හඳුනා ගැනීමේ පෙරට්ටුව පවත්වන්නට උත්සාහ දැරීම අභියෝගයට ලක් කරමින් නීතිඥ හිස්බුල්ලාහ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිය විරෝධතාවය දිගින්, දිගටම ප්‍රකාශ කිරීමේදි එය නොතකා හරිමින්, පෙරට්ටුවට මෙතරම් විරුද්ධ වන්නේ කුමක් නිසාදැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් නීතිඥවරුන්ගේන් ප්‍රශ්න කර තිබුණි. එයට පිළිතුරු ලෙස හිටපු නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් වරයකුද වන ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර ප්‍රකාශ කොට ඇත්තේ “හරස් ප්‍රශ්න ඇසීමකින් තොරව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පමණක් පවත්වමින් එය සාක්ෂියක් ලෙස යොදාගත හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 18 වැනි වගන්තියෙන් ලබා දී ඇති නෛතික ප්‍රතිපාදනයක් ප්‍රයෝජනයට ගෙන මෙසේ පෙරට්ටුවක් පැවැත්වීමට” රහස් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව බල කරන බවයි.

"සාක්ෂි තියෙනවා" මාධ්‍ය ප්‍රකාශක

කෙසේ නමුත් රහස් පොලිසියේ ප්‍රෝඩාකාරී ක්‍රියාවත්, ජනාධිපති නීතිඥවරයාගේ නෛතික කරුණු දැක්වීමත් දැඩිව සළකා බලා ඇති ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවසානයේ තීන්දු කොට තිබෙන්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුව සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට ය. නමුත් අධිකරණ ක්‍රියාවලිය අපහාසයට ලක් කරමින් නීති විරෝධීව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමට කටයුතු කළ රහස් පොලිස් නිලධාරින් පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බවක් දැනගන්නට නැත.

රහස් පොලිසිය විසින් නීතිඥ හිස්බුල්ලාහ් අත්අඩංගුවට ගන්නා ලද අප්‍රේල් 14 දාට දින පහකට පසුව ය. ඒ අනුව අප්‍රේල් 19 දින මාධ්‍ය හමුවක් පවත්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අවධාරණය කර තිබුනේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුට එරෙහිව ඇති “සුදුසු, යෝග්‍ය සාක්ෂි සහ කරුණු” මත පදනම් වෙමින් බවත් ය.

"එක් විවේචනයක සඳහන් වෙනවා එක්තරා නීතිඥවරයෙක් සිය නීතිඥ වෘත්තියේ යෙදෙමින් සිය සේවාදායකයෙක් සමග කරන ලද දුරකතන සංවාදයක් හින්දා මේ අත්අඩංගුවට ගැනීම් කරලා තියෙනවාය කියලා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම අත්අඩංගුවට ගැනීම හුදු නීතිඥවරයෙක් සහ සේවාදායකයෙක් අතර වුණු ගනුදෙනුවක් මත පදනම් වු එකක් නෙමෙයි. මෙම නීතිඥවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු සහිතව විමර්ශන ගණනාවක් කරලා, සාක්ෂි ගණනාවක් සටහන් කරලා ඊට අමතරව දුරකතන ඇමතුම් ගණනාවක් විශ්ලේෂණය කරලා, ආගිය තැන් විමර්ශනය කරලා ඊට පසුවයි මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ. අධිකරණයට ගෙනියන්න පුලුවන් සුදුසු, යෝග්‍ය සාක්ෂි සහ කරුණු අනුසාරයෙන් තමයි මේ අත්අඩංගුවට ගැනීම සිදුකරලා තියෙන්නේ," යි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (එවකට පොලිස් අධිකාරි) ජාලිය සේනාරත්න එම මාධ්‍ය හමුවේදි පැවසීය..

“සාක්ෂි නෑ” රහස් පොලීසිය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිඥ හිස්බුල්ලාහ් දින අනූවක් රඳවා තබා ගැනීමට නියෝග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් නිකුත් කර ඇති රැඳවුම් නියෝගයේ (Detention Order) දැක්වෙන්නේ 2019/04/21 දින ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් ඉබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ්ට අධාර අනුබල සැපයිම, ප්‍රජාවන් අතර ආගමික සමගියට හානිකර කටයුතු වල නියැලීම සහ එවැනි ක්‍රියා දැනුවත්වම පොලිසියෙන් සඟවා සිටීම,” ය. නමුත් නීතිඥ හිස්බුල්ලාහ් එම බෝම්බකරුට උදව් කළ බවට කිසිදු සාක්ෂියක් මේ දක්වා හමුවී නැති බව ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාරගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගන්නට රහස් පොලිසියට සිදුවිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු කවර අණ පනතක් යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබුව ද එයින් රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට හෝ එය අතික්‍රමණය කිරීමට හෝ එවැනි කිසිදු පනතකින් කියැවෙන නෛතික රෙගුලාසියකට නොහැකි බව මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කරමින් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇත්තේ තවමත් නිසි චෝදනා ගොනු කිරීමක් හෝ නොමැතිව රඳවාගෙන සිටින නීතිඥ හිස්බුල්ලාහ් නොපමාව අධිකරණය හමුවට පමුණුවන ලෙසයි.

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක එහිදි ප්‍රකාශ කොට ඇත්තේ එළැඹෙන ජූලි 1 දින තමන් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන බවයි.

රහස් පොලිසිය විසින් පසුගිය 19 දින අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවකින් (බී වාර්තා) චෝදනා කොට ඇත්තේ නීතිඥ හිජාස් හිස්බුල්ලාහ්, Save the Pearls Society නැමති සංවිධානයක සභාපතීත්වය සහ සාමාජිකත්වය දරණ බවත්, එම සංවිධානයෙන් පුත්තලම අල් සුහාරියා මද්‍රසා පාසැලේ ළමුන් පිරිසකට විදුහල්පතිවරයා ඉදිරියේ ගිණි අවි පුහුණුවක් ලබා දී කතෝලික ජනයාට එරෙහිව ළමුන් කුපිත වන ආකාරයේ අදහස් සහිත දේශන පවත්වා ඇති බවත් ය.

බුද්ධි අංශයේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නම්

“නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අයද අවස්ථා කිහිපයකදිම මෙම මද්‍රසා විද්‍යාලයට ගොස් දේශන පවත්වා ඇති බවට අනාවරණය වී ඇති අතර, ඔහු ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවු යුද්ධයේ වීඩියෝවක් පෙන්වා ඊශ්‍රායලයේ ක්‍රිස්තියානි ආගමේ අය විසින් මුස්ලිම් පල්ලි අල්ලාගෙන සිටින බවට ප්‍රකාශ කර ඇති බවත්, එමෙන්ම ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කටිටිය බය වෙන්නේ යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් විමර්ශනයේදි කරුණු අනාවරණය වී ඇත,” යි එම වාර්තාවෙහි දැක්වෙයි.

රහස් පොලීසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුනු එම වාර්තාව පදනම් වී ඇත්තේ මද්‍රසා පාසැලේ අවි පුහුණුවට සහභාගි වූ සිසුන් විසින් ලබා දී තිබෙන ප්‍රකාශ ඇසුරෙන් යැයි එහිම දැක්වෙන නමුත්, CID ය තමන් “බියට සහ මානසික වධහිංසාවට ලක් කරමින් දෙමාපියන් නොමැතිව නොදන්නා තැනකට රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගත් බව” පවසමින් එම පාසලේ ළමුන් තිදෙනෙක් මේ වන විට එම නිලධාරින්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබේ.

පුත්තලම අල් සුහාරියා පාසල සහ Save the Pearls Society නැමති සංවිධානය විසින් අන්තවාදි කටයුතුවල නිරත වී ඇතැයි පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමට ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසු අලුතින් පත් කරන ලද රහස් පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබේ.

මින් Save the Pearls Society සංවිධනයේ පාලක මණ්ඩලයේ නම් ඇතුලත් නිල ලේඛණයක් මෙන්ම එම සංවිධානය විසින් තම විහාරය විසින් පාලනය කරන දහම් පාසැලේ ළමුන්ට කරන ලද ආධාර උපකාර පිළිබඳව කෘතඥතාවය පළකරමින් මාළිගාවත්ත, ඛෙත්තාරාම විහාරයේ විහාරාධිපති වෙළඳගොඩ යසසිරි හිමියන් විසින් ලබා දෙන ලද ලිපියෙහි නිල පිටපතක් ජේඩීඑස් සතුව තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන බුද්ධි තොරතුරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආයතනවල ඉහළ පෙලේ තනතුරු හෙබවූවන් මෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ අමාත්‍යාංශවල ලේකම් ධූර දැරු පුද්ගලයන්ගේ නම්ද එම ලේඛනයේ හි සඳහන් ය.

ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර රහස් පොලිස් නිලධාරින්ගෙන් ප්‍රශ්න කොට තිබෙන්නේ සංවිධානය සහ පාසැල නීති විරෝධී බව පවසා නීතිඥ හිස්බුල්ලාහ්ව අත්අඩංගුවට ගනු ලැබුවේ නම් එයින් උපකාර ලැබු බෞද්ධ භික්ෂුන් වහන්සේගෙන් සහ පාලක මණ්ඩලයේ නම සඳහන් ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද යනුවෙනි.

මාධ්‍ය මෙහෙයුම්

මේ අතර, ළමුන් තිදෙනෙක් පසුගිය 12 දා කොටුව මහේස්ත්‍රාත් හමුවේ ලබා දුන් බව පැවසෙන රහසිගත ප්‍රකාශය පසුදින ජන මාධ්‍යවල ප්‍රචාරය වුයේ කෙසේදැයි ප්‍රශ්න කරමින් තමන් එය අධිකරණයේ අවධානයට යොමු කරන බව ද පවසා ඇති ජනාධිපති නීතිඥවරයා, වැඩිදුරටත් විමසා ඇත්තේ එසේ නම් එය 'රහසිගත ප්‍රකාශයක්' වන්නේ කෙසේ දැයි යනුවෙනි.

මේ අතර "සහරාන්ගෙන් පුහුණු වූ දරුවෝ අධිකරණයේදි සියල්ල හෙළි කරති ," යනුවෙන් මැයි 13 දින ආණ්ඩු පාක්ෂික 'මව්බිම' පුවත්පත වාර්තා කර ඇති අතර, රැඳවුම් නියෝගයට අත්සන් කොට ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම සගයකු වන ව්‍යාපාරික දිලිත් ජයවීරට අයත් 'දෙරණ' පුවත් අඩවිය එදිනම එය වාර්තා කොට ඇත්තේ "සහරාන්ගේ දේශනවලට සහභාගි වු ළමුන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් දෙයි" යනුවෙනි.

පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නොමැතිව, කුමන්ත්‍රණකාරී ලෙස රහස් පොලිස් අත්අඩංගුවට ගෙන නීතිඥ සහයක් හෝ නිසියාකාරව ලබා ගැනීමට ඉඩ ලබා නොදෙමින් රැඳවුම් භාරයට පත්කොට සිටින නීතිඥ හිස්බුල්ලාහ්ට එරෙහිව කෙසේ හෝ සාක්ෂි සකසන්නැයි ඉහළ පෙලේ බලධාරින්ගෙන් රහස් පොලිසියට නියෝග ලැබී ඇති බව විශ්වසනීය ආරංචි මාර්ග මගින් ජේඩීඑස් වෙත වාර්තා වී ඇත.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.