JDS Sinhala

දෙමළ මව සහ දියණිය අත්අඩංගුවට ගැනීම ගැන ජනමාධ්‍ය බොරු කියයි

ජයේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන දෙමළ ජාතික මව සහ ඇගේ දියණිය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා තහවුරු කර නොගත් ඒකපාර්ශ්වික කරුණු මත පදනම් වී ඇතැයි ජේඩීඑස් විසින් සිදුකළ විමර්ශනයන් මගින් පෙන්නුම් කරයි.

මාර්තු දෙවැනිදා ශ්‍රී ලංකාවෙන් ප්‍රංශය බලා පිටත්ව යාමට පරන්තන් සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි මුරුගේසු භගීරදී සහ ඇගේ අට හැවිරිදි දියණිය අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම පිණිස රඳවා තබා ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීහු කටයුතු කළහ. මේ සම්බන්ධයෙන් පළ වූ බහුතරයක් මාධ්‍ය වාර්තා විසින් හඟවන ලද්දේ අත්අඩංගුවට ගත් එක් දරු මව දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ මුහුදු සටන් අංශයේ නායිකාව වශයෙන් ක්‍රියා කළ තැනැත්තියක් බවත්, ඇගේ සැමියා එම සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයවන නායකයකු බවත් ය.

රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය

මේ සම්බන්ධයෙන් රාජ්‍ය මාධය ආයතනයක් වන ලේක්හවුස් හි 'දිනමිණ' පුවත්පත වාර්තා කර තිබුණේ මුහුදු කොටි නායිකාව 'ප්‍රංශයට පැන ගැනීමට උත්සාහ කරද්දී' අත්අඩංගුවට ගෙන ඇති බව ය. "1997 සිට 2000 දක්වා මුහුදු කොටි නායිකාව ලෙස කටයුතු කර ඇති පහිරවී 2005දී මෙරටින් පලා ගොස් තිබේ. ඇය පසුගිය කාලයේ නැවත මෙරටට පැමිණ ඇති බවට ත්‍රස්ත විමර්ශන ඒකකයට ලැබී තිබූ තොරතුරු මත ඇය සොයා මෙහෙයුම් සිදු කරද්දී ඇය මෙසේ ප්‍රංශය බලා යාමට පැමිණ ති‍බේ" දිනමිණ වාර්තා කර තිබේ.

අදාළ ප්‍රවෘත්තිය වාර්තා කිරීමේදී රාජ්‍ය මාධ්‍යයන්ට වඩා වෙනස්ව කරුණු විධිමත්ව විමසා බැලීමේ පිළිවෙතක් පෞද්ගලික මාධ්‍ය ආයතන විසින්ද අනුගමනය කර නැත. 'දිවයින' පුවත්පතට අනුව 'ප්‍රංශය බලා යාමට උත්සාහ කළ අවස්‌ථාවේ අත්අඩංගුවට ගත් 'මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව' විවාහව සිටින්නේ 'කොටි හමුදා නායකයකු වූ මුරුගේසු සත්‍යරාඡ්' සමග ය. එහෙත් 'ලක්බිම' පුවත්පතේ පළ වූ පුවතට අනුව අත්අඩංගුවට පත් 'මුහුදු කොටි කාත්තා අංශයේ ප්‍රධානියා'ගේ සැමියා කොටි සංවිධානයට සම්බන්ධව 'ජාත්‍යන්තරයේ රැදී සිටිමින් මූල්‍ය පරිපාලනය සිදු කළ' අයෙකි.

'ඩේලි මිරර්' වෙබ් අඩවියට අනුව ගුවන් තොටුපොළින් පිටව යාමට 'තැත් දරද්දී' අත්අඩංගුවට පත් 'හිටපු මුහුදු කොටි නායිකාව' විවාහ වී සිටින්නේ 'කොටි සංවිධානයේ මූල්‍ය හා පරිපාලන කටයුතු මෙහෙය වූ හිටපු කොටි නායකයෙකු සමග වන අතර, 'සිලෝන් ටුඩේ' පුවත අනාවරණය කර සිටින්නේ අදාළ කොටි නායිකාව 'ප්‍රබල කොටි ආධාරකරුවෙකුගේ' බිරිඳක් බව ය.

බීබීසී සහ ලංකා වීව්ස්

මෙම සාවද්‍ය වාර්තාකරණ රවාට අනුගමනය කර ඇත්තේ කොළඹ ප්‍රධාන ධාරාවේ පුවත්පත් පමණක්ම නොවේ. නිදසුනක් ලෙස බීබීසී සිංහල වෙබ් අඩවිය මෙන්ම වාමාංශික පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් මෙහෙයවන 'ලංකා වීව්ස්' වෙබ් අඩවිය පවා පුවතෙහි පසුබිම පිළිබඳ ප්‍රමාණවත් විමසා බැලීමක් කරනු වෙනුවට 'මුහුදු කොටි කාන්තා අංශයේ ප්‍රධානියා ලංකාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින්' අත් අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බව වාර්තා කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මාර්තු 04 වැනිදා JDS විසින් පළකරන ලද සවිස්තරාත්මක වාර්තාවෙන් පසු සිය පළමු පුවතට වෙනස් දෙවැනි වාර්තාවක් පළ කරන්නට කටයුතු කළ ලංකා වීව්ස් වෙබ් අඩවිය, එහිදී JDS විසින් පළ කරන ලද සම්පූර්ණ වාර්තාව නිසි මූලාශ්‍ර දැක්වීමකින් තොරව නැවත උපුටා පළකිරීමෙන් නොනැවතී, සිය දේශපාලන පක්‍ෂයේ නායක ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ පුරවැසි අයිතිය මෙම සිදුවීම හා සම්බන්ධ කොට විස්තර කැරෙන අතිරේක ඡේදයක් ද ඊට එක් කිරීමට කටයුතු කර තිබිණි. 

ග්‍රවුන්ඩ් වීව්ස්

කෙසේ වුවද, මෙම බහුතරයක් වාර්තා සම්බන්ධයෙන් අවධානයට ලක් වියයුතු වැදගත්ම කරුණ වූයේ අත් අඩංගුවට ගත් කාන්තාව එක් දරු මවක් වන බවත්, ඇය සමග ඇගේ අට හැවිරිදි දියණියද ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ අත් අඩංගුවට පත් වූ බවත් හෙළි කිරීමට කිසිදු පුවත්පතක් හෝ වෙබ් අඩවියක් උනන්දු නොවීමයි. එමෙන්ම ඇය අත්අඩංගුවට ගැනීමට කලින් පරන්තන්හි සිය නිවසේදී ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හමු වූ බවත්, ඇය සහ දියණිය පෙරළා ප්‍රංශයට යන දිනය ඔවුන් වෙත දන්වා සිටියේ ඇය විසින්ම බවත් වාර්තා කර තිබුණේ කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් පවත්වාගෙන යනු ලබන 'ග්‍රවුන්ඩ් වීව්ස්' වෙබ් අඩවිය පමණි. සමස්තයක් වශයෙන් සිද්ධිය පිළිබඳ එකම නිවැරදි වාර්තාව පළකොට තිබුණේ එම වෙබ් අඩවියයි.

සැබෑ පසුබිම

සිදුවීමට අදාළ පසුබිම පිළිබඳව JDS විසින් කරන ලද සොයාබැලීමට අනුව මුරුගේසු බගීරදී කොටි සංවිධානයේ සාමාජිකාවක වශයෙන් ක්‍රියා කර ඇත්තේ පහළොස් වසරකට කලිනි. ඒ 1997 සිට 2000 දක්වා තුන් වසරක කාලයකි. සටනේදී තුවාල ලැබීම හේතුවෙන් ඇය කොටි සංවිධානයෙන් 2000 වසරේදී ඉවත් වී ඇති අතර, ප්‍රංශ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු වූ සුබ්‍රමනියම් ජයගනේෂ් සමග  තායිලන්තයේදී විවාහ දිවියට ඇතුල් වී ඇත්තේ 2003 වසරේදී ය. ඒ රජය සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබීමෙන් දෙවසරකට පසු ය.

නීත්‍යානුකූව විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු ඇය පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලද සරණාගතයින් විෂයයෙහි බලපාන 1993 හා 1998දී ව්‍යවස්ථාපිත සංක්‍රමණික නීති ප්‍රකාරව ප්‍රංශයට යාමට අයදුම් කර තිබේ. ඒ අනුව, ඒ වනවිට ප්‍රංශ පුරවැසිභාවය ලබා සිටි අයෙකු වශයෙන් සුබ්‍රමනියම් ජෙයගනේෂ් හෙවත් සාමිරාජ්ට හිමි 'පවුල් ප්‍රතිසන්ධාන අයිතිය' (regroupement familial) යටතේ 2005දී ඇයට ප්‍රංශයට පිවිසීමට අවසර ලබා දී ඇත. මෙම අයිතිය අනුව ශ්‍රී ලංකාවේ වලංගු ගමන් බල පත්‍රයකින් ප්‍රංශ භූමියට ඇතුලුවීමේ අයිතිය ඇයට හිමි අතර, ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට යාමට හා පෙරළා පැමිණීමටද අවසරය හිමි වේ.

2006 වසරේදී ජෙයගනේෂ් හෙවත් සාමිරාජ්ට දාව ඇයට දියණියක ලැබී ඇති අතර, පසුකාලීනව ඔවුන් දෙදෙනා නීත්‍යනුකූලව වෙන්ව ජීවත්ව තිබේ.

'කොටි නායකයා' දෙවරක් ලංකාවට

මෙහිදී බහුතරයක් ජනමාධ්‍ය වාර්තා විසින් හඟවනු ලැබ ඇත්තේ භගීරදී දස වසරකට පෙර ශ්‍රී ලංකාවෙන් පලා ගොස් නොබෝදා රහසිගතව පෙරළා පැමිණ ඇති බවයි. නමුත් 2005 වසරේදී ඇය ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් සහතික කරන ලද විධිමත් ලිපි ලේඛණ ප්‍රංශ තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීමෙන් ලබා ගත් නීත්‍යානුකූල වීසා බලපතකිනි. එමෙන්ම ඇය රටින් පිටව ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන නීතීන්ට අනුකූලව කටුනායක ගුවන් තොටුපොළ හරහා බව මෙකී වාර්තා මුළුමණින්ම වසන් කොට තිබේ. 

දස වසරකට පසු පිළිකා රෝගයෙන් පෙලෙන සිය මවත්, හෘද රෝගියෙකු වූ පියාත් බැලීමට තම  අට හැවිරිදි දියණිය සමග ඇය ඉකුත් පෙබරවාරි 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ  නව ආණ්ඩුව යටතේ ඇතිවූයේයැ'යි කියන නිදහස් වටපිටාව හේතුවෙන් බව ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඇගේ පරන්තන් පිහිටි නිවසට පෙබරවාරි 13 වැනිදා පැමිණි ත්‍රස්ත විමර්ශන නිලධාරින් ඇගේ ප්‍රකාශයක් ද සටහන් කරගෙන ඇති අතර, පොලිසිය පවසන්නේ ඇගේ සැමියා වන සුබ්‍රමනියම් ජයගනේෂ් නොහොත් සාමිරාජ් කොටි සංවිධාන ජාත්‍යන්තරයේ  මුල්‍ය පාලන කටයුතු කරන්නෙක් බව ය.

මේ පිළිබඳව JDS විසින් සිදුකළ වැඩිදුර කරුණු සොයා බැලීමකදී හෙළි වුයේ ජෙයගනේෂ් හෙවත් සාමිරාජ් 2009 වසරේ යුද්ධයේ අවසාන අධියරෙන් පසු ප්‍රංශයේ කිසිදු දේශපාලන ක්‍රියාකාරකමකට සහභාගීව නොමැති බව ය. ‍ත්‍රස්ත විමර්ශන අංශවලට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස ජනමාධ්‍ය විසින් හඟවනු ලැබ ඇති ඔහු පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ අවම වශයෙන් දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ පෙරළා ගොස් ඇති අතර මේ වනවිට ප්‍රංශයෙන් බැහැරව ජීවත්වන බව ද වාර්තා වේ.

මානව හිමිකම් සැසිය

සිය දියණියගේ ශීත සෘතු නිවාඩුව අවසන්ව ඇගේ පාසැල් වාරය ඇරඹීමට නියමිතව තිබූ මාර්තු 3 වැනිදා පෙරළා ප්‍රංශයේ සීටීම අනිවාර්යව තිබූ හෙයින් භගීරදී යළි ප්‍රංශය බලා ඒමට යොදාගෙන තිබුනේ මාර්තු දෙවෙනිදාය. මේ බව  ඇය ත්‍රස්ත විමර්ශන නිලාධාරීන්ට සිය පරන්තන් නිවසේදී ප්‍රකාශ කර ඇති අතර, අත් අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ මේ සියළු කරුණු නොසළකා හරිමිනි. නව ආණ්ඩුවේ ගතවූ දින පනහ තුළ  මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ආදී රටවලින් පැමිණි දෙමළ ජාතිකයන් දහයකට ආසන්න පිරිසක් මේ වන විට ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපලේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් භගීරදී හා ඇගේ දියණිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ විදේශ ඇමති මංගල සමරවීර පසුගිය දින ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසියට සහභාගී වෙමින් සහජීවනය ගොඩනැංවීම ගැන සේම, ඇති වී ඇතැයි කී නිදහස පිළිබඳව ද කරුණු දක්වන අතරවාරයේදී ය.

කරුණු එසේ තිබියදී, භගීරදී සහ ඇගේ දියණිය සම්බන්ධ සිදුවීම පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය මුළුමණින්ම ඒකපාර්ශ්වීය හා තහවුරු කර නොගත් තොරතුරුවලින් ගහණ එකක් වීම විසින් පෙන්නුම් කැරෙන්නේ තිස් වසරක යුද්ධයක අත්දැකීම්, කොළඹ කේන්ද්‍රීය සිංහල සහ ඉංග්‍රීසි ජනමාධ්‍යයන් අරක් ගත් වර්ගවාදී අගතීන් නිමා කිරීමෙහිලා කිසිදු සාධනීය බලපෑමක් කර නැති බව ය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.