JDS Sinhala

නැගෙනහිර සහ දකුණේ රහසිගත කඳවුරු ගැන යාපනය උද්ඝෝෂණයේදී හෙළිකරයි

පැහැරගත් තරුණ තරුණියන් රඳවා සිටින රහසිගත කඳවුරු හම්බන්තොට, ත්‍රිකුණාමලය, හා මඩකලපුවේ ඇති බවට තොරතුරු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. සෙනසුරාදා (21) යාපනයේ පැවති අතුරුදහන්වුවන් සොයා දෙන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ රහසිගත කඳවුරු පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අගමැතිවරයා පොරොන්දු වූ බව ය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුර අතුළත තියෙනවා 'ගෝඨා කඳවුර' නමින් රහසිගත කඳවුරක් ඇති බවත්, එහි දෙමළ තරුණ තරුණියන් 700 ක් පමණ රඳවා සිටින බවත් ප්‍රකාශ කර සිටි අතර ඊට අතර වශයෙන්, ලැබී ඇති තොරතුරු අනුව, නාවික හමුදා කඳවුරු සංකීරණය තුළ දෙමළ පවුල් 35 ක් පමණ නිවාස අඩස්සියේ රඳවා සිටින බවද කියා සිටියේය.

එක්සත් ජාතීන්ට සංදේශයක්

අතුරුදහන් වුවන් පිළිබඳවූ කාන්තා සංවිධානය මගින් කැඳවා තිබු මෙම උද්ඝෝෂණය යාපන නගර මධ්‍යයෙන් ආරම්භ කෙරුණු සාමකාමී පෙළපාලියකින් ගොස් නල්ලුර් වීදියේ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය වෙත  සන්දේශයක් බාර දීමෙන් අවසන් කෙරිණ. අතුරුදහන් වුවන් පිළිබඳ සත්‍ය හෙළිකිරීම , දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම , ජිනීවා යුධ අපරාධ පරීක්ෂණ වාර්තාව කල් නොදමා මාර්තුවේදී ඉදිරිපත් කිරීම ආදී ඉල්ලීම් මේ සංදේශය මගින් ඉදිරිපත් කර තිබුණි.

අතුරුදහන් වුවන්ගේ  හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් , බහුජන සංවිධාන නියෝජිතයන් මෙන්ම දෙමළ ජාතික සන්ධානය , දෙමළ ජාතික මහජන පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් දේශපාලඥයින්ද උද්ඝෝෂණයට එක්ව සිටියහ.

අතුරු වාර්තාවක්

"අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය දෙමළ ජනයා මුහුණ දෙන ගැටළුවල ප්‍රධාන දෙයක් බවට පත්වී තිබෙනවා. මේ වනවිට අතුරුදහන් වුවන් සොයා බැලීමට පත් කළ කොමිසමේ කාලය මාස හයකින් දීර්ඝ කළා. නමුත් පසුගිය වසර දෙක තුළ මේ කොමිසම කළ විමර්ශන මොනවද? කෝ ඒවායේ වාර්තා? පැමිණිලි කීයක් විමර්ශනය කර ඇත්ද? කී දෙනෙක් ගැන තොරතුරු හොයාගෙන තියෙනවද?' උද්ඝෝෂණයට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමචන්ද්‍රන් ප්‍රශ්න කර සිටියේය.

ඔහු අවධාරණය කළේ කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ විශ්වාසයක් ඇති කරගැනීමට නම් ඒ මගින් මේ දක්වා කර ඇති විමර්ශනයන්ට අදාළව අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව යි.‍

'මේක  අතුරුදහන් වුවන්ගේ ප්‍රශ්නය යටපත් කිරීමට  කල් මරණ මගඩියක් ද නැද්ද යන්න ඔප්පු කළ යුතුයි" ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.☐

© JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.