JDS Sinhala

'රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන හෙළි කරන්න' - ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය

ත් අඩංගුවේ පසුවන සියළුම රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන ප‍්‍රකාශයට පත්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ඔවුන් මේ බව කියා සිටියේ බදාදා  (25) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එම කවුන්සිලයේ 28 වැනි සැසිවාරය අමතමින් ක්‍ෂමා ආයතනය වැඩි දුරටත් ඉල්ලා සිටියේ සියළු රැඳවියන්ගේ ඥාතීන්ට ඔවුන් බැලීමට අවසර ලබාදීමටත්, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව රැඳවියන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ එසේ නැති නම් ඔවුන් නිදහස් කිරීමටත් නොපමවා ක්‍රියාකරන ලෙස ය. බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම පිළිගැනීම ඇතුළු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කරගැනීම සඳහා අත්‍යාවශ්‍යව ඇති ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අවධාරණය කර සිටි ඔවුන් ඒ සඳහා 2015 සැප්තැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ‍්‍රී ලංකාව පිළිබඳ සිය පරීක්ෂණ වාර්තාව සලකා බලන තෙක් කාලය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා තමන් ශ‍්‍රී ලංකාව දිරිගන්වන බවත් ප‍්‍රකාශ කර සිටියේය.

ක්‍ෂමා ආයතනය විසින් කළ සම්පූර්ණ ප‍්‍රකාශය පහත දැක්වේ.

'ශී‍්‍ර ලංකාව තුළ උල්ලංඝනය කිරීම් හා අපයෝජනයන්ට ගොදුරු වූවන් සම්බන්ධයෙන් පූර්ණ වගවීමක් හා යුක්තිය ඉටුවීමක් බෙහෙවින්ම අත්‍යාවශ්‍යව ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ‍ශ්‍රී ලංකාවේ අතීත එදිරිවාදී සබඳතාව අහිතකර සේම පලදායී නොවූවකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ කටයුතු ‘‘ප‍්‍රමුඛත්වයෙහි තැබීම’’ සඳහා එහි නව කැපවීම බලාපොරොත්තු ඇතිකරන්නක් වුවත්, එයට අපරාධ සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ සත්‍යය හෙළි කිරීම කිරීම හා යුක්තිය ඉටු කිරීම ද ඇතුළුව සංයුක්ත කි‍්‍රයාකාරකම් මගින් පිටුබල සැපයිය යුතු ය.

මේ උත්සාහය සාර්ථක කරගැනීමේ දී තාක්ෂණ සහයෝගීතාව අත්‍යාවශ්‍ය වේ.

යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්‍ෂණයක් හා අධිකරණ පද්ධතියේ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලබා දී ඇති පොරොන්දු විසින් ප‍්‍රගතිය සඳහා සහාය වීම හා දිරිගැන්වීම මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයන් පළිගැනීමට ලක්වීම වළක්වාගැනීමක් සඳහාත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්‍ෂාකාරී වීමේ ජාත්‍යන්තර කි‍්‍රයාකාරීත්වයක අවශ්‍යතාව නිශේධ නොකරයි.

යුද්ධයේ කවර පාර්ශවයක් විසින් හෝ කරන ලද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සිදු කරන පරීක්ෂණයෙන් අදාළ සාක්ෂි අනාවරණය කරගන්නා අවස්ථාවන්හි දී, දේශීය හා ජාත්‍යන්තර විශේෂඥ දැනුමෙහි වාසිය ලබාගනිමින්, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල ලෙස අදාළ වගකිවයුත්තන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කි‍්‍රයාවලියකට හා වින්දිතයන්ට සත්‍යය හා හානි පූර්ණතා ලබාදීමට ජාත්‍යන්තරය වහාම දායකත්වය දිය යුතු ය.

මෙම සැසිවාරය හා සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකාවේ කැමැත්ත වනාහී පසුගිය දශකයන්හි දී මානව හිමිකම් හා නීතියේ පාලනයට කරන ලද හානිය පිළිසකර කරගැනීම සම්බන්ධයෙන් එහි නායකයන් බැරෑරුම්ව කල්පනා කරනු ඇති බවට බලාපොරොත්තු ඇති කරන ලකුණකි.

2015 සැප්තැම්බරයේ දී මෙම කොමිසම මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සිදු කරන පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් සළකා බලන මොහොත දක්වා ඇති කාලය රටේ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට නිශ්චිත ක්‍රියාමාර්ග සඳහා යොදාගන්නා මෙන් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය ශ‍්‍රී ලංකාව දිරිගන්වමින් ඉල්ලා සිටියි. සියලූ රැඳවියන්ගේ නම් සහ රැඳවුම් ස්ථාන ප‍්‍රකාශයට පත්කරමින් පවුල්වල උදවියට ඔවුන් බැලීමට අවසර ලබාදීම, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව රැඳවියන්ට එරෙහිව නීතිය කි‍්‍රයාවේ යෙදවීම හෝ ඔවුන් නිදහස් කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා බලහත්කාරී අතුරුදහන් කිරීම්වලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ගිවිසුම පිළිගැනීම යන කාරණා මෙම මානව හිමිකම් වැඩිදියුණු කිරීමට ඇතුළත් විය යුතු ය.'

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.