JDS Sinhala

දෙවැනි රාජපක්ෂ පාලනයේ ඉහලම ආරක්ෂක බලධාරියාට මානව හිමිකම් ප්‍රහාරයක්

යුද අපරාධ චෝදනා එල්ලවී සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානතම ආරක්ෂක බලධාරියාට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව වසර ගණනක් තිස්සේ විමර්ශන කරන ජාත්‍යන්තර සංවිධානයක් බරපතල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) අලුත්ම ඉලක්කය වී ඇත්තේ දෙවැනි රාජපක්ෂ පාලනයේ ආරක්ෂක ලේකම්වරයා ය.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහත්සේ වරද පවරන පිටු සියයකින් සමන්විත ගොනුවක් ජගත් මානව හිමිකම් දිනයේ ප්‍රසිද්ධියට පත් කරන ITJP සංවිධානය, පවසන්නේ අවසන් යුද්ධයේදී ඔහු යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ කළ බවට නඩු පැවරීමට තරම් බලසම්පන්න සාක්ෂි තිබෙන බව ය.

මෙම වාර්තාව එළි දැක්වෙන්නේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මහත් අවධානයක් දල්වාලමින් මේ වසරේම පල කරන ලද ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ට එරෙහි චෝදනා රැගත් ගොනුවකින් පසුව ය.

කමල් සහ ශවේන්ද්‍ර

“කමල් ගුණරත්නට විරුද්ධවත්, වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව තිබුනා සේම බැලූ බැල්මටම පෙනී යන බලගතු නඩුකරයක් ඇත,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා ප්‍රකාශ කොට තිබේ. “යුද අපරාධ චූදිතයන් බලසම්පන්න නිලතලවලට පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ඕනෑකමින්, හිතාමතාම දණ්ඩ මුක්තිය ප්‍රවර්ධනය කරයි,” ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ආරක්ෂක ලේකම් සහ හමුදාපති දෙදෙනාම ගෝඨාභය රාජපක්ෂ යටතේ ගජබා රෙජිමේන්තුවේ යුද වැදුණු නිලධාරීහු වෙති.

53 සේනාංකයේ ආඥාපති ලෙස කමල් ගුණරත්න 2009 පෙබරවාරි මාසයේ පුදුකුඩිඉරිප්පුවට එරෙහිව දකුණු දිග පෙරමුණින් දියත් කෙරුණු ප්‍රහාරයට අණ දුන් සෙන්පතියා වේ. ඔහුගේම කතාන්තරයට අනුව ඊට සෘජුවම අණ දෙනු ලැබ ඇත්තේ අද ජනාධිපති වී සිටින ගෝඨාභය රාජපක්ෂ විසිනි. එම බලඇණි ඊළඟට දායක වූයේ දසදහස් සංඛ්‍යාත ජනකායකට හානි පමුණුවමින්, සිවිල් දේපල විනාශ කරමින් ආරෝග්‍ය ශාලා, තාවකාලික රෝහල් සහ ආහාර බෙදාහරින මධ්‍යස්ථානවලට දිගින් දිගටම පහර ගසනු ලැබූ පුදුකුඩිඉරිප්පු, පුදුමාතලන් සහ මුල්ලිවයික්කාල් ප්‍රහාරයන්ට ය.

වධහිංසා, ස්ත්‍රී දූෂණ සහ ලිංගික වහල්කම්

මේජර් ජනරාල් ගුණරත්නගේ සේනානායකත්වය යටතේ සටන් කළ භට පිරිස් යුද්ධයේදීත්, ඉන් පසුවත් වධහිංසා සහ ලිංගික දූෂණ සිදුකළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් චෝදනා කර තිබේ.

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මාධ්‍ය අංශයේ රූපවාහිනී නිවේදිකා ඉසෛප්‍රියා මරා දැමීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බැර කර ඇත්තේ ගුණරත්නගේ 53 වැනි සේනාංකයට ය. ඇය ශ්‍රී ලංකා යුද හමුදාවට භාර වෙන ආකාරය රූපගත කොට තිබේ. ඇගේ මෘත ශරීරයේ ඡායාරූප සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද වෝහාරික විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ඇය නඩු විභාගයකින් තොරව ඝාතනය කොට ඇගේ ලිංගික හිසාවන්ට ලක්කළ බව ය. එවැනි උල්ලංඝන වළක්වාලන්නට හෝ ඊට වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට හෝ අවශ්‍ය වන්නාවූත්, යුක්ති සහගතවූත් සියලු පියවර ගැනීමට ගුණරත්න උත්සාහ කළ බවට කිසිදු ඇඟවීමක් නොමැති බව ITJP වාර්තාව පවසයි.

යුද්ධයෙන් දිවි ගලවාගත් ලක්ෂ ගණනක් දෙමළ ජනයා නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි මැණික් ෆාම් කඳවුර භාරව සිටි හමුදා නිලධාරීන් අතර වර්තමාන ආරක්ෂක ලේකම්වරයා ද වේ.

බාල ළමුන්ද ඇතුළු ගැහැනුන් සහ පිරිමින් එහිදී දූෂණයටත්, ලිංගික වධහිංසාවටත් ගොදුරු කරගන්නා ලද බවට සාක්ෂි තමන් සතුව ඇති බව ITJP වාර්තාව කියා සිටී.

“ලිංගික වහල්කම පුළුල් ලෙසත්, සංවිධානාත්මකවත් මැණික් ෆාම් කඳවුර තුළ පවත්වාගෙන ගිය බව ගොනු කරගන්නා ලද සාක්ෂි වලින් දැක්වේ.”

'ජෝසප් කෑම්ප්' නමින් ප්‍රසිද්ධ වව්නියාවේ පිහිටි වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානය පවත්වාගෙන යාමේ ගුණරත්නගේ භූමිකාවද ITJP ගොනුවෙන් විභාග කෙරේ. ඔහු ආඥාපති වශයෙන් සිටියදී තමන්ට වධහිංසා කළ බවට චෝදනා කරන දස දෙනකු කරන ප්‍රකාශ ද එහි උපුටා දක්වා තිබේ. ඔහුගේ ආඥාව සහ පාලනය යටතේ ජෝසප් කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද ලිංගික දූෂණ, වධහිංසා සහ ලිංගික හිංසන යනාදී අපරාධ සම්බන්ධයෙන් ගුණරත්න සාපරාධී වගකීමෙන් බැඳෙන බව ගොනුවේ නිගමනය වෙයි.

ඒකාබද්ධ අපරාධකාරී ව්‍යාපාරයක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නව පාලනයේ නියමුවන් “ඒකාබද්ධ අපරාධකාරී ව්‍යාපාරයක්” (Joint Criminal Enterprise) දැයි සක පල කරන ITJP සංවිධානය කමල් ගුණරත්නගේ පත්වීම ජාත්‍යන්තර බලවතුන් හමුවේ “බරපතල ආචාර ධාර්මික උභතෝකෝටිකයක්” මතුකරන බවට අනතුරු අඟවා සිටියි.

“මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීම මගින් ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් පිළිපදින බව කියන්නාවූ රටවල් හමුවේ මතු කෙරෙන්නේ බරපතල ආචාර ධාර්මික උභතෝකෝටිකයකි,” යි යැස්මින් සූකා පැවසුවාය.

“ජනාධිපති ලෙස ඡන්දයෙන් අලුතින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ කරන පත්වීම් දෙස බලන්නට ගත් කල, ජනාධිපති සහ ඔහුගේ නව පාලන තන්ත්‍රයේ සාමාජිකයන් සමහරක් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තියේ කල් ඉකුත්වූ දවසක නඩු වැටෙනු ඇති ඒකාබද්ධ අපරාධකාරී ව්‍යාපාරයක් දැයි සිතට නැගීම වැළැක්වීම අසීරු ය.”☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.