JDS Sinhala

යුද්ධයෙන් පසු ලිංගික හිංසනයන් ඉහළ යාම ගැන එක්සත් ජාතීන්ගේ අවධානය

යුද ගැටුම් අවසන් වී වසර පහක් ගෙවී ගොස් තිබුන ද ශ්‍රී ලංකාව තුළ දෙමළ ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක් හෙළි කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කින් මූන් පසුගිය සඳුදා (13) නිකුත් කළ මෙම වාර්තාව මගින්  පෙන්වා දී ඇත්තේ පුනරුත්ථාපනය සහ නැවත පදිංචි කිරීම පිළිබඳ ප්‍රශංසනීය වැඩ කොටසක් ශ්‍රී ලංකාව ඉටු කර තිබුණ ද පැහැර ගැනීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, වධ බන්ධනයට ලක් කිරීම්, ලිංගික බලහත්කාරය හා අනෙකුත් ලිංගික හිංසනයන් යුද ගැටුම් අවසන් වූ කාලය තුළ වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවයි.  ඔවුන් ජීවත්වන ගම්බිම් ප්‍රදේශ මිලිටරිකරණයට ලක් කිරීමත් සමග ස්ත්‍රීන් හා ළමුන්ට එරෙහිව ලිංගික බලහත්කාරය, හිංසන ක්‍රියාවන් සැළකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

එල්ටීටීඊ සාමාජිකාවන්

රජයේ හමුදා අත් අඩංගුවේ සිටියදී තමන්ට සිදු කළ ලිංගික වධ බන්ධන හා වර්ගවාදී පරිභව කිරීම් ගැන පසුව නිදහස් වූ බොහෝ කාන්තාවෝ හෙළි දරව් කර තිබේ. යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ හා යුද්ධය අවසන් වීමෙන් පසු ගෙවුණු කාලය තුළ දෙමළ කාන්තාවන්ට එරෙහිව  රජයේ ආරක්‍ෂක හමුදා විසින් සිදු කරනු ලැබූ ලිංගික ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු විධිමත්ව ලේඛණ ගතව තිබුණද ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නැති බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි. එමගින් වැඩි දුරටත් අවධාරණය කොට ඇත්තේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ගෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් දෙමළ විමුක්ති කොටි සංවිධානය සමග පෙර සබඳතා තිබු බවට රජයේ හමුදාවන් විසින් අනාවරණය කරගත් අය බව ය.

ගැටුම්කාරී තත්ත්වයන් තුළ සිදු කෙරෙන ලිංගික ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට නම් ඒ සඳහා වග වීම හා සහතික වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ වාර්තාව ඉල්ලා සිටියි. මෙම තත්වයන් වළක්වා ගැනීම සඳහා අදාළ වාර්තාව මගින් වත්මන් යහපාලන ආණ්ඩුවට යෝජනා කොට ඇත්තේ ලිංගික හිංසන ක්‍රියා ගැන චෝදනා එල්ලවූ රජයේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව විමර්ශන කිරීම, දිවි ගළවාගත්තවුන්ට අවශ්‍ය බහු ආංශික සේවාවන් සැපයීම, යුද වැන්දඹුවන්, විපතට පත් කාන්තාවන් ඇතුළු ස්ත්‍රීන් ගෘහ මූලිකත්වය දරන පවුල්වලට සිය ආර්ථිකය සවිමත් කිරීම සඳහා වැඩසටහන් ඇරඹීම ආදී පියවර ක්‍රියාත්මක කරන ලෙසයි.

දණ්ඩ මුක්තිය

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, කොන්ගෝව, ඉරාකය, ලිබියාව, යේමනය, නයිජීරියාව, සිරියාව, කොලොම්බියාව, මියන්මාරය, සෝමාලියාව ඇතුළු රටවල් 19 ක් ගැන 2014 වසරේ සිට සිදුවූ ලිංගික ප්‍රචණ්ඩත්වය පිලිබඳ අවධානය යොමු කරමින් සකස් කර ඇති ඉහත වාර්තාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කරන ප්‍රධාන කරුණ වන්නේ ගැටුම් මැද සිදුකරනු ලැබූ ලිංගික හිංසනයන්ට සම්බන්ධ පුද්ගලයන්ට දීර්ඝ කාලීනව හිමිව ඇති දණ්ඩ මුක්තියයි.

මහ ලේකම්වරයාගේ නව වාර්තාව පිළිබඳ අදහස් දක්වන හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව වැනි රටවල දිග්ගැසුණු ගැටුම් විසින් ඇතිකොට ඇති දීර්ඝ කාලීන බලපෑම  ලිංගික හිංසනයන් මගින් පෙන්නුම් කරන බවයි. අදාළ හිංසනයන්ට වගකිව යුතු වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හමුවේ එවැනි හිංසනයන් පිළිබඳ විධිමත් විශ්වාසනීය පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරෙන බව ද එම සංවිධානය ප්‍රකාශ කර සිටියි.

මීට පෙර 2014 මාර්තු මාසයේදී එළිදක්වන ලද වාර්තාවක් මගින් ද ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන රඳවා තබනු ලැබූ දෙමළ කාන්තා හා පිරිමි සැකකරුවන් බරපතල ලිංගික හිංසනයන්ට ගොදුරු කරමින් ඇති බව හෙළිදරව් කර තිබුණි. ප්‍රකට දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිඥවරියක හා ජාත්‍යන්තර නීති විශාරදවරියක වන යස්මින් සූකා සහ එංගලන්තයේ හා වේලසයේ නීතිඥ සංගමයට අනුබද්ධ මානව හිමිකම් කමිටුවේ සම කර්තෘත්වයෙන් විසින් එළිදක්වන ලද මෙම වාර්තාව මගින් ලිංගික හිංසනයන්ට පාත්‍ර වූ වින්දිතයන් 40 දෙනෙකුගේ ප්‍රකාශ, වෛද්‍ය වාර්තා හා මනෝ චිකිත්සක ඇගයුම් කොට ඉදිරිපත් කර තිබුණි. යස්මින් සූකා, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් 2010දී ශ්‍රී ලංකාව පිළිබඳ පත්කළ පළමු ත්‍රි පුද්ගල විමර්ශන කමිටුවේ සාමාජිකාවක් ද වූවා ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.