ජනාධිපතිවරණය: මුලතිවූ ඡන්දයේ රහස සොයා ගියෙමි

ඊළම්වාදීන්ගේ ඡන්දයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරණය දින්නේ යැයි මැදමුලන වලව් මිදුලට වැළපෙමින් රොද බැඳි ගම්වැසි ප්‍රවේණීදාස ජනයාට මහින්ද රාජපක්‍ෂ කියනු බොහෝ දෙනා දුටහ. මෛත්‍රීපාල සිරිසේනට පක්‍ෂව වැටුණු ඡන්දයේ භූගෝලීය රටාව ඊළම් සිතියම හා සමාන කරමින් යැවෙන පණිවුඩ ද අන්තර් ජාලයේ එමට ය. නමුත් නෑ සියන් මියගොස්, ගේ දොර, වගා බිම් අහිමි වී, දොරින් දොර භීතිය සළකුණු කරන හමුදා අණට යටත්ව දිවිගෙවන සිත් සතන් බිඳුණු ප්‍රජාවකගේ මූලික අයිතීන් රකින්නෙමැයි එක් වරක් හෝ කියන්නට අසමත් වූ අපේක්‍ෂකයෙකු වෙනුවෙන් ඡන්දය දෙන්නට දිවි ගළවාගත් දෙමළ ජනයා තීරණය කළේ ඇයි? Colombo Mirror වෙබ් අඩවියට 'தேர்தல் – முல்லைத்தீவின் ரகசியம்' (මැතිවරණය: මුලතිවු හි රහස) මැයෙන් 'ජෙරා' විසින් ලියන ලද මෙම ලිපිය ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයයි. දෙමළ ජනයා ගැන දකුණු ලංකාවේ ජනමාධ්‍ය ප්‍රබන්ධ මගින් හෙළි නොවන යථාර්ථයෙන් අංශු මාත්‍රයක් විදාරණය කොට දක්වන මෙම ලිපිය සිංහලට පරිවර්තනය කරන්නට අප කල්පනා කළේ අවිචාර සමයකදී පවා මිනිස් විචාරශීලීත්වයට අරුතක් අැති බැවිනි.

පරිවර්තනය: අජිත් සී හේරත් සහ නිර්මානුසන් බාලසුන්දරම්


මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය කෙරෙහි දෙමළ ජනතාවගේ දායකත්වයේ වැදගත්කම ගැන දැන් බොහෝ කතා කරති. යුද්ධයෙන් සහමුලින්ම විනාශයට පත් මුලතිවු දිස්ත්‍රික්කයෙන් ඔහු ලැබූ ඡන්ද සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. මෛත්‍රීපාල තෝරාගැනීම සඳහා මුලතිවු දිස්ත්‍රික්කයේ ජනතාව මෙපමණ විශාල වශයෙන් ඡන්දය භාවිතා කිරීමේ රහස කුමක් ද?

ජනාධිපතිවරණය නිමා වීමෙන් පසු එළඹි දිනයක මම ඒ රහස සොයා මුලතිවු ගියෙමි.

මුලතිවු දිස්ත්‍රික්කයේ  පුදුකුඩියිරිප්පු මංසන්ධියට ආසන්න සාමකාමී කුඩා කඩ මණ්ඩියක තරුණයන් කිහිප දෙනෙක් රතිඤ්ඤා පත්තු කරමින් සිටියහ. රතිඤ්ඤා ශබ්දය පරයා නැගෙන්නේ ඔවුන්ගේ ප්‍රීති ඝෝෂාව ය.  වසර කීපයකට පෙර  දෙමළ විමුක්ති කොටි සංවිධානයේ බලකොටුවක්ව පැවැති  මෙම ප්‍රදේශය හමුදා පාලනයට යටත් වූ  පසුව එළිමහනේ ප්‍රීතිඝෝෂා නගන තරුණයින් වනාහී දුලබ දසුනකි.

කලකට පෙර ශ්‍රී ලංකා හමුදාව විසින් ආක්‍රමණය කර තිබූ ප්‍රදේශ කොටි සංවිධානය විසින් නැවත මුදා ගන්නා අවස්ථාවල මෙවැනි ප්‍රීතිඝෝෂා දුටු බැව් කලක් මෙහි හැදී වැඩුණු මට මතක ය.  කොටි සංවිධානය නොමැතිව ගත වුණ ඉකුත් අවුරුදු  පහක කාලයෙන් පසුව අවතැන්ව ගත කළ ජීවිත සමග තරුණයන් ද වෙනස් වී ඇතැයි වැඩිහිටියෝ කණස්සල්ල පළ කරති.  අද රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා නගමින් සිටින්නේ ද එම තරුණයින්ම ය. 'ප්‍රීතිඝෝෂාවට හේතුව කුමක්දැයි මම විමසීමි. තරුණයන් අතර සිටි අයෙකු වූ ජේ. ජයන්ත් කුළුපග තරුණයෙකි. පිළිතුරු බඳින්නේ ඔහු ය.

“අපිට මෛත්‍රී දිනවන්න ඕනේ නැහැ. නමුත්  මහින්ද පරදවන්න ඕනිකමක් තිබුණා. අපේ ජනයා විනාශ කරපු අය පරදිනවා දකින්න අපිට ඕනේ. ඒක තමයි එකම කාරණය. වෙන මොකක්වත් නොවෙයි. අපි වෙනුවෙන් මෛත්‍රී මොනවත් කරන්න යන්නේ නෑ කියලා අපි දන්නවා. නමුත් අඩුම ගණනේ තරුණයෝ අරන් ගිහින් පීඩාවට පත් කරන ගෝඨාභයගේ ටීඅයිඩී එක අයින් කරගන්න ඕනේ. අපි ඡන්දය දුන්නේ ඒකයි.“

ඔහු ප්‍රීති ඝෝෂා කරන සිය මිතුරන්ට නැවතත්  එක් වූයේ සතුටිනි. ප්‍රදේශයේ ක්‍රියාශීලී තරුණයකු වන ඔහු සුහදශීලී අයෙකි.  කොහේ හෝ යන්නට බස්රියක් එනතෙක් බලා සිටින මැදිවියේ අයකු දුරින් හිඳ ප්‍රීති ඝෝෂාවන් දෙස බලා සිටී. ඇඳුමින් පැළැඳුමින් ඔහු රජයේ සේවකයෙකු විය හැකි යැයි මම අනුමාන කළෙමි. 

"ඡන්දෙ දැම්මද " මම ඇසීමි.

"ඔව්" ඔහුගේ පැහැදිලි හඬ ප්‍රියමනාප එකකි.

“ඡන්දය ගැන මොනවද හිතන්නේ?“ මම නැවතත් ඇසිමී. පැනයට පිළිතුර පමා වී ඇසෙන්නේ ඔහු කල්පනාකාරීව සිටි හෙයිනි.

'සංවර්ධන බෝඩ්'

"උතුරු පළාත් සභාවට මිනිස්සු ඡන්ද දුන්නා වාගේ තමයි මේ  ඡන්දයත්. මේකෙන් පේන්නේ මහින්ද ගැන මිනිස්සුන්ගේ තිබ්බ කේන්තියයි. ඒත් මෛත්‍රී අපේ දුක් වේදනාවන් තේරුම්ගත් මිනිහෙක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අළුතෙන් පිහිටුවන්න යන රජයත් නිශ්චිත කාලයකින් පස්සේ ඒකාධිපති ආණ්ඩුවක් හැටියට තමයි කටයුතු කරන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ. මේකට හේතුව මෙම රජයටත් දැන් විපක්ෂයක් නැතිකමයි. දෙමළ මිනිස්සුන්ට කොහොමටත් තව  දුෂ්කරතාවන්ට මූණ දෙන්න සිදු වේවි. දෙමළ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න හිටපු දෙමළ ජාතික සංධානයත් ආණ්ඩුවට එකතු වෙන්න යන බවට තියෙන කට කතා  නිසා දෙමළ මිනිස්සු දිගින් දිගටම දුෂ්කරතාවන්ට පත්වීම නියතයි."

ඔහු නමින් සුමන් ය. ඔඩ්ඩුසුඩ්ඩාන් හි රජයේ කාර්යාලයක සේවය කරතැයි මා හා කී ඔහු ඔඩ්ඩුසුඩ්ඩාන් බලා යන බසය එනු දැක ඊට ගොඩවනු පිණිස ලහි ලහියේ නික්ම යයි.

මීළඟට විමසිය යුත්තේ කාගෙන්ද? විපිළිසර සිතින් මම ඔබ මොබ බැලිමි. කුඩා කල එක්ව කෙලි දෙලෙන් කාලය ගෙවූ මගේ පාසල් මිතුරකු කොහේදෝ සිට විත් කර වටා අතක් දමාගත්තේ ඒ මොහොතේ ය. ඔහු නමින් තීමන් ය. ෆේස්බුක් අඩවියේ බොහෝවුන් ඔහු හඳුනන්නේ මුල්ලෛ තීමන් නමිනි. ඉඩක් ලද විටක ලියන කවි හෝ කෙටිකතා ඔහු සිය ෆේස්බුක් මිතුරන් හා බෙදා ගනියි.

"අපේ පැත්තෙන් වගේ තමයි නේද වැඩිම ප්‍රතිශතය?“  ඔහු කතාවට පොළඹවාගනු රිසියෙන් මම පළමු ප්‍රශ්නය වෙනස් කොට යොමු කළෙමි.

"ඔව්, අපිට කළ විනාශයට මහින්දගේ ආණ්ඩුවෙන් පලිගන්න අවස්ථාවක් එනතුරු හැමෝම බලා ගෙන හිටියා වාගේ තමයි පේන්නේ. අනිත් එක කොයි තරම් නම් මිනිස්සු රැවට්ටුවාද? ආණ්ඩුවේ සංවර්ධනය බෝඩ් වලට විතරයි." - ඔහු අසල ඇති රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන කියැවෙන විශාල දැන්වීම් පුවරුවක් සිය අතින් පෙන්වයි.

"අනෙක් දිස්ත්‍රික්ක එක්ක සංසන්දනය කරනකොට මුලතිව් වල තමා  අඩු ම සංවර්ධනයක් වෙලා තියෙන්නේ. කෝකිලායි, මනාලාරු (වැලි ඔය) වගේ පැතිවල, වෙන වෙන ප්‍රශ්න. මුලතිව් මිනිසුන්ට හැරෙන හැරෙන අතට ප්‍රශ්න. යුද්දෙ කාලේ එකම ප්‍රශ්නයයි තිබුණේ. ඒ ජීවිතේ බේරාගන්න එක. නමුත් යුද්ධය ඉවරවෙලා දැන් ගතවෙන මේ කාලයේ හැම දෙයක්ම ප්‍රශ්නයක්. ඒ හින්දාම තමයි මේ වාගේ පිළිතුරක් ආණ්ඩුවට මිනිස්සු දුන්නේ. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. පළාත් සභා මැතිවරණයේදී මුලතිවු දිස්ත්‍රික්කයේ තිබු හමුදා බාධාකිරීම් මේ පාර මොන හේතුවක් නිසා හරි තිබුනේ නැහැ. මිනිස්සු නිදහසේ ඡන්දය දැම්මා. ලැබුන අවස්ථාව පාවිච්චි කළා."

මම නිහඬව සවන් දුනිමි. “ඉතින්, කවද්ද  කසාද බඳින්නේ “ ඔහු එක්වරම දේශපාලනික කතා බහෙන් බැහැරව මගේ පුද්ගලික ජීවිතය ගැන විමන්නට පටන් ගත්තේ ඒ අතරවාරයේ ය. කවටකමින් පිළිතුරු දී මම ඔහුගෙන් මිදී පලා ගියෙමි.

අාණ්ඩු වෙනස සහ ඉරණම

නුදුරෙහි නවතා ලූ බසයකි. බස් රිය තුළ සිටින කිසිවෙකු හා කතාබහ කරනු අටියෙන් මම බස්රියට ගොඩ වූයෙමි.

ඇය ගුරුවරියකි. ඡන්දය ගැන සිය ආකල්පය කියන්නට ඇයි මැලි නොවූවා ය. නමුත් ඒ නම පළ නොකරන්න‍ට මා ලවා ගිවිස ගත් පසු ය. 

"ආණ්ඩුවේ වෙනසක් තමයි අපිට ක්‍ෂණික අවශ්‍යතාවක් විදියට තිබුණේ. ඊට අමතරව පවුල් බලයටත් නැවතීම් ලකුණක් දාන්න අපි තීරණය කළා. අපිට තව දුරටත් රජෙක්ගේ යටත් වැසියන් වෙන්න අවශ්‍ය නැහැ කියන ඒක අපි පැහැදිලිව පෙන්වා දුන්නා. සංඛ්‍යාත්මකව සුළු ජාතීන්ට මහින්ද රාජපක්‍ෂ සැළකුව විදිය අන්තිම ක්‍රෑරයි. මහින්ද බලයට ආපු ගමන් අපිව වට කරලා විනාශ කළා. කී දෙනක් මැරුණද? ඒකට හරියන උත්තරයක් තමයි අපි අද දීලා තියෙන්නේ. ඊට කලින් අපි බලා හිටියා ජාත්‍යන්තරය හරි තීන්දුවක් දෙයි කියලා. නමුත් අන්තිමේ දී අපිම එයාට කෙළින් උත්තරයක් දුන්නා."

“ඔව්, එයා කියන දේ ඇත්ත" - ඈ අසළ හුනු අනෙක් ගුරුවරියද කතාබහට එකතු වූවා ය.  "මේ සැරේ මුලතිව් වල මිනිස්සු  තමන්ගේ ඡන්ද අයිති පාවිච්චි කරන්න ලොකු උනන්දුවක් පෙන්නලා තියෙනවා. රටේ මිනිස්සුන්ට  අවශ්‍ය වූ වෙනස පිළි අරන් මේ අවස්ථාව නිවැරදිම විදිහට භාවිතා කරලා තියෙනවා".

"නම පළ කළාට කමක් නැද්ද“ යි  මම ඇසීමී.

“ඇයි, මම නිදහසේ පෙන්ෂන් අරගෙන ජීවත් වෙනවාට කැමැති නැද්ද?" ඇය සිනහ සී කීවාය. "මොන ආණ්ඩු වෙනසක් ආවත් අපේ ඉරණම වෙනස් වෙන්නේ නැහැ".

මම ගොළුවත රැකීමි. ඈ පැවසු දෙය සැබෑවක්දැයි තීරණය කිරීම මේ ලිපිය කියවන ඔබටම භාරදීමට මම ඒ මොහොතේම තීරණය කළෙමි.

සාධාරණය වෙනුවට විනාශය

කලක දී සසීකරන්ගේ රැකියාව ගොවිතැන ය. නමුත් දැන් ඔහු කුඩා සිල්ලර කඩයක හිමිකරුවෙකි.  ඔහු උඩෛයාර්කට්ටු බලා යමින් සිටියි.  මා සමග කතාවට වැටුණේ ඒ අතරවාරයේදී ය.

ඡන්දයේදී අපේ ජනයා මේ තරම් උනන්දුවක් පෙන්වීමට හේතුව කුමක් දැයි මම ඇසීමි.

"මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙනවා. යුද්ධයෙන් පස්සේ නැවැත පදිංචි වුන මුලතිවු මිනිස්සුන්ගේ ආර්ථිකය බිංදුවටම වැටුණා.  ඒ නිසා කාගෙන් හරි උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්න එක අපේ එදිනෙදා ජීවිතය බවට පෙරළුණා. අපි එහෙම ජීවත්වුණ මිනිස්සු නෙවෙයි. ගෙවල්, රස්සා වගේ ප්‍රශ්නවලදී කාගේ හෝ උදව් බලාපොරොත්තුවෙන් ඉන්න අපට සිද්ධ වුණා. මේක තමන්ගේ වාසියට පාවිච්චි කරපු ආණ්ඩුව, ජීවිතය විතරක් බේරුණ අපිව තමන්ගේ අවශ්‍යතාවන්ට නින්දිත විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තා. මේ හින්දා තමයි මිනිස්සු අතරේ වෙනත් කිසිම කෙනෙක්ගේ මැදිහත්වීමක් නැතිව වුණත් ආණ්ඩුව ගැන දැඩි විරෝධයක් තිබුණේ.  අදත් අපිට ගෙවල් නැහැ, රස්සාවල් නැහැ. හැමදේම නැහැ කියන එක විතරයි අපිට ඉතුරුවෙලා තියෙන්නේ. රජය මෙහේ කරන්නේ ආක්‍රමණික දේශපාලනයක්. මේ ජනතා විරෝධී ගමන නිසා තමයි වෙනසකට ජනතාව ඡන්දය දුන්නේ. අපේ ජනයා අතර තිබුණ විරෝධය අද හොඳ උත්තරයක් වෙලා තියෙනවා. කොහේවත් ලොකුවට මැතිවරණ ව්‍යාපාරයක් සිද්ධ වුනේ නැහැ. නමුත් ජනතාව අතර පැහැදිලි දේශපාලන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය තමයි මේ ඡන්දෙදි එළියට ආවේ."

අපේ කතා බහට ඇහුම් කන් දී සිටි තරුණයෙක් තමන් හඳුන්වා දී මා හා සංවාදයට වැටුණේය. ඔහු සරසවි සිසුවෙකි. මුලතිව් ප්‍රත්‍යන්තයේ දුෂ්කර ගමක ජීවත් වන ඔහු විශ්ව විද්‍යාලයට තේරී ඇත්තේ මෑතදී ය. මට හමුවන විට ඔහු සිය ඡන්දය දමා නැවත විශ්ව විද්‍යාලයට යමින් සිටියේය. මෙවැනි ඡන්දවලින් විසඳුමක් ලැබේ යැයි ඔහු විශ්වාස නොකරයි. නමුත් ඡන්දය ගැන උනන්දු ය. ඒ ඇයිදැයි මම ඇසීමි.

"යුද්ධ කාලෙදී සාමය - සාධාරණය ඉල්ලපු දෙමළ මිනිස්සුන්ට හම්බවුන උත්තරේ විනාශය. ඒ දෙමළ ජනතාව මේ පාර ආණ්ඩු වෙනසක් ඉල්ලලා තියෙනවා. සමහර විට මේක දෙමළ ජාතියේ ස්ථිර  විනාශයට හේතු වෙන්නත් පුළුවන්. ඒ අතර දෙමළ ජාතික සන්ධානය කියපු නිසාම දෙමල මිනිස්සු ඡන්දය දැම්මා කියලා කියන්නත් බැහැ. දෙමළ ජාතික සංධානය නිහඬවම සිටියත්, ඉඩක් ලැබුණා නම් දෙමළ ජනතාව ආණ්ඩුවට විරුද්ධවම තමයි ඡන්දය පාවිච්චි කරන්නේ. දෙමළ ජාතික සන්ධානය ඉල්ලන්න යන ඇමතිකම් ගැනත් දැන් කට කතා තියෙනවා. සමහරවිට මීට කලින්ම එකඟ වෙච්ච දෙයක් වාගේ තමයි පෙනෙන්නේ. ඒත්, ඒක වළක්වන්න හෝ වෙනස් කරන්න අපිට දැන් මොනවද කරන්න පුළුවන්? අපේ අතේ මොකුත් නැහැ.“

ඔහු බස් රියේ කවුළුවෙන් එළිය බලා සිටින අතර විසුවමඩු ප්‍රදේශය පසු කරමින් බසය හැල්මේ ඇදෙයි.  යුද විනාශයේ වේදනාබර සළකුණු තවමත් දරාගත් නටබුන් ගොඩනැගිලි, ගහකොළ සහ මිනිසුන් කවුළුවෙන් කවුළුව පසුකර වේගයෙන් පිටුපසට යන්නාක් මෙනි.

මුලතිවුහි රහස මෙයයි.

© JDS


Add comment

මෙහි දක්වන ප්‍රතිචාරයන් පළ කිරීමට පෙරාතුව විවරණයට පාත්‍ර කෙරෙන බව කරුණාවෙන් සළකන්න. වාර්ගික, ආගමික හෝ ලිංගික අගතීන් හඟවන හෝ පුද්ගලයින් ඉලක්ක කොටගත් අපහාසාත්මක ප්‍රතිචාර පළ නොකෙරෙනු ඇත.


Security code
Refresh

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.