JDS Sinhala

ත්‍රි'මලේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ජනාධිපති කොමිසම වර්ජනය කරයි

ලහත්කාර අතුරුදහන් කිරීම්  පිළිබඳ විභාග කිරීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම විසින් ත්‍රිකුණාමලයේදී පෙබරවාරි 28 සිට මාර්තු 03  දක්වා පැවැත්වීමට නියමිත සැසිවාරයට සහභාගී නොවීමට ත්‍රීකුණාමල ප්‍රදේශයේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් තීරණය කොට තිබේ.

මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් කොමිසම රැස් වූ කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක් වූ ඥාතීහු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමීව විරෝධය පෑහ. අතුරුදහන් වූවන් පිළිබඳ විධිමත්ව සොයා බලනු වෙනුවට මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කිරීමත්, ඒ සඳහා හවුල් කොටගෙන ඇති ජාත්‍යන්තර විශේෂඥයින්ගේ අපක්‍ෂපාතීභාවය පිළිබඳ සැක මතුවීමත් ඇතුළු ගැටළු ගණනාවක් හේතුවෙන් තමන් කොමිසම වර්ජනය කරන බව ඔවුහු පවසති.

ඥාතීන්ගේ තීරණය කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු කොමසාරිස්වරුන් වෙත දැනුම්දුන් ත්‍රිකුණාමලයේ මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ දෙමළ සිවිල් සමාජ සංසදයේ (TCSF) ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන වීරේසන් යෝගේස්වරන් පියතුමා ඊට අදාළ හේතු ලිඛිතව දැක් වූ සංදේශයක් ඔවුන් වෙත භාර දී ඇත.

හේතු තුනක්

එම සැසිවාරයට සහභාගී නොවීමට අතුරුදන් වූවන්ගේ ඥාතීන් තීරණය කර ඇත්තේ පහත සඳහන් හේතු මත බව පූජක යෝගේස්වරන් සිය ලිපියේ සඳහන් කර තිබේ.

"1.  ශ්‍රී ලංකා රජය විසින් වරින්වර පිහිටුවන ලද මෙවැනි යාන්ත්‍රණයන් පිලිබඳව අතුරුදහන්කරන ලද පුද්ගලයන්ගේ  ඥාතීන්හට දැන් කිසිදු විශ්වාසයක් නැත. එම විමර්ශන විසින් මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීමට අසමත්ව තිබේ. අතුරුදහන් කරන ලද පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීමේ විධික්‍රම සහ ඒ සඳහා මෙම කොමිසම්වල හැකියාව ගැන මෙයට පෙර ගැටළු ගණනාවක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම මෙම කොමිසමේ ක්‍රියාමාර්ගයට සමාන්තරව යමින් බලහත්කාර‍යෙන් අතුරුදහන් කර ඇති පුද්ගලයන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කෙරෙහිද අවධානය යොමුව ඇත. පසුගිය සැසිවාරයන්හිදී  මෙම කොමිසමේ කොමසාරිස්වරුන් විසින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් වෙත ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලින් මූලික අවධානය යොමු කළේ අතුරුදහන්ව ඇති පුද්ගලයන් අතුරුදහන් කරවූයේ කවුරුන්ද, කොතැනදී ද යන්න ගැන සොයා ගැනීම නොව,  අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සමාජීය සහ ආර්ථිකමය වශයෙන් ආධාර කිරීම කෙරෙහි ය. ජාත්‍යන්තර විශේෂඥයන්ගේ භුමිකාව පිළිබඳව වූ අපැහැදිලිකම තවදුරටත් පවතී. මෑත දී ලැබුණු වාර්තාවන්ට අනුව මෙලෙස කොමිසමට පත් කරන ලද එක් ජාත්‍යන්තර විශේෂඥයෙකු ශ්‍රී ලංකා රජයේ  උපදේශකයෙකු ලෙස ගෙවීම් ලද්දෙකු බවත් ඒ සඳහා ඔහුගේ කාර්යභාරය වී තිබුනේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ශ්‍රී ලංකා රජය වෙත එල්ල වූ පීඩනයෙන් මිදීමේ ක්‍රමවේදයන් පිළිබඳව රජයට උපදෙස් දීම බවත් හෙළි වී තිබේ. රජයෙන් ගෙවීම් ලබන්නෙකු  ජාත්‍යන්තර විශේෂඥයකු ලෙස මෙම කොමිසමට පත් කිරීම මතුව ඇති අපක්‍ෂපාතීබව පිළිබඳව මතු කරන ලද ප්‍රශ්නවලට මේ දක්වා පැහැදිලි පිළිතුරක් ලබා දීමට කොමිසම හෝ රජය අසමත්ව ඇත.

2. 2014 ජූලි 14 වැනි දින මතුවන අවශ්‍යතාවයන්ගේ පදනම මත, අතුරුදහන්වූවන් පිළිබඳ කරුණට අමතරව වෙනස් කරුණු පිළිබඳව සොයා බැලීමට ද හැකිවන පරිදි සිදු කරන ලද  බලතල පුළුල් කිරීම විසින් හෝ කොමිසම පිළිබඳව විශ්වාසය ඇතිකිරීමට අසමත්ව තිබේ. අපගේ ස්ථාවරය වූයේ යුද්ධය අතරතුර මෙන් ම ඉන් පසුව ද සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බව ය. එය කළ හැක්කේ ඕනෑවට එපාවට යම් යම් දේ සිදු කිරීමෙන් නොවේ.  ඔබගේ  කාර්යභාරය සහ බලතල පිළිබඳව සිදුකරන ලද මෙම සුළු වෙනස්කම විසින් පෙන්නුම් කරනුයේ කොමිසමේ කාර්යභාරය ගැන වගකීම් විරහිතකම සහ අනවධානයයි.

3. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් පත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කමිටුවට (OISL) ප්‍රතිචාර ලෙස,  ජනවාරි 09 වැනි දින බලයට පත් නව ශ්‍රී ලංකා රජය තමන් විසින් විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් ගොඩනගන බව ජාත්‍යන්තරව ප්‍රචාරය කරමින් සිටී. ඔවුන් එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව කල් දමන ලෙස ඉල්ලා සිටි අතර එයට එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුවේ අනුමැතියද ලැබී තිබේ. ඒ විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක් ගොඩනැගීමේ පොරොන්දුව පදනම් කරගනිමිනි. කෙසේ වුවද සත්‍යය, යුක්තිය සහ වගකීමට බැඳී සිටීම යන කරුණු වලට අදාළව වත්මන් රජය ද පැරණි අාණ්ඩුවල පිළිවෙත්ම අනුගමන කරමින් සිටින බව ඔබ කොමිසමේ කටයුතු එලෙසම අඛණ්ඩව සිදුවන අයුරින්ම පැහැදිලි ය. සිවිල් සමාජ ක්‍රියාකාරීන් හෝ අපරාධවලට ගොදුරු වූ අය විසින් හෝ ඉදිරිපත් කරන ලද කිසිදු කරුණක් අවධානයට නොගෙනම ඔබගේ කොමිසම නව රජය යටතේ ද පෙර පරිදිම නොසැළකිළිමත් ලෙස  කටයුතු කරමින් සිටී. ඔබගේ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් එය යුක්ති ගරුක අපක්‍ෂපාතී නීත්‍යානුකූල ආයතනයක් ලෙස ඒ වෙත පිළිගැනීමක් ලබාදීමට අපට කටයුතු කළ නොහැකිය. අප විශ්වාසනීය විමර්ශන යාන්ත්‍රණයක් අපේක්ෂා කරන අතර එය කළ හැක්කේ ජාත්‍යන්තර විමර්ශනයක් මගින් පමණි."

මරණ තර්ජන

ප්‍රදේශයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සංවිධානය කිරීමේ මූලිකත්වය ගෙන ඇති හැට දෙහැවිරිදි යෝගේස්වරන් පියතුමා, 1985 සිට නැගෙනහිර පළාතේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වශයෙන් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන්නෙකි. 

2013 වසරේ දී නැගෙනහිර පළාතේ සංචාරයක යෙදුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලෛ හමුවීම හේතුවෙන් ඔහු රාජ්‍ය ආරක්‍ෂක අංශයන්ගේ තර්ජනයට ද ඉලක්ක වූ අතර ඔහුට එරෙහි වෛරී පෝස්ටර් ව්‍යාපාරයක් ප්‍රදේශය පුරා දියත් කර තිබූ බවට වාර්තා විය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.