JDS Sinhala

දේශපාලන සිරකරුවන් මුදාහරින්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක්

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටීමට සිවිල් සමාජ ක්‍රියාධරයෝ සැරසෙති.

වසරකට ආසන්න කාලයක් චෝදනා නොමැතිව සැකපිට රඳවාගෙන සිටින බාලේන්දිරන් ජෙයකුමාරිගේ ඇප අයදුම්පත  අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිකුරාදා (06)  ප්‍රතික්‍ෂේප කිරීමත් සමග සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙම තීරණයට එළඹ තිබේ. ජෙයකුමාරිගේ නීතිඥයින් ඇප අයදුම් පත ගොනු කරන ලද්දේ වැඩබලන නීතිපති වරයා හමුවීමෙන් පසුව නමුත්, ඇප ඉල්ලා සිටීම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වශයෙන් දක්වා තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය කටයුතු පිළියෙළ කර නොතිබීමයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 10 වැනිදා දක්වා නඩුව කල් තබන ලදී.

ඇය නිදහස් කරන ලෙස ඉල්ලා බහුජන සංවිධාන නියෝජිතයන් එක්වූ උද්ඝෝෂණයක් ද 6 වැනිදා අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට පැවැත්විණි.

ඝෝඨාභයගේ 'ඔත්තුකරුවෝ'

නීතිවේදින්ද ඇතුළු සිවිල් සමාජ ක්‍රියාධරයන් සාකච්ඡා කොට තීරණයකට එළඹියේ  ජනාධිපතිවරයා, අගමැතිවරයා  ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙලේ දේශපාලකයන් හමු වී මේ පිළිබඳ විසදුමකට එළඹීමට ය. ඊට අමතරව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින රැඳවියන් පිළිබඳ විදේශ ඇමති, අධිකරණ ඇමති  සහ නීතිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද ජෙයකුමාරිගේ නීතිවේදීහු JDS වෙත පැවසූහ.

මේ අතර ආරක්‍ෂක බුද්ධි අංශවල තව දුරටත් සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හිතවත් පිරිස් නව රජයේ ක්‍රියාමාර්ග වලට අකුල් හෙලමින් , විදේශ රටවල් සමග ගොඩනැගෙමින් පවතින යහපත් සම්බන්ධතා බිඳ දැමීමට කටයුතු කරමින් සිටින බවට බලවත් සැකයක් ඇතැයි  විදේශ ඇමති මංගල සමරවීර 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබිණි. ජෙයකුමාරි නිදහස් නොකිරීම හා විදේශයන් සිට පැමිණෙන දෙමළ ජාතිකයන් ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගැනීම පිළිබඳ නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මෙම ප්‍රකාශය කර තිබේ.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.