JDS Sinhala

මන්නාරම සමුහ මිනීවළ: බලධාරීන්ගේ කඹ ඇදිල්ලෙන් පරීක්ෂණ ප්‍රමාද වෙයි

කිත්සිරි විජේසිංහ විසිනි


වි

දේශීය කාබන් කාල නිර්ණ පරීක්ෂණ ප්‍රතිඵල අභියෝගයට ලක්වීමෙන් පසුව, කාලය නිශ්චිත කරගැනීම සඳහා අලුතින් ආරම්භ කරන ලද පුරාවිද්‍යාත්මක පරීක්ෂණය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ අධිකරණය විසින් මේ තාක් මුදා නොහැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවල සම්බන්ධ විද්‍යාත්මක ගවේෂණ වලට බාධා පැමිණ තිබේ.

මන්නාරම සමුහ මිනීවළේ පුරාවිද්‍යා පරික්ෂණ කටයුතු භාරව සිටින පුරාවිද්‍යා විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේව ජේඩීඑස් හා කියා සිටියේ තමන්ට පවරා තිබෙන පරීක්ෂණය සඳහා අවශ්‍ය භාණ්ඩ තමන් වෙත තවමත් භාරදී නොමැති බව ය. එම ප්‍රමාදය හේතු කොටගෙන පුරාවිද්‍යා වෝහාරික පරීක්ෂණය අඩාල වී ඇති බව මහාචාර්ය සෝමදේව පෙන්වා දෙයි.

බාධාවන්

"කැණීම්වලින් ගොඩ ගත්ත භාණ්ඩ තියෙන්නේ මන්නාරම අධිකරණය භාරයේ. ඒවා භාර ගන්න මම අවස්ථා කිහීපයකදීම මන්නාරම අධිකරණයට ගියා. සැප්තැම්බර් හතරවැනිදා මහේස්ත්‍රාත්තුමා ඇවිත් හිටියේ නැති නිසා භාණ්ඩ භාර ගන්න බැරි වුණා. වෙනත් දවසක නැවත ගියාම එදත් භාණ්ඩ භාර දෙන එක නතර කෙරුවා, හේතුව තමයි භාණ්ඩවල ලේඛනයක් ගන්න තුන්වන පාර්ශවයක් හැටියට මන්නාරම නීතිඥවරුන් පිරිසක් ඇවිත් සිටීම. මේ විදිහට පරක්කු වුණාම අපි කොහොමද නියමිත විදිහට පරික්ෂණය කරන්නේ?"

මන්නාරම සමූහ මිනීවළේ පරික්ෂණ කටයුතු සඳහා ආරම්භයේ සිටම මන්නාරම සිවිල් සංවිධාන නියෝජනය කරමින් නීතිඥවරුන් පිරිසක් සහභාගි වූ අතර, භාණ්ඩ ලේඛන ගත කිරීමේදි ද ඔවුන් සහභාගි වී ඇති බව දැන ගන්නට ලැබී තිබේ. අතුරුදහන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් කරන එම මැදිහත්වීම මහාචාර්ය සෝමදේව සළකන්නේ සිය පරීක්ෂණ වාර්තාවට ප්‍රශ්න ඇති කරන්නක් ලෙස ය.

"මහේස්ත්‍රාත්තුමා එක ලේඛනයක් ගන්නවා. භාණ්ඩ භාර ගන්න කලින් මම තව ලේඛනයක් ගන්නවා. එතකොට අධිකරණ වෛද්‍ය නිලධාරිතුමා ඉන්නවා. ඇයි එහෙනම් තවත් පාර්ශවයක් මේකට සම්බන්ධ වෙන්නේ. එහෙම වුණාම ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුලුවන්. ඒ හින්දා අපි ඒකට විරෝධය දැක්වුවා".

නීතිපතිගෙන් පිළිතුරක් නෑ

කෙසේ නමුත් මහාචාර්ය සෝමදේවගේ සහ මන්නාරම හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂගේ විරෝධය සහ පසුව කෙරෙන ඉල්ලීමක් මත මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දු කර ඇත්තේ භාණඩ බාර දෙන අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරියකු කැඳවීමට ය. ඒ සම්බන්ධව විමසීමේදි වෛද්‍ය සමින්ද රාජපක්ෂ ජේඩීඑස් හා කියා සිටියේ මහේස්ත්‍රාත්වරයාගේ නියමය මත තමන් විසින් නිරික්ෂණ කාර්යට රජයේ නීතිඥවරයකු සහභාගිකරවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, මේ දක්වා ඒ සඳහා එම දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක් එවා නොමැති බව ය.

මන්නාරම සමුහ මිනීවළ පිළිබඳ කාලය නිශ්චිත කර ගැනිම සඳහා කළ යුතුව ඇති පරික්ෂණය වෙනුවෙන් තමන් භාරයට පත්විය යුතුව ඇති භාණ්ඩ නිසි පරිදි තමන් වෙත භාර නොදීම පිළිබඳවත්, සිදුවෙන ප්‍රමාදය පිළිබඳවත් කණස්සල්ල පළ කරන මහාචාර්ය රාජ් සෝමදේව අවධාරණය කරන්නේ සමුහ මිනීවළක පරික්ෂණයක් මෙවැනි නොසැලකිලිමත් ආකාරයෙන් සිදු නොවිය යුතු බව ය.

"මේක මේ දවසකින් දෙකකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අනෙක මේක සාමාන්‍ය පරීක්ෂණයකුත් නෙමෙයි. භාණ්ඩ 2000ට වැඩියෙන් දැනට හමුවෙලා තියෙනවා. ඒවා ඉතාම සියුම් විදිහට පරීක්ෂා කරන්න අවශ්‍යයි. මම දන්නේ නැහැ ඊ ළඟ දවසෙවත් අපිට භාණ්ඩ භාරගන්න පුලුවන් වෙයිද කියලා," යි මහාචාර්යවරයා සැක පළ කරයි.

අවසන් වාර්තාව ප්‍රමාද විය හැකියි

එළැඹෙන නොවැම්බර් මාසයේ මුල් සතියේදි සිය වාර්තාව අධිකරණයට භාරදෙන බව මහාචාර්ය රාජ් සෝමදේව මෙයට පෙර කියා සිටියද, පවතින ගැටලුකාරී තත්ත්වය හමුවේ එසේ කිරීම අපහසු වී ඇති බව ඔහු පවසයි.

"කලින් අපි යොදාගෙන තිබුණේ නොවැම්බර් මාසයේදි වාර්තාව උසාවියට භාරදෙන්නයි. නමුත් දැන් වනවිට භාණඩ භාරගන්න මට එන්න කියලා තියෙන්නෙත් නොවැම්බර් 13 වෙනිදාට. එයින් පෙන්නුම් කරන්නේ මේ පරීක්ෂණයේ තත්ත්වයයි."

මන්නාරම, සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) ඉදිකිරීම් කටයුත්තක් සඳහා ඉංජිනේරූ කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් කරන ලද කැණීමකදි 2018 මැයි මස 16 වන දින මිනිස් ඇට කැබලි කිහිපයක් සොයා ගනු ලැබු පසුව මන්නාරම එවකට සිටි මහේස්ත්‍රාත් ටී ප්‍රභාකරන්ගේ නියෝග මත එම මාසයේම 28 දින වෝහාරික පරික්ෂණ කටයුතු ආරම්භ කරන ලදි.

එතෙක් ගොඩගෙන තිබුණු මිනිස් අස්ථි කොටස් සාම්පල කිහිපයක් මේ වසරේ ජනවාරි මාසයේදි ඇමරිකාවේ ෆ්ලෝරිඩාවල, මියාමී හී පිහිටි බීටා ඇනලටික් ආයතනය වෙත යවනු ලැබුවේ ගොඩගත් අස්ථි කොටස්වල කාල නීර්ණය සනාත කර ගැනීම වෙනුවෙනි. එම ආයතනය විසින් පෙබරවාරි 21 වන දින එවන ලද වාර්තාවේ දැක්වෙන්නේ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1404 ත් 1635 ත් අතර කාල පරාසයටකට අයත් ඒවා බව ය.

නමුත් කැණීම් සඳහා සහභාගී වුණු පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව තමන්ට එම වාර්තාව පිළිගත නොහැකි බව දැක්වීමත් සමගම අධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ කැණීම් සමග ගොඩගත් භාණ්ඩ ඇසුරින් පුරාවිද්‍යා සිද්ධාන්තයන්ට අනුකූලව නව කාල නීර්ණ වාර්තාවක් සකස් කරන ලෙස ය.

මේ වන විට තාවකාලිකව කැණිම් කටයුතු නවතා දමා ඇති මන්නාරම සමුහ මිනීවළ මේ තාක් ශ්‍රී ලංකාවෙන් සොයා ගෙන ඇති විශාලතම සමූහ මිනීවළ වන අතර, කැණීම් කටයුතු අතර මඟ නවතා දමන අවස්ථාව වන විට එයින් කුඩා දරුවන්ගේ ඇට සැකිලි 28 ක් සමඟ පූර්ණ ඇටසැකිලි 300 ට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබුණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.