JDS Sinhala

ශ්‍රී ලංකාවේ පොලිස් පුහුණුව ගැන ස්කොට්ලන්ත පොලීසියට පෙත්සමක්

ශ්‍රී ලංකාවේ පොලිස් භටයන් පුහුණු කිරීම අත් හිටුවන ලෙස ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින මහජන පෙත්සමක් දියත් කොට තිබේ. ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානී ස්ටීවන් හවුස් වෙත භාර දීමට සැලසුම් කොට ඇති පෙත්සමින් කියැවෙන්නේ මාර්තු මස අගදී අවසන් වන පොලිස් පුහුණු වැඩ සටහන ඉන් ඉදිරියට නොපවත්වන ලෙසයි.

2007 සිට ස්කොට්ලන්ත පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිස් භටයන් හා නිලධාරීන් හට දෙරටේදීම පුහුණුව ලබාදී තිබේ. උපායික සංවර්ධන අංශයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ පොලිසියට සහාය වීම පුහුණුවේ අරමුණ බව ස්කොට්ලන්ත පොලිසිය පවසයි. ඊට අනුග්‍රහය දක්වන්නේ ස්කොට්ලන්තයේ ආරක්ෂක අංශ සංවර්ධන උපදේශක කණ්ඩායමයි. ස්කොට්ලන්තයේ පළ කෙරෙන 'ද හෙරල්ඩ්' පුවත්පත ට එරට පොලිසිය විසින් කරන ලද ප්‍රකාශයකට අනුව පසුගිය වසරේ ශ්‍රී ලාංකික වැඩ සටහනේ අරමුණ ලෙස දක්වා තිබු‍ණේ 'පොලිස් පුහුණුවේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පිහිටුවා ලීම,' යි.

'වධ දීම් සහ මරණ'

පුහුණු වැඩ සටහන අත් හිටුවන ලෙස ඉල්ලා සිටින පෙත්සම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පොලිසියට මානව හිමිකම් උල්ලංඝන සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති බවයි. පුහුණුව ආරම්භ වූ කාලයේ සිට මානව හිමිකම් කණ්ඩායම් ඊට විරෝධය පා ඇත. පුහුණු වැඩ සටහන වෙනුවෙන් අරමුදල් සපයන බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේම වාර්තාවක් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොලිස් අත් අඩංගුවේ දී 'වධ දීම් සහ මරණ' සිදුවන බවයි.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ මෑතම වාර්ෂික වාර්තාව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ රජයේ හමුදා සහ පොලිසිය නීති විරෝධී අත් අඩංගුවට ගැනීම් සහ වධ හිංසා පැමිණවීම් නිරන්තරයෙන්ම සිදු කරන බවයි."මානව හිමිකම් ක්‍රියාධාරින් සහ අතුරුදහන් කරනු ලැබූ අයගේ ඥාතීන් තර්ජනයට ලක් කොට අත් අඩංගුවට ගනු ලබනු අතර, සුළුතර ආගමිකයන්ට එරෙහි ප්‍රහාරවලට දඬුවම් දී නැති," බව ඇම්නස්ටි ජාත්‍යන්තරයේ ස්කොට්ලන්ත වැඩ සටහන් අධ්‍යක්‍ෂ ෂෝවාන් රියර්ඩන් පවසයි.

ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් ම පොලිස් ප්‍රධානියා වෙත යවන පෙත්සමට සහාය දක්වා තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.