JDS Sinhala

30,000 කට වැඩි මළසිරුරු විසුවමඩු ප්‍රදේශයෙන් සොයාගත්තා - මන්නාරමේ රදගුරු

යුද්ධයේ අවසන් අදියරේදී මළසිරුරු 30,00035,000ක පමණ ප‍්‍රමාණයක් විස්වමඩු ප‍්‍රදේශයෙන් පමණක් සොයාගත් බව මන්නාරම රදගුරුවරයා පවසයි. රදගුරු රායප්පු ජෝසප් සඳුදා (23) දෙමළ මාධ්‍යවලට කියා සිටියේ සති දෙකකට පෙර තමන්ට ඒ පිලිබඳ විස්තර දැන ගන්නට ලැබුණු බවයි.

‘‘මා එය දැනගත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට එහි ගිය රජයේ නිලධාරීන් පිරිසකගෙනුයි’’ රදගුරුවරයා වැඩිදුරටත් කීය.

යුද්ධයේ අවසන් මාස 8ක කාලය තුළදී දෙමළ වැසියන් 146,679කට සිදු වූ දෙයක් නොමැති බවට තමන් කලින් කරන ලද ප‍්‍රකාශය යළි අවධාරණය කළ රදගුරු ජෝසප්, මේ මට්ටමෙන් සිදුවූ දෙමළ ජන ඝාතනයක් වර්ග සංහාරයක් වන බවත්, දෙමළ ජනයාගේ ඉඩම්, සංස්කෘතිය, භාෂාව, උන්හිටිතැන් හා දේශපාලන අයිතීන් අහිමි කිරීම සඳහා රාජ්‍ය විසින් ගෙන ගිය කි‍්‍රයාවලිය ‘ව්‍යූහාත්මක වර්ග සංහාරයක්’ ලෙස සැලකිය යුතු බවත් පැවසීය.

වර්ග සංහාර යෝජනාව

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව අනුමත කරමින් රදගුරු රායප්පු ජෝසප් කියා සිටියේ ‘උතුරු පළාත් සභාව සත්‍යය ප‍්‍රකාශ කර තිබෙන’ බවය. ‘‘සත්‍යය ප‍්‍රකාශ කිරීමට කල්යල් බැලීමක් අවශ්‍ය වන්නේ නෑ. සත්‍යය හැම විටම සත්‍යයයි. එබැවින් කිව යුතු අවස්ථාවේ අප මේ සත්‍යය කිව යුතුයි.’’ ඔහු පැවසීය.

තමන්ට මෙහි අනාගතයක් නැතැ’යි හැඟෙන බැවින් දෙමළ ජනයා 1970 ගණන්වල සිට මේ ප‍්‍රදේශය හැරයමින් සිටින බව කී රදගුරු වරයා  දකුණේ දිගින් දිගටම බලයට පත් ආණ්ඩු දේශපාලනය කළේ 'දෙමළ ජනතාවට ජීවත් විය හැක්කේ පරපෝෂිතයන් ලෙස පමණක් බව සහතික කිරීමට' බව පවසයි. දකුණේ ආණ්ඩු දෙමළ ජනතාවගේ මූලික අයිතීන් ප‍්‍රතික්‍ෂේප කර තිබෙන බවත් දෙමළ ජනයා සිය අයිතිවාසිකම් ඉල්ලා සිටි විට පවා ඔවුන් ආයුධ බලයෙන් නිහඬ කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.

දෙමළ ජනතාවගේ සහයෝගය තමන්ට අවශ්‍ය බව ආණ්ඩුව අවබෝධ කරගත යුතුයයි අවධාරණය කරන රදගුරුවරයා ‘‘එබැවින් අප අද මෙහි සිටින්නේ නව ආණ්ඩුව පිළිබඳ විශාල බලාපොරොත්තු තබාගෙනයි,’’ යි ප‍්‍රකාශ කළේය.

වගකිව යුත්තන් 

‘දෙමළ ජනතාවගේ මූලික අනන්‍යතාව විනාශ කිරීමේ න්‍යාය පත‍්‍රය අඛණ්ඩව කි‍්‍රයාත්මක වන,' බව පෙන්වා දෙන රදගුරුවරයා, සිය දේශපාලන අයිතීන් ඇතිව රටේ නිදහසේ ජීවත් විය නොහැකි බව තවමත් හඟින බැවින් දෙමළ ජනයා කවර හෝ රටක දේශපාලන රැකවරණ සොයා යන බව ද කියා සිටියේය.

‘‘වර්ග සංහාරයට වගකිවයුත්තන් තවමත් මෙහි ඉන්නවා. ඔවුන් සිය කි‍්‍රයාකාරකම් නොනවත්වා කරගෙන යනවා’’යි පවසන ඔහු, මෙම ගැටලූ පිළිබඳ අවධානය යොමුකරන්නැයි නව ආණ්ඩුවෙන් ඉල්ලයි.

අභ්‍යන්තර පරීක්ෂණ

දෙමළ ජනතාවට එරෙහි සිදුකළ දැවැන්ත ක‍්‍රෑරකම් සම්බන්ධ වාර්තාව එළිදැක්වීම කල්දැමීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් මන්නාරම රදගුරු කියා සිටියේ එය ‘ඉතාම අවාසනාවන්ත හා බලාපොරොත්තු කඩකරන සුළු,’ තත්වයක් බවය.

අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව දෙන පොරොන්දුවේ අවංක භාවය පිළිබඳවද මෙහිදී රදගුරුවරයා සිය අවිශ්වාසය පළ කළේය. ‘'ශ‍්‍රී ලංකා ආණ්ඩුව අද දක්වා තමන් විසින්ම මෙහෙයවන ලද විමර්ශනයන්ගෙන් අපට දකින්නට ලැබුණේ මොනවාද?" විමසා සිටි ඔහු රජයේ පරීක්‍ෂණ මණ්ඩල පැමිණ 'මොනවා හෝ කර ප‍්‍රකාශනයක්' නිකුත් කිරීමට අමතරව කිසිත් නොකරන බව ප්‍රකාශ කරයි.

‘‘එබැවින් තමන් විසින්ම යමක් කරන්නට උත්සාහ කර අසමත් වනවාට වඩා එක්සත් ජාතීන්ගේ විමර්ශනයේ සොයාගැනීම් පිළිගැනීම ශ‍්‍රී ලංකා ආණ්ඩුවට වඩාත් පහසු වනු ඇති බව මා කියන්න කැමතියි. ඉතිහාස කරුණුවලින් හා දේශපාලනය පිළිබඳ මගේ අත්දැකීම් ඇසුරෙන් මට කිව හැක්කේ අභ්‍යන්තර විමර්ශනයක් සාර්ථක නොවනු ඇති බවයි,’’ රදගුරු රායප්පු ජෝසප් වැඩිදුරටත් කියා සිටී.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.