JDS Sinhala

ඇප මත නිදහස් කළ ජෙයකුමාරිගේ දියණිය තවමත් පරිවාස භාරයේ

සරකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ රඳවා සිටි බාලේන්දිරන් ජෙයකුමාරි පසුගියදා ‍ඇප පිට නිදහස් කරනු ලැබුවද, පරිවාස භාරයේ පසුවන ඇයගේ දියණිය මේ වනතුරුත් ඇය වෙත ලබා දීමට පියවර ගෙන නොමැත.

ඉකුත් වසරේ මාර්තුවේදී අත් අඩංගුවට ගන්නා ලද ජෙයකුමාරිගේ දහතුන් හැවිරිදි දියණිය වූ බාලේන්දිරන් විබූශිකා අධිකරණ නියෝග මත පරිවාස භාරයට පත්කරන ලද අතර ඒ අනුව ඇය කිලිනොච්චියේ පිහිටි මහාදේවන් ළමා නිවාසය වෙත යොමු කෙරුණි. ඇප මත නිදහස් වීමෙන් පසු සිය දියණියගේ භාරකාරත්වය ලබා ගැනීමට සෙනසාරාදා (14) එම ළමා නිවාසය වෙත ගිය ජෙයකුමාරිට සිය දියණිය හමුවීමේ අවස්ථාව ලැබුණු නමුත් විබුශිකා මේ වනවිටත් සිටින්නේ මහදේවන් ළමා නිවාසයේ භාරකාරත්වය යටතේය. අදාළ පරිවාස නිලධාරීන් පවසනුයේ විබුශිකාගේ භාරකාරත්වය උසාවිය මගින් ලබා දෙන නියෝගයක් මත, ඇගේ මව විසින් සිය අනන්‍යතාවය ඔප්පු කළ හැකි ලිය කියවිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණක් ලබාදිය හැකි බව ය.

මේ හේතුවෙන් විබූශිකාගේ භාරකාරත්වය ඇයගේ මවට ලබාදෙන මෙන් ඉල්ලා කිලිනොච්චි අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජෙයකුමාරිගේ නීතිවේදීහු JDS වෙත පැවසුහ.

අනන්‍යතා ලියැවිලි

අත් අඩංගුවට පත්වීමෙන් පසුව ජෙයකුමාරි සතුව තිබු හැඳුනුම් පත ඇතුළු සියලු ලිපි ලේඛණ ත්‍රස්ත විමර්ෂණ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඇප මත මුදා හැරීමේදී අදාළ ලියකියවිලි පෙරළා ලබා දීමට පියවර ගෙන නොමැත. සිය අනන්‍යතා සහතික නොමැතිව ඕමන්තේ මුරපොල හරහා ඇයට කිලිනොච්චිය බලා පැමිණීමට නොහැකි හෙයින් සිය අනන්‍යතා ලිය කියවිලි පෙරළා තමන්ට ලබාදෙන මෙන් ඇය ඉකුත් බ්‍රහස්පතින්දා (12) සිය නීතිඥයින් මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් අදාළ ලේඛණ ඇය වෙත ලබාදීමට කටයුතු කර තිබේ.

දැඩි ඇප කොන්දේසි

2014 මාර්තු 13 වෙනිදා කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ සිව් දරු වැන්දඹු මවක් වන ජෙයකුමාරිගේ වැඩිමහල් පිරිමි දරුවන් දෙදෙනෙක් යුද්ධය පැවති වකවානුවේ ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඇයගේ බාල පුතු යුද්ධය අවසානයේ මුල්ලිවයික්කාල්හි දී රජයේ හමුදා වෙත බාරවීමෙන් පසු අතුරුදහන්ව ඇතැයි සැළකේ.

ත්‍රස්ත විමර්ශන අංශ විසින් සාක්‍ෂි ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් චෝදනා රහිතව වසරකට ආසන්න කාලයක් සිර භාරයේ පසු වූ ඇය දැඩි කොන්දේසිවලට යටත්ව මාර්තු 10 වැනිදා නිදහස් කරන ලද අතර නියම වූ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපයට අමතරව රටින් බැහැර වීම තහනම් කරමින් සෑම මසකම අවසන් ඉරිදා පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට වාර්තා කළ යුතු බවට ද නියම කෙරිණ.

අදාළ චෝදනා පිළිබඳ වැඩිදුර විභාගය ජුලි 7 වැනිදා තෙක් කල් දැමුණු අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසද අධිකරණය විසින් ජෙයකුමාරිට නියෝග කරන ලදී.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.