JDS Sinhala

මානව හිමිකම් කඩකිරීම් චූදිතයන් හමුදාවේ තවත් ඉහලට

අතුල විතානගේ විසිනි.


රපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම මග හරිමින් සිටින රජය ඔවුන්ට සේවා උසස් වීම් ලබා දීමට තීරණය කර තිබේ.

මෙසේ උසස්වීම් ප්‍රදානය කර ඇති නිලධාරීන් අතරට පාබල  හමුදාවේ අධ්‍යක්‍ෂක  ධුරයට පත්කරනු ලැබ ඇති  බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ එහි අධ්‍යක්‍ෂක  ජෙනරාල්  ලෙස  පත්කර ඇති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන අයත් වේ.

දේශප්‍රිය ගුණවර්ධන

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති 58වැනි සේනාංකයට අනුයුක්තව අවසන් මෙහෙයුම් සමයේදී ක්‍රියාකළ බ්‍රිගේඩියර් ගුණවර්ධන 581වැනි බලසේනාවේ අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ අයෙක් වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ දී ගම්පහ, රතුපස්වල ගම්වාසීන්  පානීය  ජලය ඉල්ලා පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ද බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට ය. 2013 අගෝස්තු පළමු වැනිදා සිදු වූ  මෙම වෙඩි තැබීමෙන් 14 හැවිරිදි පාසැල්  සිසුවෙකු ඇතුළු තවත් තරුණයන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 33 දෙනෙකු බරපතල තුවාල ලැබීය.

ඝාතන සම්බන්ධයෙන් අණදුන් නිලධාරියාට එරෙහිව මතුවූ ප්‍රබල විරෝධය හමුවේ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව විසින් බ්‍රිගේඩියර් ගුණවර්ධන තුර්කියේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට අනුයුක්ත කරනු ලැබිණි. 2017දී සිය ධූර  කාලය අවසන් කිරීමෙන් පසු යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිගේඩියර්වරයා, පසුව රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්  අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන පසුව නිදහස් කරනු ලැබුණි.

කැප්පෙටිවලාන

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ  නාවට්කුලි  හමුදා කඳවුරේ ප්‍රධානියා වශයෙන් ක්‍රියාකළ  දුමින්ද කැප්පෙටිවලාන දෙමළ තරුණ තරුණියන් 24 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන්  කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ අයෙකි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ වකවානුවේ දී ඔහුගේ අධි සහායක වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන 'සන්ඩේ ලීඩර්' කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ චෝදනාව යටතේ 2010 ජනවාරි මාසයේ දී අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදී. තෙමසක් බන්ධනාගාරගතව සිට නිදහස්වීමෙන් පසු විදේශගත වූ කැප්පෙටිවලාන 2015 ආණ්ඩු පෙරළියෙන් පසු  උසස්වීම් සහිතව යළිත් හමුදා සේවයේ පිහිටුවනු ලැබුනි.

පුද්ගල අතුරුදහන්  කිරීම  පිළිබඳ මේ වනවිට අධිකරණයට යොමු කොට ඇති හබයාස් කෝපුස්  නඩු 12කම  ප්‍රධාන චුදිතයා ලෙස නම්  කර ඇත්තේ  මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ය.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.