JDS Sinhala

කටුනායකදී දහඅට වැනි දෙමළ ජාතිකයාත් අත් අඩංගුවට ගනියි

විදෙස් සේවය සඳහා මැදපෙරදිග ගොස් ආපසු දිවයිනට පැමිණෙමින් සිටියදී, පසුගිය ජනවාරි 8 වැනිදා සිට මේ දක්වා කටුනායක ගුවන් තොටුපොළෙන් අත්අඩංගුවට ගැනුණු නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයන්හි පමණක් පදිංචි දෙමළ ජාතිකයන්ගේ සංඛ්‍යාව 18ක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියා සිටියි.

JDS වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී අරියනේන්දිරන් කියා සිටියේ, මෙසේ අත්අඩංගුවට ගැනුණු 18 දෙනාගෙන් මේ දක්වා මුදාහැර ඇත්තේ තුන් දෙනකු පමණක් බවයි. ඉතිරි 15 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමකින් හෝ තොරව රඳවාගෙන සිටින බව මන්ත්‍රීවරයා පවසයි.

හතර වැනි තට්ටුවේ රඳවාගෙන

මෙසේ විදේශ සේවයේ යෙදී සිට පෙරළා සියරට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට පත් 18 වැනියා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කරදියනාරු ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙ දරු පියෙක් වන කන්දප්පෝඩි තවරාසා ය. සෞදි අරාබියේ වසර දෙකක් සේවයේ නියුතුව සිට පසුගිය බ්‍රහස්පතින්දා (18) ආපසු සියරට පැමිණෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තය තුළ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. දැනට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතර වැනි තට්ටුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් වන කන්දප්පොඩි තවරාසා 1999 වසරේ දී එම සංවිධානයෙන් ඉවත්ව, විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව මැද පෙරදිග විදෙස් සේවය සදහා නික්ම යාමෙන් අනතුරුව නිවාඩු සඳහා කිහිප වතාවක් මෙරටට පැමිණ ඇත. ඒ කිසිම අවස්ථාවක දී ඔහු ගුවන්තොටුපොළේ දී හෝ වෙනත් ස්ථානයක දී හෝ අත්අඩංගුවට පත්වී නැතැයි ද පැවසේ.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් JDS වෙත විශේෂ ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පී අරියනේන්දිරන් කියා සිටියේ කිසිදු ඉවක් බවක් නැතිව දෙමළ තරුණයන් අත්අඩංගුවට ගත් පසුගිය ආණ්ඩු සමයේ පවා කිහිප වතාවක් නිරුපද්‍රිතව නැවත සියරට පැමිණි, වසර 15කට 20කට පෙර එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්ව විදෙස් රැකියාවන් සඳහා ගිය දෙමළ ජාතික තරුණයන් නීතිය හා සාමය තහවුරු කරන බවට පොරොන්දු වී බලයට පත් නව යහපාලන ආණ්ඩුව යටතේ සියරට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීම කණගාටුදායක තත්ත්වයක් බව යි.

'ඇමැතිවරයාටත් කරුණු කිව්වා'

"අත්අඩංගුවට ගෙන ඇති ඇතැමුන් දීර්ඝ කාලයක් එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වී සිට, පවුල් ජීවිතවලට ඇතුළත් වූ, ඇතැම් විට ආණ්ඩුවේ පුනරුත්ථාපන වැඩසටහන්වලින් පවා නිදහස් වූ අයයි. මෙසේ විදෙස් රැකියාවල නියුතුව සිට ආපසු පැමිණෙන්නන් අත්අඩංගුවට ගැනීම නවත්වන ලෙසත්, එයින් ආණ්ඩුව කෙරේ දෙමළ ජනතාව තුළ අවිශ්වාසය වර්ධනය වන බවත් මා මහජන සාමය හා ආපදා කලමණාකරණ ඇමැති ජෝන් අමරතුංගට කිහිප වතාවක්ම කියා සිටියා. විදේශ ඇමැති මංගල සමරවීර ලන්ඩනයට ගොස් දෙමළ ඩයස්පෝරා සංවිධාන සමග සාකච්ඡා කරනවා. ඩයස්පෝරා උත්සව පවත්වන්න සූදානම් වෙනවා. ඒ අතරේ මැදපෙරදිග දහඩිය මහන්සියෙන් රැකියා කර ආපසු පැමිණෙන අහිංසක දෙමළ තරුණයන් දිගින් දිගටම අත්අඩංගුවට ගෙන කාල නියමයක් නැතිව රඳවාගෙන ඉන්නවා. මේක රට ඇතුළට එක ප්‍රතිපත්තියකුත් ජාත්‍යන්තරයට තව ප්‍රතිපත්තියකුත් පෙන්වන දෙබිඩි පිළිවෙතක්," ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ ගැටලු අවංකව තේරුම් ගෙන අවම වශයෙන් තමන්ට නිදහසේ ජීවත් වීමේ අවස්ථාව හෝ ලබාදෙනු ඇතැයි දෙමළ ජනයා විශ්වාස කළ බව පවසන අරියනේන්දිරන් මන්ත්‍රීවරයා, දිගින් දිගටම සිදුවන මෙවැනි අසාධාරණයන් නිසා මේ ආණ්ඩුවත් කලින් පැවැති ආණ්ඩුව මෙන්ම නොනවත්වා දෙමළ ජනයා පීඩාවට පත්කරන ආණ්ඩුවකැයි යන සැකය ඔවුන් තුළ තහවුරු වෙමින් තිබෙන බව ද ප්‍රකාශ කළේය.☐

© JDS


left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.