JDS Sinhala

අම්පාර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පරණගම කොමිසම වර්ජනයට සැරසේ

ම්පාරට පැමිණීමට නියමිත අතුරුදහන් කරනු ලැබුවන්  සොයා බැලීමේ ජනාධිපති කොමිසම වර්ජනය කිරීමට දිස්ත්‍රික්කයේ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කල මෙම විශේෂ ජනාධිපති කොමිසමේ කිසිදු වෙනසක් නොමැතිවම වත්මන් යහපාලන ආණ්ඩුව යටතේද ක්‍රියාත්මක වීම එම ඥාතීන්ගේ විරෝධයට හේතුවී තිබේ.

අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් කරනු ලැබුවන්ගේ  ඥාතීන්ගේ සංගමයේ ක්‍රියාධරයෙකු වන කේ.ගනේෂ්  JDS වෙත කියා සිටියේ මෙම කොමිසම පිළිබඳව ඔවුන්ට කිසිදු විශ්වාසයක් නොමැති බව ය.

“දැන් අවුරුදු කිහිපයක් තිස්සේ මේ කොමිසමට ලැබිල තියෙනවා අතුරුදහන් කරනු ලැබුවන්  ගැන පැමිණිලි 20,000 ක් විතර. එත් කොමිසම කියන විදිහට ඒ ගොල්ලෝ හොයලා තියෙන්නේ මෙච්චර කාලෙකට පැමිණිලි 2000 ක් ගැන විතරයි. මේවගේ කොමිසම් ගොඩක් දාලා තිබුණත් ඒ එකකින් වත් වැඩක් වුණේ නැහැ,”  ඔහු ප්‍රකාශ කළේය.

අම්පාර දිස්ත්‍රික්කය පුරා 1983 වසරේ සිටම අතුරුදහන් කරනු ලැබූ පුද්ගලයන් ගැන පොදු වාර්තාවක් කොමිසම හමුවට ඉදිරිපත් කළ ද වෙන් වෙන් වශයෙන් කරුණු දැක්වීමට යොමු නොවන  බව ගනේෂ් පැවසීය. ගෙවී ගිය දශක කිහිපය පුරා අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ, නින්දවූර්, ආලෛඅඩිවෙම්බු , සමන්තුරේ , පොතුවිල් ,අක්කරෛපත්තු , තිරුක්කෝවිල් ප්‍රදේශ වලින් අතුරුදහන් කිරීමේ සිද්ධි  3000 ක් පමණ වාර්තා වී ඇත.

පැරණි කොමිසමට විරෝධය

අප්‍රේල් 6 ,7 සහ 8 තෙදින තුළ අම්පාර දිස්ත්‍රිකයේ සිය විමර්ෂණ කටයුතු පවත්වන බව අතුරුදහන් කරනු ලැබුවන් ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම පසුගිය දා නිවේදනය කළේය.

අතුරුදහන් වුවන් සොයා දෙන ලෙස ඉල්ලා සිටිමින්, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල සෑම දිස්ත්‍රික්කයකම උද්ඝෝෂණ රැල්ලක් පැතිර ගිය අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අතුරුදහන් වුවන් පිලිබඳ සොයා බැලීමේ ජනාධිපති කමිටුවේ කාලය අගෝස්තු 15 දක්වා දීර්ඝ කරනු ලැබුණි.  ඒ අනුව මැක්ස්වෙල් පරණගමගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කොමිසම ඉකුත් මස මුලදී ත්‍රිකුණාමලයේ සහ මඩකලපුවේ සිය විමර්ශන කටයුතු වලට පැමිණියේ කොමිසමේ කිසිදු වෙනස් නොමැතිවය. රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ පරණගම කොමිසම නව ජනාධිපතිවරයා යටතේ ද කිසිදු වෙනසක් නොමැතිව යලි ක්‍රියාත්මක වීම ගැන ප්‍රදේශයේ  අතුරුදහන්වුවන්ගේ ඥාතින් සිය විරෝධය දක්වමින් එය වර්ජනය කරනු ලැබිණි.

කල් දැමුණු අතුරු වාර්තාව

යුධ සමයේ අතුරුදහන් කරනු ලැබුවන් ගැන සොයා බලන ලෙස ආණ්ඩුවට බලපෑම් කරන උද්ඝෝෂණයකදී දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ  පරණගම කොමිසම පිලිබඳ දෙමළ ජනයාට කිසිදු විශ්වාසයක් නොමැති බවය. අතුරුදහන් කරනු ලැබුවන් පිලිබඳ මෙතෙක් කරන ලද විමර්ශනයන් ගැන අතුරු වාර්තාවක් හෝ ලබා දෙන්නේ නම් කොමිසම කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගෙනු ඇති බවද ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා එහිදී  අවධාරණය කළේය.

අතුරුදහන් කරනු ලැබූවන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම කියා සිටියේ  මෙතෙක් කරනු ලැබූ විමර්ෂණ ගැන ජනාධිපතිවරයාට අතුරු වාර්තාවක් ලබා දෙන බවය. ඒ, මාර්තු 18 වෙනිදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී  එළි දැක්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ විමර්ෂණ වාර්තාවට  සමගාමීවය. එහෙත් නව ආණ්ඩුවේ ඉල්ලීම මත එම වාර්තාව ලබන සැප්තැම්බර් මස දක්වා කල් දැමුණු අතර පරණගම කොමිසම් වාර්තාවද  ජනාධිපතිවරයා වෙත ලබා දීම දින නියමයක් නොමැතිවම කල් දැමුණි. ජනාධිපති සිරිසේන නියම කරන  දිනයක අතුරු වාර්තාව ඉදිරිපත් කිරීමට හැකි බව කොමිසමේ සභාපතිවරයා දින කිහිපයකට පසු මාර්තු 23 වැනිදා ආණ්ඩුවේ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.

දැනට කොමිසම වෙත අතුරුදහන් කරනු ලැබුවන් පිලිබඳ පැමිණිලි 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවත් ඉන් 5000ක් පමණ රජයේ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන් කරන ලද පැමිණිලි බවද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත. කොමිසම මගින් මෙතෙක් විමර්ශනය කර ඇත්තේ පැමිණිලි 2000ක් පමණි. JDS වෙත ලැබෙන තොරතුරු  සනාත කරනුයේ අතුරු වාර්තාව ලබන සැප්තැම්බර් මාසය වන තෙක් ප්‍රසිද්ධ නොකරන බව ය.

ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් වලින් ගැලවීම සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පරණගම කොමිසම පිහිටුවීමේදී ඊට අනතර්ජාතික පිළිගැනීමක් ලබාගනු වස් නාම මාත්‍රික ජාත්‍යන්තර උපදේශක මඩුල්ලක් පත් කරන ලදී. ඩෙස්මන් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් උපදේශක මඩුල්ලට ජෙෆ්රි නයිස්, ඩේවිඩ් ක්‍රේන්, අව්දාෂ් කෞෂාල් , අහ්මර් බිලාල් සූෆී සහ මෝටූ නගුචි ඇතුලත් විය.

'ජීවිතයක් ලක්ෂයයි'

බහුතර දෙමළ ජනතාවක් වාසය කල අම්පාර දිස්ත්‍රික්කය තුළ මේ වන විට දෙමළ ජනයා සුළුතරය බවට පත්ව ඇති බව පවසන කේ . ගනේෂ් පෙන්වා දෙන්නේ ඉතාමත් සැලසුම් සහගත ලෙස දෙමළ ජන සංහාරයක් නැගෙනහිර පළාත දශක ගණනාවක සිට ක්‍රියාත්මක බව ය. ඔවුන්ම අතුරුදහන් කර දැමු අයට අවම යුක්තිය හෝ ඉටුකිරීමට
ක්‍රියා නොකොට පරණගම කොමිසම යෝජනා කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

“අතුරුදහන් කරනු ලැබුවන් වෙනුවෙන් එයාලගේ ඥාතීන්ට රුපියල් ලක්‍ෂය ගානේ දෙන්න කොමිසම උත්සාහ කරන්නේ. ඊට අමතරව මරණ සහතිකෙකුත් දෙන්නයි සැළැසුම තියෙන්නේ. අපේ නැතිවුණ මිනිස්සුන්ගේ ජීවිතයක් වටින්නේ රුපියල් ලක්‍ෂයක්ද?” ඔහු වැඩි දුරටත් විමසා සිටියේය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.