JDS Sinhala

ශ්‍රී ලංකාවේ ජන ජීවිත රැකීමට එක්සත් ජාතීන් අසමත් වූ බව මානව හිමිකම් ප්‍රධානියා කියයි

ය වසරකට පෙර ශ්‍රී ලංකාවේ යුද ගැටුමෙන් දහස් සංඛ්‍යාත මනුෂ්‍ය ජීවිත විනාශ වීම වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය  අසමත් වූ බව මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා  ආරක්ෂක මණ්ඩලය හමුවේ පිළිගත්තේය. ස්‍රෙබ්‍රෙනිට්සා හි ජන සංහාරයක් සිදුවූ බවට ගෙන ආ යෝජනාවක් සාකච්ඡා කිරීමට නිව්යෝක් නුවර රැස්වූ ආරක්ෂක මණ්ඩලය ඇමතූ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ විසි වසරකට පෙර පැවති සේම අදත් එක්සත් ජාතීන්ට ඉගෙන ගැනීමට බරපතල පාඩම් තිබෙන බව ය.

ජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා වන වගකීම ක්‍රියාවේ යෙදවීමට එක්සත් ජාතීන් සමත් වී නම් 2009 දී ශ්‍රී ලංකාවේ ජීවිත විශාල සංඛ්‍යාවක් රැකෙනු ඇති බවට මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විශ්වාසය පල කළේය. “සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීම සඳහා වන පොරොන්දුව අකුරට ඉටු කිරීමට නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර, නොබෙදුණු සහ පැහැදිළි අරමුණක පිහිටා සිටිය යුතු බව,” මහ කොමසාරිස්වරයා ජිනීවා සිට වීඩියෝ මගින් ආරක්ෂක මණ්ඩලය අමතා කියා සිටියේය.

2009 ශ්‍රී ලංකාව

2009 ශ්‍රී ලංකාව හෝ අද සුඩානය, සිරියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, බුරුන්ඩිය හෝ මියන්මාරය සම්බන්ධයෙන් කටයුතු එසේ වී නම්, දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිත කෙරේ එමගින් අත්විය හැකි ප්‍රතිවිපාක අපරිමිත වන්නට ඉඩ ඇති” බව මහ කොමසාරිස් සයිද් ප්‍රකාශ කළේය. සිදුවීම් කල්තියා සිතා ගන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවක පැවති නොහැකියාව අදත් පවතින බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළේය.

දශක දෙකකට පෙර ස්‍රෙබ්‍රෙනිට්සා වේ බොස්නියානු මුස්ලිම්වරුන් සමූහ වශයෙන් ඝාතනය කරනු ලැබීම ජන වර්ග සංහාරයක් ලෙස හෙලා දකින්නට ගෙන එනු ලැබූ යෝජනාව සාමාජික රටවල් 15 අතරින් දහයක් විසින් අනුමත කරනු ලැබුවත් රුසියාව විසින් නිශේධ බලය භාවිතා කිරීම හේතුවෙන් ආරක්ෂක මණ්ඩලය හමුවේ සම්මත වුයේ නැත. බොස්නියානු සර්බ් හමුදා විසින් 1995 දී මුස්ලිම්වරුන් අටදහසක් ඝාතනය කිරීම සැලකෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ දක්වා යුරෝපාකරයේ සිදුවූ දැවැන්තම සමූහ ඝාතනය ලෙසයි.

මහ ලේකම් විමර්ශනය

ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහ ලේකම් බන් කී මූන් විසින් 2013 පවත්වන ලද අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව ප්‍රකාශයට පත් කෙරුණේ, බරපතල මානව හිමිකම් කඩවීම් අරබයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ආයතනික වශයෙන් තම වගකීම ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි. කෙසේ වෙතත්, අඩුම වශයෙන් 70,000 ක් ඝාතනය කරමින් සිදුවූ ශ්‍රී ලංකාවේ යුද ගැටුම සම්බන්ධයෙන් වගකිව යුතු එක්සත් ජාතීන්ගේ  කිසිදු නිලධාරියකු හෝ ආයතනයක් හෝ සම්බන්ධයෙන් ගන්නා ලද පියවරක් මේ තාක් වාර්තා වී නැත.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.