JDS Sinhala

මැද පෙරදිග සිට පැමිණි තවත් දෙමළ තරුණයකු හතරවැනි තට්ටුවට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින මැද පෙරදිග රැකියාව නිමවා පෙරළා පැමිණි දෙමළ තරුණයකු ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගෙන තිබේ. ජූනි 27 වැනිදා කටුනායකදී අත් අඩංගුවට ගනු ලැබූ බහරේන් සිට පැමිණි තිස් හැවිරිදි කෝනේසපිල්ලේ කුගදාසන් රහස් පොලිසියේ හතරවැනි තට්ටුවේ රඳවාගෙන සිටින බව මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී අරියනේන්ද්‍රන් JDS වෙත පැවසීය.

හිටපු විමුක්ති කොටි සාමාජිකයකු වන පංගුලාවෙලි ගම්වාසී කුගදාසන් අත් අඩංගුවට ගෙන රඳවා සිටින්නේ ‘පුනරුත්ථාපනය’ සඳහා බව ඔහු බැලීමට ගිය ඔහුගේ සහෝදරයකුට පොලිසිය පවසා ඇති බව දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. කටාර් සහ සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී මීට ඉහත දෙවතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවල අත් අඩංගුවට නොගත් කුගදාසන් පුනරුත්ථාපනය කිරීමට නව රජය මේ වතාවේ තීරණය කළේ මන්දැයි ඔහු සිය විස්මය පළ කර සිටියේය.

19 වැනියා

2000 දී විමුක්ති කොටි සංවිධානයට බැඳුනු කුගදාසන්  2006 දී මඩකළපුවේ සිත්තාන්ඩි හමුදා කඳවුරට භාරවූ බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඔහු මැද පෙරදිග සේවයට ගොස් ඇත්තේ යුද හමුදාව විසින් නිදහස් කිරීමෙන් අනතුරුව බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූ පසු, විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදී 19 දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව හිටපු මන්තී‍්‍ර අරියනේන්ද්‍රන් ප්‍රකාශ කළේය.

“ඒ මට වාර්තා වී ඇති සංඛ්‍යාවයි. නිවැරදි ගණන, ඊට වැඩි වෙන්නත් පුළුවන්,” ඔහු තව දුරටත් කියා සිටියේය.

පසුගිය ගැටුම්කාරී කාල වකවානුව තුළ රටින් බැහැර වූ  පිරිස්වලට යළි මව්බිමට පැමිණෙන ලෙස නව ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිටම විවෘත ආරාධනාවන් කර ඇති අතර ආණ්ඩුව අවධාරණය කරන්නේ මේ වන විට රට තුළ ඕනෑම පුරවැසියකුට නිදහසේ ජීවත් විය හැකි නිදහස් හා සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව ය.☐

© JDS


සබැඳි පුවත්:

22.06.2015 - කටුනායකදී දහඅට වැනි දෙමළ ජාතිකයාත් අත් අඩංගුවට ගනියි
03.06.2015 - මැද පෙරදිග සිට ආ තවත් දෙමළ ජාතිකයෙක් කටුනායක දී අත් අඩංගුවට
25.04.2015 - 'මැතිවරණය නිමාවන තෙක් ලංකාවට එන්න එපා' - දෙමළ සන්ධාන මන්ත්‍රීගෙන් ඉල්ලීමක්
07.03.2015 - දෙමළ මව සහ දියණිය අත්අඩංගුවට ගැනීම ගැන ජනමාධ්‍ය බොරු කියයි
04.03.2015 - දෙමළ මව සහ අට හැවිරිදි දියණිය ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට
06.02.2015 - නිදහස් දාට පසුදාත් දෙමළ තරුණයෙක් ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
05.02.2015 - නිදහස් දිනයට පෙර දා දෙමළ තරුණයෙකු ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට



left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.