JDS Sinhala

මළවුන් සමරන ජනයාගේ ඡායාරූප ගන්නට යහපාලනයත් ඔත්තුකරුවන් යොදවයි

න්නි යුද්ධයේ අවසන් අදියරේ දී ඝාතනය වූවන් සැමරීම පිණිස මුල්ලිවයික්කාල්හි දී සඳුදා (18) පැවැති අන්තර් ආගමික මෙහෙයකට සහභාගී වූ ජනයා ඡායාරූපයට නැගීමට සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් යොදවා සිටි බව සනාථ කැරෙන ඡායාරූපමය සාක්‍ෂි JDS වෙත ලැබී තිබේ.

මුල්ලිවයික්කාල් හි සිදු වූ අවසන් සංහාරයෙන් මියගිය ජනයා සැමරීම පිණිස යුද්ධය නිමාවීමෙන් පසු එම ස්ථානයේදී පැවැත් වූ පළමු ආගමික වැඩ සටහන සඳහා හින්දු, මුස්ලිම්, කතෝලික හා බෞද්ධ පූජකයෝ සහභාගී වී සිටියහ. දහසකට නොඅඩු ජනකායක් ද එම අවස්ථාවට එක් වී සිටි අතර, මරණයට පත්වූවන් වෙනුවෙන් නිර්මාණය කළ සොහොන් කොත් ආකෘතිවලට පුෂ්පෝපහාර දැක් වූ ජනයා හඬා වැළපෙමින් සිය මියගිය ඥාතීන් සිහිපත් කර ආගමික වතාවත්වල යෙදුණාහ.

සිවිල් ඇඳුමින් සැරසුණු  හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රැස්ව සිටි ජනයා අතර ගැ‍වසෙමින්, ඔවුන්ගේ ඡායාරූප ගැනීමට කටයුතු කර ඇත්තේ මෙම අවස්ථාවේදී ය.

සැමරුම් තහනම්

මේ අතර මුල්ලිවයික්කාල් ප‍්‍රදේශය ද ඇතුළත් මුලතිව් පොලිස් වසම තුළ මළවුන් සැමරීමේ වැඩසටහන් මැයි 18 වැනිදා සිට දින 14කට තහනම් කරමින් මුලතිවු මහේස්ත්‍රාත්වරයා මගින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට මුලතිවු පොලිසිය කටයුතු කර තිබුණි. අදාළ නියෝගයේ පිටපත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ටී. රවීකරන් වෙත සෙනසුරාදා (16) භාර දී තිබේ. කෙසේ වුවද, පසුගිය වර්ෂයේ මෙන්ම හමුදා බාධාකිරීම් නොතකා, යාපනය අර්ධද්වීපයේ සහ වන්නි ප්‍රදේශයේ විවිධ ස්ථානවල මළවුන් සැමරීමේ වැඩසටහන් ජනතාව විසින් සංවිධානය කරනු ලැබ තිබුණි.

 රාජපක්ෂ ආණ්ඩුව විසින් පත්කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම (LLRC) උතුරු සහ නැගෙනහිර පළාත්වල සාක්ෂි විමසීම් සිදුකරද්දී, සාක්කි දීමට පැමිණි ජනයා ද මේ ආකාරයෙන්ම ඡායාරූප හා වීඩියෝගත කිරීමට හමුදා බුද්ධි අංශ ක්‍රියා කළ බවට  මීට ඉහත දී වාර්තා විය.☐

 © JDS

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.