JDS Sinhala

පැහැරගත් දෙමළ තරුණයන් ගැන විමසන්නට නාවික හමුදා නීති අධ්‍යක්‍ෂ උසාවියට

සර 07කට පමණ ඉහතදී දෙහිවල ප‍්‍රදේශයෙන් පැහැරගනු ලැබ, මෙතෙක් තොරතුරක් නැතිව සිටින දෙමළ තරුණයන් පස්දෙනකු සම්බන්ධ රහස් පොලිස් පරීක්‍ෂණවලට අවශ්‍ය සැකකරුවන් කටඋත්තර ගැනීම සඳහා මේ දක්වා බාරනොදීම සම්බන්ධයෙන්, ලබන සිකුරාදා (06) අධිකරණය ඉදිරියේ කරුණු දක්වන මෙන් නාවික හමුදා නීති අධ්‍යක්‍ෂවරයාට අධිකරණය නියෝග කර තිබේ.

රහස් පොලීසියේ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත්කොට ඇත්තේ කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ විසිනි. තරුණයන් පැහැරගෙන යාමට අදාළ පරීක්‍ෂණය සඳහා කටඋත්තර ලබාගැනීමට අවශ්‍ය නාවික හමුදාවේ සේවයේ නියුතු සැකකරුවන් මෙතෙක් රහස් පොලීසියට ඉදිරිපත් කිරීමට නාවික හමුදාව කටයුතු කර නැතැයි රහස් පොලීසිය මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දී තිබේ.

හබයාස් කෝපුස් පෙත්සම්

කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන රජීව් නාගනාදන්, තිලකේස්වරන් රාමලිංගම්, ප‍්‍රදීප් විස්වනාදන්, ඩිලාන් රාජරත්නම් සහ ඔවුන්ගේ තවත් මිතුරෙක් 2008 සැප්තැම්බර් මස 17 වෙනිදා මෙසේ පැහැරගැනීමට ලක්වූහ. දෙමාපියන් විසින් ඉදිරිපත් කරනලද හබයාස් කෝපූස් පෙත්සම් තුනකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අභියායචනාධිකරණයේ නියෝගය මත කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත්තේ 2012 ජුනි මස 13 වෙනිදා ය. නාවික හමුදාව විසින් අදාළ සැකකරුවන් කට උත්තර ලබාගැනීම සඳහා බාරනොදීම නිසා පරීක්‍ෂණ කටයුතු මෙතෙක් කල් ඇනහිට ඇතැයි රහස් පොලීසිය පවසයි.

2011 නොවැම්බර් මස 11 වෙනිදා අභියායචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළ හබයාස් කෝපූස් පෙත්සම් තුනට අනුව අතුරුදහන් වූ රජීව් නාගනාදන් (එවකට 21වෙනි වියේ පසුවූ) ලන්ඩන් විශ්ව විද්‍යාලයේ (UCL) වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා 2008 සැප්තැම්බර් 18 වෙනිදා එංගලන්තය බලා යාමට සූදානමින් සිට ඇත. එවකට පිළිවෙලින් 19වෙනි හා 17වෙනි වියේ පසුවූ ප‍්‍රදීප් සහ තිලකේස්වරන් අපොස උසස්පෙල හදාරණ සිසුහු වූහ. සිය විදෙස් ගතවීම වෙනුවෙන් නිවසේ පැවැති රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් අවසානයේ නාගනාදන් තරුණයා, අතුරුදහන් වූ අනෙකුත් මිතුරන් සිව්දෙනා සමඟ රාත‍්‍රී 9.00ට පමණ මෝටර් රියක නැඟී නිවසින් පිටව ගොස් ඇත. තරුණයන්ගේ දෙමාපියන් ඔවුන් දුටු අවසන් අවස්ථාව එය බව පෙත්සම්වල සඳහන් වේ.

ත්‍රි'මලේ නාවික කඳවුරේ රඳවා‍ගෙන

නාගනාදන් තරුණයාගේ මව වන සරෝජිනී නාගනාදන් 2012 ජුනි මස 13වෙනිදා අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ, 2008 සැප්තැම්බර් මස 17 වෙනිදා නිවසින් පිටව ගිය තැන් පටන් අතුරුදහන් වී සිටින සිය පුත‍්‍රයා 2008 නොවැම්බර් මාසයේ දිනෙක දුරකතන මාර්ගයෙන් කතාකොට තමන් නාවික හමුදා අත්අඩංගුවේ සිටින්නේය’යිද, සම්පත් මුණසිංහ (නේවි සම්පත්) සහ හෙට්ටිආරච්චි යන නාවික නිලධාරීන් විසින් තමා පැහැර ගෙනවිත් සිටින්නේය’යි පැවසූ බවත් ය. පසු දිනෙක චමින්ද නමැත්තකු දුරකතනයෙන් කතාකොට සිය පුත‍්‍රයා නිදහස් කරගැනීමට අවශ්‍යනම් රුපියල් ලක්‍ෂ පහක මුදලක් රැගෙන නාරම්මල ප‍්‍රදේශයට එන මෙන් දැනුම් දුන් බව කී ඇය තමන් එහි නොගිය බවද ප‍්‍රකාශ කළාය.

2009 මැයි මාසයේ දිනෙක සිය පුත‍්‍රයා අවසන් වතාවට දුරකතනයෙන් කතාකොට තමන් ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බව දැනුම් දුන් බවද, එතැන් පටන් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවද ඇය වැඩිදුරටත් කියාසිටියා ය.

රුපියල් කෝටියක කප්පම්

2008 ජුනිමස 16වැනිදා පැවැති වැඩිදුර විභාගයේදී සාක්ෂි දුන් ඩිලාන් රාජරත්නම්ගේ මව අධිකරණය හමුවේ කියා සිටියේ සිය දරුවන් මුදාහැරීම සඳහා රුපියල් කෝටියක කප්පම් මුදලක් ලබාදෙන මෙන් නාඳුනන පුද්ගලයකු තමන්ට දුරකතනයෙන් දැනුම් දුන් බවයි. මෙම අතුරුදහන්වීම් ගැන පොලීසියට හා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළ බව කියාසිටි ඇය, දරුවන් මුදාහැරීම සඳහා කප්පම් ඉල්ලීමේ සිද්ධිය පිළිබඳ රහස් පොලීසියට පැමිණිලි කළත්, දරුවන් සොයාදීමට රහස් පොලීසිය කටයුතු නොකළ බව කියාසිටියාය.

මෙම සිද්ධියේ සැකකරුවකු වන සම්පත් මුණසිංහ නොහොත් ‘නේවි සම්පත්’ ලෙස හැඳින්වෙන්නේ හිටපු නාවික හමුදාපති, දැනට ජපානයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ ප‍්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ ලූතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ නැමැත්තා ය. ඔහු එකල නාවික බුද්ධි අංශයේ නිලධාරියෙක් වශයෙන්ද කටයුතු කළේය.

2009 අපේ‍්‍රල් මාසයේදී පමණ රහස් පොලීසියට බාරවී, දැනට ඇප මත මුදාහැර සිටින සම්පත් මුණසිංහගෙන් ප‍්‍රශ්න කිරීමේදී එතෙක් අබිරහස් ලෙස පැවැති ඝාතන හා අතුරුදහන්කිරීම් රැසක තොරතුරු අනාවරණය වූ බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයටද මොහු යටතේ කි‍්‍රයාත්මක වූ අතුරු හමුදා ඛණ්ඩයක් සම්බන්ධ බවට මෙම ප‍්‍රශ්නකිරීම්වලදී තොරතුරු අනාවරණය වී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. රහස් පොලීසියේ විශේෂ විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ විසින් සම්පත් මුණසිංහ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ මෙහෙයවන ලදී.☐

©  JDS

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.