JDS Sinhala

'මා ඔබේ දරුවකු ලෙස සිතා මගේ අම්මා නිදහස් කරන්න' විපූශිකා ජනපතිට ලියයි.

නාධිපතිතුමනි! මා ඔබේම දරුවකු ලෙස සිතා මගේ අහිංසක අම්මා නිදහස් කරන්නැයි' ඉල්ලා අත් අඩංගුවේ පසුවන දෙමළ ජාතික මවකගේ දියණියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලියුමක් යොමු කරමින් අයැද තිබේ.

'මගේ අම්මා කිසිදු වරදක් කර නැහැ. ඔබ හමුවන්නට අවස්ථාවක් නැති නිසායි මේ ලිපිය ලියන්නේ. මගේ අම්මා නැතිව මට ජීවත්වෙන්න බැහැ. මට ඇය නැතිවුනොත් මම වස බී දිවි නසාගන්නවා'යි දැක්වෙන මෙම අනුවේදනීය ලිපිය ජනපතිවරයාට යොමුකොට ඇත්තේ කිලිනොච්චියේ දාහතර හැවිරිදි දැරියක වන බාලෙන්දිරන් විපූශිකා විසිනි. ඇය, මේ වනවිට අත් අඩංගු‍වේ පසුවන අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුවේ ක්‍රියාකාරිනියක වූ බාලෙන්දිරන් ජෙයකුමාරිගේ එකම දියණිය යි.

'අනේ මෛත්‍රිපාල ජනාධිපතිතුමනි, ඔවුන්ට කියන්න මගේ අම්මා නිදහස් කරන්න කියලා” ඇය ඉල්ලා තිබේ.

විනාඩි දහයක හමුවක්

ඉකුත් 16 වැනිදා අධිකරණයේ මැදිහත්වීමෙන් විනාඩි දහයක් වැනි සුළු කාලයකට ඇයට තම මව හමුවීමට ඉඩකඩ ලබා දී තිබූ අතර වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා සිර මැදිරියේ සිටින බාලේන්දිරන් ජෙයකුමාරි දැක ගැනීමට විපූශිකා රැගෙන ආවේ කිලිනොච්ච්චියේ මහදේවන් ළමා නිවාසයේ සිට ය. එදින සිය මව දැක ගැනීමෙන් අනතුරුව ඇය මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත ලියා තිබේ.

පොලිසියට අවශ්‍ය සැකකරුවෙකුට රැකවරණ ලබාදුන්නේය යන චෝදනා මත සැක පිට ජෙයකුමරි සහ විපූශිකා අත් අඩංගුවට ගනු ලැබුයේ 2014 මාර්තු 13 වැනිදා කිලිනොච්ච්යේදී ය. ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා, වැඩි දුර පරීක්‍ෂණ සඳහා යැයි කියමින් ජෙයකුමරි බූස්ස කඳවුරටත්, විපූශිකා ළමා හා පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ඇති කිලිනොච්චි මහදේවන් ළමා නිවාසයටත් බාර කැරිණි.

රැඳවුම් නියෝග යටතේ බුස්ස කඳවුරේ සිටි ජෙයකුමාරි, රැඳවුම් නියෝග ඉකුත් වීමත් සමග, ඇගේ නීතිඥයින්ගේ කරුණු දැක්වීම මත පසුගිය දෙසැම්බර් 24 වෙනිදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරුකර යවන ලදී. මේ වනවිට ජෙයකුමාරි පස් වතාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතද, ඒ සෑම අවස්ථාවකදීම ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කියා සිටියේ ඈ පිළිබඳ විමර්ශන අවසන් නොමැති බැවින් ඒ සඳහා තවදුරත් කාලය අවශ්‍ය බවයි. අඟහරුවාදා (24) අධිකරණයට ඇය කැඳවූ  අවස්ථාවේ ලබන මාර්තු 10  දක්වා  විභාගය කල් දැමීමට මහේස්ත්‍රාත්වරයාට සිදුවුයේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ සුපුරුදු කල් ඉල්ලීම නිසා ය.

ඇය අත්අඩංගුවට ගෙන මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, මෙතෙක් කිසිදු චෝදනාවක් ගොනු කිරීමට බලධාරීන් සමත්වී නොමැත.

'මට ඉන්නේ අම්මා විතරයි'

“මගේ පියා පිළිකා රෝගයකින් මිය ගිය පසු, බත් පාර්සල් හදා විකුණා මගේ අම්මා මගේ ඉගෙනීමේ කටයුතුවලට වියදම සොයා දුන්නේ. මට ඉන්නේ අම්මා විතරයි,” ජනාධිපති සිරිසේනට ලියන ලද සිය ලිපියේ විපූශිකා තවදුරටත් සඳහන් කරන්නීය.

කම්කරුවකු වූ 20 හැවිරිදි බාලේන්දිරන් යොහාන් විපූශිකාගේ වැඩිමහල් සොහොයුරා වූ අතර 2006 වසරේදී ඔහුට වෙඩිතබා මරාදමනු ලැබුයේ රජයේ හමුදාවල සහාය ලත් අතුරු හමුදා කල්ලියක් විසිනි. යුද්ධයේ අවසන් දිනවල රජයේ හමුදා පාලන ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටියදී ඇගේ දෙවැනි සොහොයුරු බාලේන්දිරන් කජීවන් ෂෙල් වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය. එදිනම ඇගේ තෙවැනි සොහොයුරා වූ බාලේන්දිරන් මහේන්ද්‍රන් මුල්ලිවයික්කාල්හි දී රජයේ හමුදා වෙත බාරවී ඇති අතර එතැන් පටන් ඔහු අතුරුදහන් වූවෙකු වශයෙන් සැළකේ. ඔහුගේ ඉරණම පිලිබඳ කිසිදු තොරතුරක් නොදැන සිටි ජෙයකුමාරිට හා විපූශිකාට රජයේ ප්‍රකාශනයක පළ වූ ඡායාරූයක් මගින් ඔහු රජයේ පුනරුත්ථාපන කඳවුරක සිටින බවට දැනගන්නට ලැබුණු මුත් මේ පිලිබඳ සොයා බැලීමේදී බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ එවැන්නකු තමන් බාරයේ නොමැති බව ය.

මුලික අයිතිවාසිකම් පෙත්සම්

2014 ජනවාරි 14 වැනිදා තම පුත්‍රයා පිලිබඳ පැමිණිල්ලක් යාපනේ මානව හිමිකම් කොමිසමේ ගොනු කළ ජෙයකුමාරි එතැන් පටන් කිලිනොච්චියේ අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවේ ප්‍රබල ක්‍රියාකරිනියක වුවා ය. අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ආණ්ඩුවට බලකැරෙන උද්ඝෝෂණවල දී ජෙයකුමාරිගේ හා විපූශිකාගේ සහභාගීත්වය කැපී පෙනිණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2014 මැයි 12 වැනිදා මව සහ දියණිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබිණි. ලබන මාර්තු 13 වැනිදා මේ මුලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට නියමිතය.

ජෙයකුමාරි හා විපූශිකා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සඳහා යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඉදිරිපත් වී තිබිණි.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.