JDS Sinhala

ආරක්‍ෂක සේවා විදුහලේ පරිපාලක බ්‍රිගේඩියර් විදුහල්පතිට තර්ජනය කරයි

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේ පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය පහත් අපහාසාත්මක වදන් භාවිත කරමින් බැන වැදී තර්ජනය කළේය'යි කියන සිද්ධියකට එරෙහිව විදුහලේ ගුරු මණ්ඩලය ඊයේ (02) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. බි‍්‍රගේඩියර්වරයාට එරෙහිව වහාම විනය කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙසත්, පාසලේ ඇති හමුදා ඒකකය ඉවත් කරන ලෙසත් බලකරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වුණේ ලංකා ගුරු සංගමයේ මෙහෙයැවීමෙනි.

මෙම බි‍්‍රගේඩියර්වරයා විසින් විදුහල්පතිවරයා පාලනය කිරීමට තැත් කර ඇතැයිද, පාසල් පාරිපාලනය ඔවුන් අතට ගෙන ගුරු-විදුහල්පතිවරුන් හෑල්ලූවට ලක්කොට ඇතැයිද පවසන ලංකා ගුරු සංගමය, මෙම තත්වය පිළිබඳ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට සිය සංගමය ලිඛිතව කරුණු දැක්වූ බව කියා සිටී. එසේම මෙම පාසල තුළ ඇති හමුදා පරිපාලන ඒකකය ඉවත් කොට පාසලේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසලේ විදුහල්පතිවරයා යටතේ සිදු කරන ලෙසද සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. බි‍්‍රගේඩියර්වරයාගේ මෙම හැසිරීම තමන්ගේ එම ඉල්ලීමේ ඇති සාධාරණත්වය සනාථ කරන්නක් බව සංගමය පවසයි.

හමුදා පරිපාලන ඒකකයක්‍

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1,928ක් අධ්‍යාපනය ලබති. මෙහි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්කරන ලද ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරයෙක් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ නියෝජ්‍ය විදුහල්පතිවරියන් දෙදෙනෙක් සමග සියයකට ආසන්න ගුරු පිරිසක් සේවය කරති. ඒ අතර පාසලේ පරිපාලනය සඳහා බි‍්‍රගේඩියර්වරයෙක් ඇතුළුව සෙසු නිලයන් 8 ක් ඇතුළත් හමුදා පරිපාලන ඒකකයක් පාසල තුළ ස්ථාපිත කොට ඇති අතර, 80 කට ආසන්න හමුදා භට පිරිසක් පාසල් තුළ විවිධ සේවාවල යොදවා සිටිති.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරියෙක් වන, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත වඩුගොඩපිටිය කොතලාවල ආරක්‍ෂක පීඨයේ පීඨාධිපතිවරයාද වේ. දැවැන්ත මිනිස් සංහාරයක් සිදුකරමින්, ලක්ෂ තුනකට අධික පිරිසක් යුද අනාථයන් බවට පත්කළ වන්නි යුද මෙහෙයුම් අවසානයේ උතුරේ අවතැන් වූවන් සඳහා වන කාර්යාංශයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත්වීම් ලැබුවේ මෙම බ්‍රිගේඩියර්වරයා ය.

2005 අගෝස්තුවේ දී එවකට ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වූ මේජර් ජනරාල් අසෝක ජයවර්ධන විසින් මේජර් තනතුරට උසස් කර ඇති වඩුගොඩපිටිය, 2008 නොවැම්බර් මාසයේ දී කර්නල් තනතුර දක්වා උසස් කොට ඇත්තේ හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. එක්සත් ජනපදයේ කුප්‍රකට ෆෝට් බ්‍රැග්හි (Fort Brag) ජෝන් එෆ් කෙනඩි විශේෂ යුද ක්‍රියා පාසලෙන් පුහුණුව ලබා ඇති ඔහු, චන්ද්‍රිකා කුමාරණතුංග පාලන සමයේ යුද හමුදා ප්‍රකාශකයා වශයෙන්ද කටයුතු ක‍ළ අයෙකි‍.

එකම 'ආරක්ෂක සේවා විද්‍යාලය'

කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටා ඇති ආරක්ෂක සේවා විද්‍යාලය හිටපු ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කර ඇත්තේ 2007 ජනවාරි මාසයේදී ය. රජයේ පාසලක් ලෙස හඳුන්වනු ලැබුවත් රජයේ පාසල් පද්ධතියේ ඇති සාමාන්‍ය පාසල් ප්‍රභේදයන්ගෙන් කුමකට අයත්දැ'යි නිශ්චිතව කිව නොහැකි මෙම ආරක්ෂක සේවා විද්‍යාලය, ශ්‍රී ලංකාවටම ඇති ඒ වර්ගයේ එකම පාසලයි. 'ආරක්‍ෂාව' යන කාරණය මුල්කරගනිමින් ඇරැඹී ඇති මෙම විශේෂිත පාසලේ අරමුණ 'පොලීසිය ඇතුළු ආරක්‍ෂක හමුදාවල සේවයේ නියුතු වූවන්ගේ දරුවන්ගේද ජීවිත එල්ටීටීඊ සංවිධානයේ තර්ජනයට ලක් වී ඇති බැවින්, එම දරුවන්ට ආරක්‍ෂිතව අධ්‍යාපනය ලබාදීම' බව පැවසේ. "විනය ගරුක පරිසරයක් යටතේ ගුණාත්මක බවින් ඉහළ, සාධාරණ අධ්‍යාපනයක් ලබාදීමේ ආණ්ඩුවේ උත්සාහයට උපකාරී වන නව පාලන ක්‍රමයක් සැලසුම් කිරීම, වර්ධනය කිරීම හා අත්හදාබැලීම" මෙම විද්‍යාලය පිහිටුවීමේ අරමුණක් බව ආණ්ඩුවේ නිල ආරක්‍ෂක වෙබ් අඩවිය පවසයි.

ප්‍රදේශයේ සාමාන්‍ය දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබා නොදෙන මෙම පාසල පොලීසියේ හා හමුදාවල සාමාජිකයන්ගේ දරුවන්ට පමණක් සීමා වී ඇති අතර, සිසුන් ඇතුළත් කරගන්නේ පොලීසියේ හා හමුදාවල ඒ සදහා පත්කර සිටින නිලධාරීන්ට ඉදිරිපත් කැරෙන අයදුම්පත් ඔස්සේය. පාසලට පත්කැරෙන රජයේ විදුහල්පතිවරුන්ට හා රජයේ ගුරුවරුන්ට පැවරී ඇත්තේ එසේ තෝරා එවන සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අනුව නොව, හමුදා අංශ ප්‍රධානීන්ගේ නියෝග අනුව පාසල පවත්වාගෙන යාම ය.

වෘත්තීය ක්‍රියාමාර්ග

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ප‍්‍රමුදිත වික‍්‍රමසිංහ මහතා තමන්ට සිදුවූ අපහාස කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිලි කොට ඇත. මෙම බි‍්‍රගේඩියර්වරයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන විදුහල්පතිවරයාට කරන ලද අපහසාය සම්බන්ධයෙන් විධිමත් පියවරක් නොගතහොත්, කොළඹ අධ්‍යාපන කලාපයේ සියලූ ගුරු-විදුහල්පතිවරු සම්බන්ධ කරගෙන දැවැන්ත වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ප‍්‍රකාශකර සිටී.

අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයද ඇතුළු ලංකා ගුරු සංගම් මුණගැසුණු අතර, ඔහු පවසා සිටියේ තාවකාලිකව මෙම බි‍්‍රගේඩියර්වරයා ඉවත් කර ඇති බවය. එහිදීද ගුරු-විදුහල්පතිවරු ඉල්ලා ඇත්තේ හමුදා පරිපාලන ඒකකය පාසලෙන් ඉවත් කර පාසලේ අධ්‍යාපන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙසයි.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.