JDS Sinhala

ලෝක ළමා දිනයට අතුරුදහන් වූ දරුවන්ගේ ලැයිස්තුවක් එළිදක්වයි

තුරු පළාතේ මව්වරුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයට පත් වූ අවුරුදු 14ට අඩු ළමුන් අවම වශයෙන් 29 දෙනකු අතුරුදහන් වී තිබේ.

ලෝක ළමා දිනය නිමිත්තෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඔක්තෝබර් 1වැනිදා නිකුත් කරන ලද 'ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ දෙමළ දරුවෝ' මැයෙන් වූ වාර්තාවකින් අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව මෙසේ අතුරුදහන් කරනු ලැබ ඇති ළාබාලම දරුවා වන්නේ අට මස් හැවිරිදි මහාලිංගම් එළිලිනී නමැති දැරියකි.

2009 මැයි මස 18 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට යටත් වූ , ඇයගේ මව, පියා හා සොහොයුරියන් දෙදෙනා සමග ඇය අතුරුදහන් වී ඇති බව වාර්තාව විසින් අනාවරණය කර තිබේ.

ඉන් දිනකට පසු රජය යුද්ධයේ නිමාව නිවේදනය කර සිටියේය.

එකම දිනක වැඩිම ළමා අතුරුදහන්වීම්

නැගෙනහිර පළාතෙන් අතුරුදහන් වූ දරුවන් දෙදෙනකු හැරෙන්නට, සෙසු ළමුන් 27 දෙනාම අතුරුදහන්ව ඇත්තේ ඔවුන්ගේ පවුල් එකම දිනක දී ශ්‍රී ලංකා හමුදාවන්ට යටත් වීමෙන් පසු ය.

වැඩිම දරුවන් පිරිසක් එකම දිනක දී ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක අතුරුදහන් වූ සිදුවීම මෙය විය හැකි බවට විශ්වාස කෙරේ.

නැගෙනහිර පළාතේදී අතුරුදහන් වූ ළමුන් දෙදෙනා 1990 හා 1992දී ආරක්ෂක හමුදා විසින් පැහැරගැනීමෙන් පසු අතුරුදහන් වූවන් අතරට එක් වූ බව වාර්තාව පෙන්වා දෙයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් අඟහරුවාදා දිනයේ (1) වවුනියා නගර මධ්‍යයේ පැවති විරෝධතාවකදී මෙම වාර්තාව මහජනයා අතර බෙදාහරින ලදී.

දින 1000ක විරෝධය

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට යටත්වීමෙන් පසු, අතුරුදහන්වූ සිය දරුවන් හා ඥාතීන් පිළිබඳ සත්‍යය හෙළිකරන මෙන් ඉල්ලා දෙමළ මව්වරුන් විසින් ගෙනයනු ලබන අඛණ්ඩ විරෝධතාවට මේ වනවිට දින 1000ක් සම්පූර්ණ වීමට ආසන්න වී තිබේ.

රජය විසින් පිහිටුවන ලද අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාංශය විසින් පිළිගෙන ඇත්තේ දස වසරකට පෙර අවම වශයෙන් දෙමළ ජනයා 20,000ක් දෙනා ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කර ඇතැයි තොරතුරු ඇති බව ය.

කෙසේවුවද, එම කාර්යාංශය පිහිටුවා දෙවසරක් ගතවුවද, අතුරුදහන්වූවන්ගේ ඉරණම කුමක් වීදැයි තවමත් අනාවරණය කෙරී නොමැත.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.