JDS Sinhala

හත් වසරක් අතුරුදහන්ව සිටි තරුණයෙක් වැලිකඩ සිරගෙදරින් මතුවෙයි

 

සර හතකට පෙර මන්නාරමේදී අතුරුදහන් වූ තරුණයෙකු වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කොට සිටිය දී ඔහුගේ පවුලේ ඥාතීන්ට හමුව තිබේ.

මන්නාරමේ මුල්ලිමුනේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන ඇන්ටන් කැණීස්ටන් බිකිරාටු 2008 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා  නාඳුනන පිරිසක් විසින් පැහැරගනු ලැබුයේ ඔහු සිය නිවසේ සිටියදී ය. පැහැරගත් පුතු සොයමින් ඔහුගේ මව මානව හිමිකම් සංවිධාන, දේශපාලනඥයින්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා අතුරුදහන් වුවන්ගේ කොමිෂන් සභාව ඇතුළු සෑම තැනකටම දැනුම් දෙමින් සොයා බැලුවද කිසිදු තොරතුරක් දැන ගැනීමට අසමත්ව තිබිණ.

නමුත් මේ වසරේ ජනවාරියේ දී සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ සමරනු ලැබු තෛපොංගල් උත්සවයේ අවස්ථා දක්වමින් පළ වූ මාධ්‍ය වාර්තා අතර තිබූ ඡායාරූපයක නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමෙන් පසු අතුරුදහන් වූ බවට විශ්වාස කළ ඇන්ටන් කැණීස්ටන් ද සිටින බවට ඔහුගේ මව විසින් හඳුනාගෙන තිබේ.

හබෙයාස් කොපුස් පෙත්සමක්

මේ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලා ඔහුගේ මව විසින් නීතිඥ  කේ එස් රත්නවේල්  මාර්ගයෙන් ගොණු කරන ලද හබෙයාස් කෝපුස් පෙත්සමක් මන්නාරම මහේස්ත්‍රාත් ඇලෙක්ස්රාජා ආශීර්වාදන් කේසියන් විසින් සඳුදා (16) විභාගයට ගන්නා ලදී. ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ මේ පිළබඳ වැලිකඩ බන්ධනාගාරයෙන් විමර්ශනය කර, අදාළ පුද්ගලයා පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් සමග ඔහු වහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ය.

එමෙන්ම, මෙතෙක් කලක් මෙම තරුණයා අධිකරණයට ඉදිරිපත් නොකිරීමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කරනු ලැබුයේ කුමන හේතු නිසාද යන්න විමසන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැන්විය.

වැඩිදුර විභාගය මාර්තු 27 වැනිදා තෙක් කල් තැබිණි.

© JDS

 

 

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.